වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ළමා ඇදුම පීඩා විඳීන දරුවෙක් ඔබටත් සිටී ද?
දරුවන් ඇදුම රෝගයෙන් පීඩා විඳීම මාපියන්ගේ සිත් නිරතුරුව ම අසහනයට පත් කරවන කාරණයක්. හිතන්න, ඔබේ පුංචි දරුවා නිදහසේ හුස්ම ගැනීම වෙනුවට අපහසුවෙන් හුස්ම ගැනීම දෙස නෙත ගැටෙන වාරයක් පාසා ඔබේ මුළු හදවත ම කඩා වැටෙනවා නොවේ ද?
ළමා ඇදුම තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ මාපියන්ට ඇති දැනුවත්භාවය කෙරෙහි සෑහීමට පත්විය නොහැකි තරම්.
ඒ නිසා ළමා සුවමඟ ඔස්සේ ළමා ඇදුම පිළිබඳව පුළුල් ව කතාකරන්න හිතුවා.
ඇදුම යනු
ස්වසන මාර්ගයේ ප්‍රදාහය ඇති කරන නිදන්ගත/දීර්ඝ කාලීන රෝග තත්ත්වයකි.කඩින්කඩ ඇතිවන ස්වසන මාර්ගයේ අවහිරතා නිසා කැස්ස, හතිය, හුස්ම ගැනීමේ අපහසුතා යන ප්‍රධාන ලක්ෂණ මෙහිදී දැකගත හැකිවේ.
ස්වසන පද්ධතිය මුඛය හා නාසය, ස්වරාලය, ශ්වසනාලය, ශ්වස නාළිකා, අනුශ්වාස නාළිකා, ගර්ත නමැති කුඩා බැලුන් වැනි අවයව යන කොටස්වලින් යුක්තයි.
අප හුස්ම ගැනීමේදී ආශ්වාසය මඟින් ඔක්සිජන් අඩංගු වාතය පෙනහලු තුළට ඇද ගනියි. ගර්තවලදී මෙම ඔක්සිජන් රුධිරයට එක්වෙයි. පෙනහලු තුළින් හුස්ම පිට කිරීමේදී කාබන්ඩයොක්සයිඩ් සහිත වාතය පිට කරයි. මෙම වායුව ගර්ත තුළට නිදහස්කර ප්‍රාශ්වාසයේ දී වාතයට නිදහස් කෙරේ. නිරෝගී පුද්ගලයකුගේ ස්වසන පද්ධතියේ මෙම නාළ හැමවිටම වායුගමනයට පහසුවන සේ විවෘත ව පවතී.
ඇදුම රෝගය උත්සන්න අවස්ථාවල ශ්වාසනාළිකා හැකිළීමට හා ඉදිමීමකට ලක්වේ.
එමෙන් ම මෙම නාළ තුළ සෙම පිරේ. මෙසේ වූ විට මෙම නාළ හරහා වායුගමනය අපහසුවීම නිසා රෝග ලක්ෂණ හට ගනියි.
ඇදුම ඇතිවන්නේ ඇයි?
මේ සඳහා සාධක ගණනාවක් හේතු වේ. ජානමය හා පාරිසරික සාධක යන දෙකෙහි බලපෑම නිසා කුඩා කාලයේ දී ඇදුම තත්ත්වය ඇතිවන බව වෛද්‍ය මතයයි.
මේ පිළිබඳ කෙරෙන පරීක්ෂණ දවස දවස අලුත් වෙමින් පවතී.
පාරිසරික සාධක
* අසාත්මික දෑ කෙරෙහි නිරාවරණය වීම
* විසබීජවලට නිරාවරණය වීම
* පරිසර දූෂණය
කෙසේ නමුත් ඇදුම ඇතිවීමට හේතුවන පාරිසරික සාධක පැහැදිලිවම සොයාගෙන නැත.
ජානමය සාධක
* ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍යතා
* පෙනහලුවල අසාමාන්‍යතා
ඇදුම රෝගය දිගින් දිගටම පැවතීමට හේතුවන කාරණා
පහත සඳහන් අවදානම් අවස්ථා දීර්ඝකාලීන ඇදුම රෝගයෙන් පෙළීමට ඇති ඉඩකඩ වැඩි කරයි.
* මාපියන් ඇදුම රෝගයෙන් පෙළීම
* ළමා කාලයේ ඇතිවන දද (Eczema)
* පීනස (Rhinitis)
* ආහාර අසාත්මිකතාව(Food allergy)
* ස්වසන මාර්ගයේ තදබල ආසාදන ඇතිවීම(නියුමෝනියාව, බ්රොන්කියෝලයිටීස් නමැති වෛරස් ආසාදනය)
* අඩු උපත් බර
* මවගේ ගර්භයේදී හෝ කුඩාකල සිගරට් දුමට නිරාවරණය වීම
මෙම අවදානම් තත්ත්ව ඇති සෑම දරුවකු ම ඇදුම රෝගය ඇතැයි කිව නොහැකිය.
එහෙත් ඇදුම ඇති වීමේ යම් නැඹුරුතාවක් පවතී.
ඇදුම උත්සන්න වීමට අසාතමිකකාරකවලට නිරාවරණය වීම අත්‍යවශ්‍ය යි.
මේ අතරට,
* සෙම්ප්‍රතිශ්‍යාව, උණ/වෛරස් ආසාදන
* ඇඳවල්, මකුළු දැල් ශුද්ධ කිරීමෙන් ඇවිස්සෙන දූවිලි
* බල්ලන්, බළලුන් ගේ මවිල්/කුරුල්ලන්ගේ පිහාටු කොටස්
* සිගරට් දුම
* පෙට්‍රල්/භුමිතෙල්වල වාෂ්ප
* තීන්තවල ගන්ධය
*අඳුරු/තෙත් සහිත කාමරවල ඇති දිලීර කොටස් ආඝ්‍රාහණය/ මල්වල පරාග
* සමහර ශීත කළ බීම සහ අයිස් ක්‍රීම්
* මදුරු කොයිල්වලින් පිටවන දුම
* ඇතැම් ඖෂධ වර්ග
* සුවඳ විලවුන්වල ගන්ධය
* ව්‍යායාම/සෙල්ලම් කිරීම
* ඇඳුම් මසන ස්ථානවල ඇති දුවිල්ල
* සමහර සතුන්ගේ (කැරපොත්තන්ගේ) මලපහ
ළමා ඇදුම රෝගය විවිධ ස්වරූපයන්ගෙන් දක්නට ලැබේ.
* මුල් ළමාවියේදී ඇතිවන වෛරස් ආසාදන හා බැඳුණු හතිය එක් ස්වරූපයකි. මෙම තත්ත්වය දරුවා වැඩෙත්ම මඟ හැරී යන රෝගයකි.
* දීර්ඝ කාලීන ඇදුම අනෙක් ස්වරූපයයි. මෙම තත්ත්වය අසාත්මික බව හා බැඳී පවතී. ළමා විය, තරුණ විය හෝ වැඩිහිටි කාලය පුරාවට ම මෙම තත්ත්වය පැවතීමට ඉඩ ඇත.නිදන්ගත ඇදුම (chronic asthma)ලෙස හඳුන්වන්නේ මෙයයි.
එමෙන් ම රෝගයේ බරපතළකම අනුව ද
* කඩින්කඩ ඇතිවන සුළු ඇදුම ( mid intermittent asthma)
*දිගට ම පවත්නා ඇදුම (persistent asthma)
ලෙස වර්ග කෙරේ.
ප්‍රතිකාර කිරීමේ දී මෙලෙස වර්ගීකරණයට ලක්කර තිබීම පහසුවක් වේ.
උපදෙස්
කෑගල්ල මහ රෝහලේ
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
අරුණ පීරිස්