නිවෙසේ අවදානමට ඔබ සූදානම් ද?

ආශ්‍රිතයකු, රෝගියකු නිවෙසේ සිටින්නේ නම්...
මැයි 31, 2021

 

 

මේ වන විට රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ට මෙන්ම වෛරසය ශරීරගත වී ඇතිදැයි දැන ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර සිටින පුද්ගලයන්ට, රෝහල් ගත වන තෙක් නිවෙසේ සිටින රෝගීන්ට උපස්ථාන කිරීමේ දී නිවැසියන් කටයුතු කළ යුතු ආකාරය ගැන දැනුම්වත් වෙමු.

 

මෙම දැනුම නිවෙසේ අනෙකුත් සාමාජිකයන් වෛරසය ශරීරගත වීමෙන් වැළැක්වීමට වැදගත් වේ.

මුලින් ම පළමු පෙළ ආශ්‍රිතයෙක් ලෙස හඳුන්වන්නේ කවුදැයි යන්න දැන ගනිමු.

පළමු පෙළ ආශ්‍රිතයෙක් විය හැකි වන්නේ කොවිඩ් රෝගියකුට රෝග ලක්ෂණ පහළ වීමට දින දෙකකට පෙර සිට ඇසුරු කළ පුද්ගලයන් ය. නමුත් එම පුද්ගලයන් පළමුපෙළ ආශ්‍රිතයන් වන්නේ, දෙදෙනා ම හෝ එක් අයෙක් මුව වැසුම් නොපැලඳ, මීටර 1 1/2 හෝ 2 දුර පරතරය පවත්වා නොගෙන, විනාඩි 15ක් හෝ එයට වඩා වේලාවක් කතාබහේ යෙදෙමින් හෝ කතාබහේ නොයෙදෙමින් වුවද එකිනෙකාට සම්මුඛව සිටි පුද්ගලයන් ය. වායුසමීකරණය කර ඇති කාමරවල හෝ කුඩා ශාලාවල මුවවැසුම් සහිතව වුවත් දුරපරතර තබා නොගෙන සිටින පුද්ගලයන්. මෙහිදී වායුසමීකරණය කරන ලද පරිසරවල වායු සංසරණය නිසියාකාරව සිදු නොවීම මේ අවදානම ඇති කරන ප්‍රධානම හේතුවයි. එසේත් නැතිනම් එම පුද්ගලයා කුමනාකාරයෙන් හෝ ස්පර්ශ කර ඇති පුද්ගලයන්.

නිවෙසේ කාමර කිහිපයක් තිබෙනවා නම් මේ පුද්ගලයාට ම වෙන්වූ වැසිකිළිය/නානකාමර ආදියට ආසන්නයේ ම ඇති කාමරය පරිහරණයට ලබා දිය යුතුයි. ඔහු හෝ ඇය ඒ කාමරයෙන් අත්‍යවශ්‍ය කරුණකට හැර පිටතට නොපැමිණිය යුතුය. නිතර කාමරයේ දොර වසා තැබිය යුතුය. කාමරයෙන් පිටතට එන අවස්ථාවල දී මුවවැස්මක් පැලඳිය යුතුය. කාමරයේ සිටින විට එය ගළවා සිටිය හැකියි. කාමරයේ ජනෙල් හැර හොඳින් වාතාශ්‍රය ලැබීමට, ඉර එළිය ලැබීමට සලස්වන්න. විදුලිපංකාවක් භාවිතයෙන් වුවද කාමරයේ වායු සංසරණය නිසි පරිදි සිදු වීමට යම් ක්‍රියාකාරීත්වයක් ලබා දිය හැකියි. දහදිය දමා මුවවැස්ම තෙත් වුවහොත් එය ඉවත් කළ යුතුය.

නිරෝධායනය වන පුද්ගලයාගේ හෝ රෝගියාගේ ආහාර ගන්නා පිඟාන, කෝප්පය, තුවාය, අත්පිස්නා ආදී දේ ඔහුට වෙනම වෙන්කොට දිය යුතුය. ඒවා අනෙක් පුද්ගලයන් භාවිත කිරීම නුසුදුසු ය.

නිවෙසේ නානකාමර කිහිපයක් තිබේ නම් මේ පුද්ගලයාට භාවිත කිරීමට වෙනම නානකාමරයක් දීම සුදුසු ය. නිවෙසේ ඇත්තේ එක් නානකාමරයක්/වැසිකිළියක් පමණක් නම් එය නිරෝධායනය වන පුද්ගලයා හෝ රෝගියා භාවිත කළ පසුව අතින් අල්ලන කොටස් (කරාම, දොරේ අගුල වැනි) සබන් යොදා හැකි නම් ඔහු හෝ ඇය විසින් ම සෝදා තැබීම සුදුසු ය. වයසක හෝ ආබාධිත අයෙක් නම් රැකබලා ගන්නා විසින් ආරක්ෂාකාරීව එය සේදීම කළ යුතුය. එම පුද්ගලයාට වෙනම සබන් කැබැල්ලක් නානකාමරයේ තබන්න. ඉවත්කළ ඇඳුම්, තුවාය ආදිය නානකාමරයේ තැබීම සුදුසු නැත. එමෙන්ම එම පුද්ගලයා ගොස් පැමිණි පසුව නානකාමරයේ වාතය සංසරණය වීම සඳහා එහි ඇති කුඩා කවුළු වාතය ලැබෙන සේ යම් වේලාවක් විවරකොට තබන්න. ඔහු නානකාමරයට ගොස් සේදීම් කටයුතු කිරීමේ දී මුවආවරණය ගළවන බැවින් එහි වෛරසය රැඳී තිබිය හැකි නිසා එම පුද්ගලයා පැමිණි පසු එයට තවත් අයෙක් යාමට නම් පැයක් පමණවත් සිට යනවානම් වඩාත් සුදුසු ය.

මේ පුද්ගලයාගේ කෑම බීම ලබා දීම ආදී රැකබලා ගැනීමේ කටයුතු කිරීම සඳහා තෝරා ගත යුත්තේ නිවෙසේ සිටින නිරෝගීම පුද්ගලයා ය. කොවිඩ් කොවිඩ් රෝගය සඳහා වැඩි අවදානම් පුද්ගලයන් ලෙස සැලකෙන ගැබිනි මවුවරු, වැඩිහිටි අය, නිදන්ගත රෝග (ඇදුම, හතිය වැනි පෙනහළු ආශ්‍රිත රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද්‍ය සම්බන්ධ රෝග, වකුගඩු ආබාධ) ඇති පුද්ගලයන් හැර වෙනත් පුද්ගලයෙක් මේ සඳහා තෝරා ගත යුතුය. එහෙත් එවැනි අයෙක් පවුලේ නැතිනම් සිටින අය අතරින් වැඩිම නිරෝගී පුද්ගලයා මේ කාර්යය සිදු කළ යුතුයි. එක් එක් වේලාවට එක එක පුද්ගලයන් ආශ්‍රිතයාට හෝ රෝගියාට සැලකීමට යාම කිසිසේත් සුදුසු නොවේ. ඉන් සිදු වන්නේ නිවෙසේ සියලුදෙනා ම අවදානමකට ලක් වීමයි.

ආශ්‍රිතයාට හෝ රෝගියාට සලකන පුද්ගලයා ද දැඩි සේ ආරක්ෂාකාරී විය යුතුයි. ඒ සඳහා එම කාමරයට යාමේ දී නිතර නිසායාකාරව මුවවැසුම් පැලැඳ සිටීම වැදගත්. මේ පුද්ගලයා අසාධ්‍ය රෝගියකු නොවන නිසා ආහාර පානාදිය ලබාදීම සඳහා කාමරය තුළට ම යාම අවශ්‍ය වන්නේ නැත. කාමරය අසල කුඩා මේසයක් තබා එහි එම ද්‍රව්‍ය තබා වසා ඇති දොරට තට්ටුකොට ආහාර ගන්නා ලෙස පවසා දුක සැප විමසිය හැකිය. ආශ්‍රිතයා හෝ රෝගියා ද දොරට තට්ටු කළ විට හෝ කවරෙක් හෝ කාමරය තුළට පැමිණෙන බව පැවසුවහොත් මුව අවරණය පැලඳගත යුතුය. කාමරය තුළ සිටින පුද්ගලයා ඒ තුළ සිටින්නේ මුවආවරණය නොපැලඳ නිසා එම වාතයේ වෛරසය තිබිය හැකි බැවින් එම කාමරය තුළ නිකරුණේ ගැවසීම නොකළ යුතු අතර ඒ තුළට යා යුත්තේ අත්‍යවශ්‍යම විටෙක පමණි.

රෝගියකුට නම් වැඩි වශයෙන් ජලය බීමට දිය යුතුයි. අවම වශයෙන් දිනකට ජලය ලීටර දෙකහමාරක්වත් පානය කළ යුතුයි. නිරෝධායනය වන ආශ්‍රිතයකු නම් ඔහුට මේ කාලසීමාවේදී උණ, කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, ඇඟපතේ වේදනාව, ආදී යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් එය වහාම ඔබ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දන්වන්න. නිවෙසේ උෂ්ණත්වමානයක් තිබේ නම් දවසට දෙවරක් එම පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාකර බැලිය හැකිනම් වැදගත් ය.

මේ පුද්ගලයාගේ ඇඳුම් අනෙක් අයගේ ඇඳුම් සමඟ සේදීමට හැකි ය. නමුත් ඒවා පරිහරණය කිරීමේ දී සෝදන පුද්ගලයා අත්වැසුම් පැලැඳ මුවවැසුම් පැලඳ සිටිය යුතුය. නිරෝධායනය වන පුද්ගලයකු වුවද රෝගියෙක් නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා සුදුසු වන්නේ ඔහු රෝගියකු ලෙස සලකා එම කටයුතු සිදු කිරීමයි. ඇතැම් පුද්ගලයන් වෛරස ආසාදිතයන් වුවද ඔවුනට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් වැඩි පරෙස්සම රෝගය වළක්වා ගැනීමට හැකි එකම මාර්ගයයි.

නිවෙසේ රෝගියකු තබා ගැනීමට සිදු වුවහොත් ඔහුට හුස්ම හිරකරන ගතිය, පපුවේ වේදනාව, අඛණ්ඩව පවතින අධික උණ, අධික හිසරදය, කල්පනාවේ වෙනසක් ආදිය ඇති වුවහොත් හැකි ඉක්මනින් සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ සෞඛ්‍ය අංශ වෙතින් ලබා දී ඇති දුරකථන අංකවලට දැන්වීම සුදුසු ය. රෝගියෙක් නිවෙසේ සිටිනවා නම් එම පුද්ගලයාට යම් අපහසුතාවක් ඇතිවන බව පවුලේ අයට ඇඟවීමට සීනුවක් හෝ යම් සංඥාවක් ලෙස ශබ්දයක් ඇති කළ හැකි දෙයක් ලබා දීම සුදුසු ය. මෙය රාත්‍රියේදී වඩාත් ප්‍රයෝජනවත් විය හැකියි. එමෙන්ම එම රෝගියා වෙනත් නිදන්ගත රෝගයකට හෝ යම් රෝගයකට ඖෂධ ලබා ගන්නා පුද්ගලයකු නම් දෛනිකව එම රෝගය සඳහා ලබා ගන්නා ඖෂධ ලබා දිය යුතුය.

වෙනම කාමරයක් ලබා දීමට අපහසු නිවෙසක නම් එම පුද්ගලයාට ජනේලයක් තිබෙන තැනකින් පොඩි කාමරයක් සේ ඉටිකොළවලින් හෝ වටකර තැබිය යුතුය. ඉටිරෙදි නැතිනම් රෙදිවලින් හෝ එසේ වෙන්කර තැබිය හැකි ය. නමුත් මෙවැනි විටෙක එම පුද්ගලයා මෙන්ම නිවෙසේ සිටින අනෙකුත් සාමාජිකයන් ද අනිවාර්යයෙන් ම මුවවැසුම් නිතර පැලඳිය යුතුයි.

රෝගියාගේ කාමරයෙන් බැහැරකරන අපද්‍රව්‍ය (මුවවැසුම්, ඉතිරි ආහාර ද්‍රව්‍ය, සෙම, සොටු ආදිය) හොඳින් වැසිය හැකි කුණු බඳුනකට දමා ඒවා දිනය අවසානයේ හිල් නොමැති පොලිතින් බෑගයකට දමා එහි කට හොඳින් ගැටගසා බැහැර කරන්න. රෝගියාට උපස්ථාන කරන පුද්ගලයා මේ කටයුතු කිරීමේ දී අත්වැසුම්, මුවවැසුම් පැලඳීම කළ යුතුයි. මේ කටයුතුවලින් පසුව ස්නානය කිරීම වඩාත් සුදුසු ය. තවත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ තමාට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර පරීක්ෂණ වාර්තා එනතෙක් සිටින පුද්ගලයකු එම කාලය තුළ නිවෙසට ම වී සිටිය යුතුය. මන්ද ඔහුට රෝගය වැලඳී තිබුණහොත් ඔහු ඒ කාලයේ දී රෝග වාහකයකු ද විය හැකි බැවිනි. මෙහිදී රෝගය වැලඳෙන්නේ ඔබේ ආදරණීයයන්ට ම විය හැකියි. එබැවින් අප සියලු දෙනා හැකි සෑම ආකාරයකින් ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රෝගය වැළඳීම වළක්වා ගත යුතුය.