වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආර්තවහරණයෙන් පසු රුධිරය පිටවීම නොසලකා ඉන්න එපා
ආර්තවහරණයෙන් පසු රුධිර වහනයක් සිදු වුණොත් සති දෙකකට වඩා ප්‍රමාද නො කර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
ආර්තවහරණයෙන් පසු සිදුවන රුධිර වහනයන්ට බොහෝවිට හේතුවන්නේ පිළිකාමය තත්ත්වයක් නො වෙයි. එහෙත් ගර්භාෂ පිළිකාවකින් පීඩා විඳීන කාන්තාවන් සියයට අනූවක්ම මේ ලක්ෂණය අත්දැක තිබෙනවා. ගර්භාෂ පිළිකා කලින් හඳුනා ගත්තොත් පහසුවෙන් සුව කළ හැකියි.
නැවතත් ළමා වියට යා හැකි නම්...... ඒ වැඩි දනෙකු දකින සුන්දර සිහිනයක්. පිරිමින්ටත් වඩා කාන්තාවන්ට සොබා දම ඒ සොඳුරු සිහිනය දකින්න වරම් ලබාදී තිබෙනවා.
ආර්තවහරණයත් සමග කාන්තාවකගේ සිරුරේ හෝර්මෝන මට්ටම මල්වර වීමට පෙර තත්ත්වයට පත් වෙනවා. ජීවිතයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යයක් ආර්තවහරණය සමග උදා වෙනවා. අධිකව දහදිය දැමීම වැනි විවිධ අපහසුතා නිසා මේ කාලය තරමක් කටුකයි. අභියෝගාත්මකයි. එපමණක් නොව මේ කාලයේදී විමසිලිමත් විය යුතු වැදගත් කරුණු ගණනාවක් තිබෙනවා. සැලකිලිමත් විය යුතු ප්‍රධාන ම කරුණක් වන්නේ සම්පූර්ණයෙන් මාසිකව රුධිරය පිටවීම නතර වීම හෙවත් ආර්තවහරණය වූ පසු රුධිරය සුළු වශයෙන් හෝ පිටවීමයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 45 ට පසු වසරක් යන තුරුම ආර්තවය සිදු නො වීම ආර්තවහරණය ලෙස හඳුන්වනවා.
රුධිරය පිට වූයේ එකම එක් වරක් වුවත් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පිට වුණත්, රෝස හෝ දුඹුරු පැහැයෙන් යමක් පිට වුණත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. බොහෝවිට ආර්තවහරණයෙන් පසුව සිදුවන රුධිරය පිට වීම් භයානක නැහැ. ඒත් ඒ පිළිකාවක ද ලකුණක් නිසා වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි.
ආර්තවහරණයෙන් පසු රුධිරය පිටවීමට හේතු
සුලබම හේතු වන්නේ යෝනි ආස්තරණයේ ප්‍රදාහ, ගර්භාෂ ආස්තරණයේ ප්‍රදාහ. මෙසේ ප්‍රදාහයන් ඇති වන්නේ සිරුරේ ඊස්ට්‍රජන් මට්ටම අඩුවීම නිසයි.
ගැබ් ගෙල හෝ ගර්භාෂයේ ඇතිවන අසාමාන්‍ය පටක වර්ධන තවත් හේතුවක්.
රුධිරය අසාමාන්‍ය ලෙස පිට වන විට වෛද්‍යවරුන් හේතුව සෙවීමට පරීක්ෂණ සිදුකර අවශ්‍ය ප්‍රතිකාරය ලබා දීමට පියවර ගන්නවා. කුඩා පැතලි ගැටිති, කුඩා බිම්මල් වැනි නෙරීම් අසාමාන්‍ය පටක වර්ධන නිසා දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මේවා පිළිකාමය නො වන අහිංසක ගැටිතියි.
ගර්භාෂයේ ආස්තරණයේ ඝන වීම්. හෝර්මෝන ප්‍රතිෂ්ඨාපන චිකිත්සාව සිදුකරන අයට ගර්භාෂ ආස්තරණය ඝන වීමේ ඉඩක් පවතිනවා. ඊස්ට්‍රජන් මට්ටම වැඩිවීම, තරබාරු වීම ගර්භාෂ ආස්තරණය ඝන වීමට බලපාන අතර එයින් පිළිකා ඇතිවීමේ අවදානම ද පවතිනවා. ඩිම්බකෝෂ හෝ ගර්භාෂ පිළිකාවක් ඇති විට කලාතුරකින් රුධිරය පිට වීමට පුළුවන්.
හේතුව සොයා සිදු කරන පරීක්ෂාවන්
යෝනි මඟ ආශ්රිත අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව මඟින් කිසියම් ගැටලුවක් ඇත්දැයි සොයා බලනවා. ස්පෙකියුලම් නම් ප්ලාස්ට්ක් උපකරණය ඇතුළුකර යෝනි මඟත් ගැබ් ගෙලත් බැලීමට පියවර ගන්නවා.
තුනී ටෙලස්කෝකෝපයක් වැනි කැමරා උපකරණයක් යෝනි මඟ හරහා ගැබ් ගෙල හරහා ගර්භාෂයට ඇතුළු කර කිසියම් ගැටලුවක් ඇත්දැයි බලනවා. මෙය හිස්ටෙරස්කොපි ලෙසින් හඳුන්වනවා. මෙහිදී ගැටලුවක් ඇත්දැයි බැලීමට කුඩා පටක සාම්පලයක් ලබා ගැනීම ( ජීව පටක පරීක්ෂාව හෙවත් බයොප්සි ) සිදු කරනවා. පටක ලබා ගන්නේ වේදනාවක් නො දැනෙන ලෙස නිර්වින්දනය කරමින්.
වෛද්‍යවරයා උදරය තෙරපා අසාමාන්‍යතාවක් ඇත්දැයි පරීක්ෂාකර බලනවා. ගැබ්ගෙලේ ගැටිති ඇත්නම් ඒවා ඉවත් කරනු ලබනවා.
සටහන
චම්පිකා දීපානි රණසිංහ
උපදෙස් - නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ
විජිත් විද්‍යාභූෂණ