වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කාන්තාවන්ට පෞද්ගලික සනීපාරක්ෂාව වැදගත් ඇයි ?
අම්මලා පුතකුටත් වඩා දියණියකට පිරිසුදුකමේ පාඩම කියා දෙන්නේ හෝඩියේ පන්තියේ සිටයි. ඒත් දූලා උස් මහත් වෙද්දි වැඩිපුර අවධානය යොමු කරන්නේ අධ්‍යාපනයටයි. මල්වර උත්සවය ජයටම පැවැත්වුවත් තමන්ගේ දුවට ඔසප් චක්‍රය ගැන කියා දෙන්නේ අම්මලාගෙන් කීයෙන් කී දෙනාද?
පුතාලට වඩා ශාරීරික වෙනස්කම් සිදුවන නිසා අම්මලාට දියණියන් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවනවා. දූට අන්දවන පලන්දවන දේ වගේම ඇයගේ පෞද්ගලික පවිත්‍රතාව ද ඉතා වැදගත්.
ඔසප් පවතින කාලයේ සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් නො වීමෙන් දියණියකට ජීවිත කාලයටම බලපාන ලෙඩ රෝග රැසක් වැලඳෙන්න පුළුවන්. ඒ අතර බැක්ටීරියා, දිලීර ආසාදන මෙන්ම එතරම් සුලබ නැති Toxic shock syndrome වැනි තත්ත්වයන් ද තිබෙනවා.
කාන්තාවන්ගේ ප්‍රජනක චක්‍රය මාසික ඔසප් චක්‍රය මඟින් ක්‍රමානුකූලට පවත්වා ගෙන යනවා. ඔසප් වීමේදී පිරිසුදු සනීපාරක්ෂක තුවා භාවිත කළ යුතුයි.
ඔසප් වෙද්දී පැය හතරකට වරක් වත් සනීපාරක්ෂක තුවා මාරුකළ යුතු අතර සනීපාරක්ෂක තුවා මාරු කරන සෑම වාරයකදීම සබන් ගා දෑත් සේදිය යුතුයි. එමඟින් මුත්‍රා මාර්ගයේ ආසාදන බොහොමයක් වළක්වා ගත හැකිය. තවමත් වෙළෙඳ පොළේ ඇති සනීපාරක්ෂක තුවා භාවිත නො කරන කාන්තාවන් ද සිටිනවා. ඒ අය පිරිසුදු රෙදි කැබල්ලක් භාවිත කළ යුතු අතර ඒවා භාවිතයෙන් පසු හොඳින් සබන් ගා සෝදා හිරු එළියේ වේළාගත යුතුයි.
පිරිසුදු සනීපාරක්ෂක තුවා භාවිත නො කළොත් ඔසප් රුධිරය අපිරිසුදු සනීපාරක්ෂක තුවා මත රැඳී සැල්මොනෙල්ලා, ස්ටැෆිලොකොකස්, ඊ. කෝලි වැනි බැක්ටීරියාවන්ට නිජ බිමක් සාදයි. මේ බැක්ටීරියාවල නම් අපට අසා පුරුදු ආහාර විස වීම්වලදීය. එහෙත් ඔසප් වන කාලයේ යහපත් සනීපාරක්ෂක පුරුදු පවත්වා නො ගත් විට ද සැල්මොනෙල්ලා, ස්ටැෆිලොකොකස්, ඊ. කෝලි වැනි බැක්ටීරියාවන් ශරීරගත වීමට පුළුවන්. සීග්‍රයෙන් වර්ධනය වන මේ බැක්ටීරියාවන් ගැබ් ගෙල හරහා සිරුරේ ඉහළට ගමන් කරනවා. මේවා රුධිර ධාරාවට එක්වී සෙප්සිස් වැනි තත්ත්ව ඇති වීමට පුළුවන්. ශ්ලේෂ්මලවලින් ඉතා පහසුවෙන් කෙලින්ම රුධිර ධාරාවට විසබීජ එක් වෙනවා.
සෙප්සිස් කියන්නේ ජීවිතයට තර්ජනයක් විය හැකි හඳුනා ගැනීමට අසීරු තත්ත්වයක්. සෙප්සිස් ඇති වන්නේ විසබීජයක් ආසාදනය වූ විට ඊට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය පමණට වඩා ප්‍රතික්‍රියා දැක්වීමට යාමෙන් ඇතිවන තත්ත්වයක්. මෙවිට සිරුරේ ම පටක හා අවයවවලට හානි කිරීමට පටන් ගන්නවා. සෙප්සිස් කෙනකුගෙන් තවත් අයකුට බෝවන තත්ත්වයක් නො වෙයි. මෙය ලේ විස වීම කියාත් හඳුන්වනවා.
අපිරිසුදු සනීපාරක්ෂක තුවා නිසා මෙන්ම කාන්තාවන් සෙප්සිස් තත්ත්වයට පත්විය හැකි තවත් අවස්ථාවන් තිබෙනවා. ප්‍රසූතිය සිදුකළ වහාම හෝ ස්වාභාවික ගබ්සාවකින් පසුව හෝ ගබ්සා කිරීමකින් පසු ද සෙප්සිස් තත්ත්වයට පත්විය හැකියි. ගර්භණී මවුවරුන් අතර ද ඇතැම්විට සෙප්සිස් තත්ත්වය දකින්න ලැබෙනවා.
භයානක බැක්ටීරියාවන් යෝනි මඟට ඇතුළු වීමෙන් ප්‍රජනක මාර්ගය ආසාදනය වීමට පුළුවන්. නිතර සනීපාරක්ෂක තුවා මාරු නො කළොත් ඇතිවන තෙතමනය සමඟ හානිකර විසබීජ වර්ධනය වෙනවා. අපවිත්‍ර දැයින් යෝනි පෙදෙසේ pH අගය වෙනස් වෙනවා. මෙවිට යෝනි මඟේ ජීවත් වන හිතකර බැක්ටීරියාවල වෙනස්කම් සිදුවී bacterial vaginosis නම් තත්ත්වය ඇති වීමේ අවදානම ඇති වෙනවා. bacterial vaginosis ඇතිවිට ස්වාභාවිකව ඇති බැක්ටීරියා පමණට වඩා වර්ධනය වෙනවා. මෙවිට තුනී, අළු, සුදු හෝ කොළ යෝනි ස්‍රාවයක් නිකුත් වෙනවා. මාළු පිළී ගඳක් ඒ පෙදෙසින් නිකුත් වෙනවා. යෝනි පෙදෙස කැසීමත් මුත්‍රා පිට කරන විට පිලිස්සෙන ගතියක් දැනීමත් bacterial vaginosis නිසා ඇති වීමට පුළුවන්. කිසිදු රෝග ලකුණක් නැතිව රෝගය පවතින කාන්තාවන් රැසක් සිටිනවා.
ප්‍රජනක මාර්ගය ආසාදනය වූ විට යෝනි මඟ කැසීම, කොන්දේ වේදනාව, උදර වේදනාව, අසාමාන්‍ය ස්රාවයන් පිටවීම බොහෝ කාන්තාවන් අත්දකින ලකුණුයි. යෝනි මඟ පමණක් නොව මුත්‍රා මාර්ගය ද ආර්තවය සිදුවන කාලයේ අපිරිසුදුව සිටීම නිසා රෝගී වීමට පුළුවන්. ස්වභාවයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටියි. ඒ නිසා පහසුවෙන්ම ආසාදනවලට ගොදුරු වෙනවා. ඔසප් කාලයේ අපවිත්‍රව සිටියොත් හානිකර බැක්ටීරියා පහසුවෙන්ම මුත්‍රා මාර්ගයට ඇතුළු වෙනවා. නිසි ප්‍රතිකාර ලබා නො දුන්නොත් බරපතළ සංකුලතා හටගන්න පුළුවන්. සිරුරේ අතිශය සංවේදී කොටස වන කාන්තාවන්ගේ අතිශය පෞද්ගලික පෙදෙස මඳ උණුසුම් ජලයෙන් හා මෘදු සබන් වර්ගයකින් සෝදන්න. සුවඳ සබන්, විසබීජනාශක සබන් මේ සංවේදී අවයව පිරිසුදු කිරීමට සුදුසු නැහැ. ඔසප් පවතින විට දිනකට එක් වරකට වඩා සෝදන්න.
යීස්ට් ආසාදන දරුවන් බිහිකළ හැකි වයසේ කාන්තාවන් සියයට හැත්තෑපහකට පමණ සෑදුනත් වැඩි දෙනෙක් රෝග ලකුණු පෙන්නුම් කරන්නේ නැහැ.
ඔසප් කාලයේදී පිරිසුදුකම රැක නො ගත්තොත් ගැබ්ගෙල පිළිකා වැලඳීමත් ඉහළ යනවා.
ලැජ්ජාව නිසා හෝ වෙනත් කිසිදු හේතුවක් නිසා ඔසප් කාලයේ පවිත්‍රතාව නො සලකා සිටිය යුතු නම් නැහැ. එසේ කියන්නේ ඉන් රෝග රැසකට මඟ පෑදෙන්න ඉඩ තියෙන නිසයි. මල්වර වීමටත් පෙරාතුව දියණියගේ පවිත්‍රතාව ගැන සොයා බැලීමට අම්මාට වගකීමක් තිබෙනවා.
උපදෙස් -
නාරි හා ප්‍රසව වෛද්‍ය වශේෂඥ
විජිත් විද්‍යාභූෂණ