නිමක් නැති ලෙඩක් ගැන අඩු තක්සේරුවක් එපා

අප්‍රේල් 28, 2021

 

සෑම වසංගතයකට ම අවසානයක් තිබෙයි. එහෙත් ඒ අවසානය උදාවන තුරු අප පරිස්සම් විය යුතුය. ඒ අප වෙනුවෙන් සේම අපේ ආදරණීයයන් ද වෙනුවෙනි.

 

ෙකාෙරා්නා තුන්වැනි රැල්ෙලන් පරිස්සම් ෙවමු.

 

වැඩි ආරක්ෂාවට මුහුණු ආවරණ දෙකක් පලඳින්න.

මහා බලවතාවූ අමෙරිකාව නව කොරෝනා වෛරසයේ ගොදුරක් වූ සැණින් එරට බලධාරීන් කියා සිටියේ ලොවට වෛරසයේ බලපෑමෙන් 2022 වනතුරුම ගැලවීමක් නම් නැති බවය. එන්නත් කිහිපයක් නිෂ්පාදනය වූ පමණින් කාලයකට රෝගීන් ගැන අඩුවෙන් වාර්තාවූ පමණින් මුහුණු ආවරණ නැතිව ගමන් කිරීමට දුරස්ථ භාවය සමීප භාවය කරගැනීමට තරම් අපේ සමහරු එඩිතර විය.

කෝවිඩ් - 19 නම් වසංගතයක් ලොව නො තිබුණාක් සේ නිදහසේ විනෝද ගමන් බිමන් යාමට පවා සමහරු පෙලඹුණහ. නො සැලකිල්ල, නො දැනුවත්කම, මාන්නය, පුවත් සිරස්තලවල කෝවිඩ් ආසාදිතයන් ගණන, වසංගතය නිසා මිය යන ගණන අඩු වීම නව කොරෝනාවට යන්න කිව්වා කියා සැහැල්ලුවෙන් සිතීමට පෙළඹුණ ද තවමත් අප ගෙවා දමමින් සිටින්නේ වසංගත සමයේ තවත් එක් අඳුරු කාල පරිච්ඡේදයකි. අපේ අසල්වැසි ඉන්දියාව විසාලා මහනුවරක් ‍‍ෙවමින් පවතියි. ඉන්දියාවේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා සමහර බලවත් රටවලට සංචරණ සීමා ලිහිල් කිරීම ගැන දෙවරක් සිතීමට සිදුවී ඇත.

අපේ රටේ දැඩි සත්කාර ඒකක ගණන වැඩි කිරීමට තීරණයකර ඇති අතර දිනකට PCR පරීක්ෂණ 15,000 ක් සිදුකරමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලොව ආසාදිතයන් ගණන පසුගිය මාස දෙකේ දී දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවය. ආසියාවෙන් වාර්තා වෙන ගණන සීග්‍රයෙන් වැඩිවෙමින් පවතියි. මේ සියල්ල සිහිනුවණින් සුව පිළිවෙත් පිළිපැදීමේ වැදගත්කම කියාපායි.

වසංගතය උග්‍ර වන බැවින් මුහුණු ආවරණ දෙකක් පලඳින ලෙසට ලොව පුරා විසිරී සිටින සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙයි. මුහුණු ආවරණ දෙකක් තබා එකක්වත් නිවැරැදිව පැලඳීමට නොදත් පිරිස ද අප අතර සිටියි. එනිසා මුහුණු ආවරණ දෙකක් පැලඳීමේදී එය නිවැරැදිව පැලඳීම ගැන දැන ගැනීම ඉතා වැදගත්ය.

මුහුණු ආවරණ දෙකක් පැලඳීමේදී සර්ජිකල් ( ශල්‍ය ) මුහුණු ආවරණයක් සහ රෙදි මුහුණු ආවරණයක් තෝරා ගන්න. මුහුණු ආවරණය පැලඳූ පසු කිසිදු ලිහිල් තැනක් නො තිබිය යුතුයි. ඒ සඳහා මතු පිටට පලඳින සර්ජිකල් මුව ආවරණයේ කෙලවර තොණ්ඩුවක් සේ අඹරවා කනට දමන්න. අමෙරිකාවේ රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ සර්ජිකල් මුහුණු ආවරණයෙන් ආසාදිත සෙම් බිඳිති ආශ්වාස වීම සියයට 56.1 කින් වළක්වාගත හැකි බවත් රෙදි මුහුණු ආවරණයකින් සියයට 51.4 කින් වළක්වා ගත හැකි බවත්ය. කනට තොණ්ඩුවක් වැටෙන සේ සර්ජිකල් මුහුණු ආවරණය පැලඳූ විට සියයට 77ක්ම සෙම් බිඳිති ඇතුළු වීම වළක්වාගත හැකිය. ‍සර්ජිකල් මුහුණු ආවරණය මුලින් පලඳා ඊට උඩින් රෙදි මුහුණු ආවරණය පැලඳීමෙන් සියයට 85.4ක්ම සෙම් බිඳිති ඇතුළුවීමට අවහිර කළ හැකිය.

මුහුණු ආවරණ දෙකක් පලඳින විට හොඳින් හුස්ම ගැනීමට හැකිදැයි බැලීම, පහසුවෙන් කතා කළ හැකිදැයි බැලීම වැදගත් වෙයි.

සර්ජිකල් මුහුණු ආවරණ දෙකක් පැලඳීම, එන් 95 සමඟ වෙනත් මුහුණු ආවරණයක් පැලඳීම, මුහුණු ආවරණ මතට විසබීජහරණ දියර ඉසීම, මුහුණු ආවරණවලට හානි වී තිබියදීත් පැලඳීම මඟින් කෝවිඩ් - 19 න් ආරක්ෂා වීමට නම් හැකියාවක් නැත.

හුස්ම ගන්නා විට මුහුණු ආවරණය ආස්වාසය, ප්‍රස්වාසය අනුව සෙලවිය යුතුය. පලඳින ඇස් කණ්ණාඩියේ වාෂ්ප බැඳෙයි නම් එයින් අදහස් වෙන්නේ මුහුණු ආවරණ අතරින් වාෂ්ප පිටවන බවය. මුහුණු ආවරණ පලඳා හයියෙන් හුස්ම ගන්න. ඇස්වලට හුස්ම වදිනවා නම් මුහුණු ආවරණවල ලිහිල් බවක් ඇත.

සබන් ගා දෑත් නිවැරැදිව සේදීම, හැකි සැම විටම දුරස්ථභාවය පවත්වා ගැනීම, මුහුණූ ආවරණ පැලඳීම සමඟ අත්වැල් බැඳගත් අනෙක් වැදගත් සුව යුතුකම්ය.

සෑම වසංගතයකටම අවසානයක් තිබෙයි. එහෙත් ඒ අවසානය උදාවන තුරු අප පරිස්සම් විය යුතුය. ඒ අප වෙනුවෙන් සේම අපේ ආදරණීයයන් ද වෙනුවෙනි.

 

අන්තර්ජාලයෙනි