දරුවන්ට කෝවිඩ් හැදෙන්නේ වැඩිහිටියන්ගේ නොසැලකිල්ලෙන්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය
සැප්තැම්බර් 1, 2021

 

හෙට දවසේ රට බාරගන්නට සිටින දරුවන්ට ආදරය කරන ආදරණීය මව්පියන්, වැඩිහිටියන් හැම කෙනෙක්ම කියවිය යුතුම ලිපියක්

ඩෙල්ටා රැල්ලක් ආවේ ඇල්ෆා රැල්ල ගණන් නොගත්ත නිසා ද ?

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝවිඩ් දරුවන් 200 කටත් වඩා

 

කෝවිඩ් දෙස සැහැල්ලුවෙන් බැලූ අයට එලෙස සිතිය නොහැකි කාලයක් දැන් උදා වෙලා. පළමු, දෙවැනි රැලිවලදී එහෙමත් නැත්නම් ඇල්ෆා ප්‍රභේදය පැතිර යන කාලේ අපේ මිනිස්සුන්ට ඒ බව දැනුණේ නැහැ. ඒ්ත් ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ එලෙස සරලව හිතන්න බැහැ කියලා බොහෝදෙනකුට අවබෝධ වෙද්දි රෝහල් ධාරිතාව පවා ඉහළ ගොසින්.

පුංචි මල් කැකුළු මෙවැනි වසංගත රෝගයකට බිලි දෙන්නේ කොහොමද?

මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝවිඩ් ආසාදිත දරුවන් 200කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. දැඩි සත්කාර ඒකකයට ම ඇත්තේ ඇඳන් 6යි. මේ ලිපිය අකුරු කරන මොහොතවන විටත් දරුවන් 7දෙනකුට දැඩි සත්කාර ඒකකයේ පිහිට පතන්න වෙලා. මේ ධාරිතාව තවත් දින කිහිපයකින් ඉහළ නොයාවි කියා සිතුණාද?

සෞඛ්‍ය සේවකයින්ට කෝවිඩ් රෝගය වැළඳීම,ඔවුන් එහි ගොදුරු බවට පත්වීමත් සමඟ රෝගීන්ට සත්කාර කරන්න පිරිසක් සිටීවිද?කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 7 ක් ඇතත් සෞඛ්‍ය සේවකයින් සිටින්නේ දරුවන් තිදෙනකු බලා ගැනීම සඳහා පමණයි. මෙවන් තත්ත්වයක් ඉදිරියේදී රිජ්වේ ආර්යා ළමා රෝහලට ද බලපෑවෝත්.....

දරුවන් එහා මෙහා යන්නේ නැත. එසේ නම් නිවෙසට කෝවිඩ් වයිරසය ගෙන යන්නේ ඔබයි. ඔබ ගෙනයන වයිරසය නිසා ඔබේ ලෙයින් උපන් ආදරණීය දරුවා එහි ගොදුරක් වුවහොත් එය දරා ගත හැකි වේවිද? සුජීවත්ව සිටින ඔබටත් සැමදා මැරී මැරී උපදින්නට වේවි.

 

කෝවිඩ් රෝගීන් වාර්තා වීම දිනෙන් දින වැඩිවද්දී ඊට සමානුපාතිකව දරුවන්ට කෝවිඩ් වැලඳීමත් කැපීපෙනෙන තත්ත්වයට පත්ව තිබෙනවා.

දරුවන් පාසල් යන්නේ නැහැ. සමාජයට යන්නේ නැහැ. දරුවන්ට කෝවිඩ් බෝකරන්නේ වැඩිහිටියන්. වැඩිහිටියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකිරීම නිසා දරුවන්ටයි බැට කන්න වෙලා තියෙන්නේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලට දිනකට පැමිණෙන රෝගී දරුවන් පරීක්ෂා කළ බැලූවිට ඔවුන්ගෙන් 25 - 30 ක් අතර දරුවන්ට කෝවිඩ්. කෝවිඩ් වාට්ටු 5ක් පමණ තිබෙනවා. මෙහි දරුවන් 200ක් පමණ සිටිනවා. දැඩි සත්කාර ඒකකයෙත් ඇඳන් 6ක් වෙන් කරලා තියෙනවා. මීට අමතරව රාජගිරිය ආයුර්වේද රෝහලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය සහ හෙද කාර්යමණ්ඩලය රැක බලා ගන්නා රෝගී දරුවන් සිටින වාට්ටුවක් තිබෙනවා. සාමාන්‍ය ලක්ෂණ සහිත දරුවන් මෙහි සිටින්නේ.

නිදන්ගත රෝග ඇති දරුවන්ට කෝවිඩ් වැලඳුණු විට අසාධ්‍ය මට්ටම දක්වා යෑමට ඇති ඉඩකඩ වැඩියි.

මේවන තෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝවිඩ් වැලඳුණු දරුවන් 14දෙනකු පමණ මිය ගොස් තිබෙනවා.

මේ අතරින් පසුගිය දිනෙක මිය ගිය 12 හැවිරිදි දැරිය අපවෙත යොමු කරද්දිම ඒ දරුවගේ ඔක්සිජන් මට්ටම සියයට 55 කට බැහැලයි තිබුණේ. මේ දරුවා කිලෝ 60ක් පමණ බරකිනුත් යුතු දරුවෙක්. ඒ දරුවා ආවෙම අසාධ්‍ය වෙලා. සාමාන්‍ය රෝග ලක්ෂණ පහළ වුවත් වෛද්‍යවරයකුට පෙන්වීම අතිශය වැදගත්. වෛද්‍යවරයා ඉන් එහාට අවශ්‍ය දෑ සඳහා මුල පුරාවී.

 

-----------------------------------------

පොඩි අසනීපයක් තිබුණත් දරුවන්ව ගෙදර තියාගන්න එපා

අභිමානිගේ මව ශිරෝමා ආදරණීය අම්මලාගෙන් කරන කාරුණික ඉල්ලීම

නාවල ජනාධිපති බාලිකාවේ ඉගෙනුම ලබමින් සිටි අභිමානි නවෝද්‍යා සේරසුන්දර දැරිය කෝවිඩ් නියුමෝනියාවට ගොදුරුව පසුගිය දිනෙක මිය ගියා.

රාජගිරිය ගල්පොත්ත පාරේ ⁣තුන්වන පටුමගේ පදිංචිව සිටි මේ දැරිය තරමක් කුඩා වයසෙදී වැඩිවිය පැමිණ සිටියා.

"දරුවට නිදන්ගත රෝග නම් මුකුත් ම තිබුණේ නැහැ. යන්තම් තිබුණු උණට බෙහෙත් ගත්ත නිසා උණ බැහැලා ගියා. කොන්දේ අමාරුව, බඩේ කැක්කුම තිබුණා. රුධිර සහ මුත්‍රා පරීක්ෂණ කළා. ඒවායේ වාර්තාවන්වත් ගන්න බැරි වුණා. දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබුණු නිසා රෝහල්ගත කළා. මේ වෙද්දි අක්කගේ පුතා එහෙම පොසිටිව් වෙලා තිබුණේ. හුස්ම ගැනීමේ අපහසුතාව නිසා දරුවගේ කටට බටයක් දැම්මා. ඒ වෙද්දි දරුවගේ හාට්එක නතර වුණා. වෛද්‍යවරු ලොකු උත්සහයක් අරන් හුස්ම ටික ගත්තා. ඒත් එක්කම මැෂින් එකකට සම්බන්ධ කළා.

‘‘අම්මා බබා ඉන්නේ අවදානම් තත්ත්වයක. කෝවිඩ් නියුමෝනියාව හැදිලා තියෙන්නේ. අපි බබාව අතහරින්නේ නෑ අම්මා ‘‘කියලා වෛද්‍යවරු කීවා. එදාම දරුවා ICU දැම්මා.මම දරුවා අන්තිමට දැක්කෙත් එදා. දවස් 8 කට පස්සේ මගේ දරුවා නැති වුණා. මේ දරුවගේ ඇ⁣ඟේ වෙනයම් රෝගයක් තිබුණ ද බලන්න මරණ පරීක්ෂණයකුත් කළා. කිසිම රෝගයක් නැහැ. නියුමෝනියා තත්ත්වය පෙනහලුවලට ගොස් එය මොළයටත් බලපෑ තත්ත්වය කියලයි වෛද්‍යවරු පවසන්නේ .මේ මගේ දෙවැනි දරුවා. අවුරුදු 27ක ලොකු දුවෙක් මට ඉන්නවා. එයා විවාහකයි.ලොකු දරුවා ලැබිලා අවුරුදු 16 ක⁣ට පස්සේ මේ දරුවා අපට ලැබුණේ. මේ දරුවට පස්සේ අවුරුදු 8 ක පුතෙකුත් ඉන්නවා. මේ දරුවා තරමක් මහතයි තමයි. මම රැකියාවක් කරන්නේ නැහැ. මගේ සැමියත් මීට මාස 7 කට පෙර අප අතරින් වියෝ වුණා.ලොකු දුවගේ සැමියා කරන රැකියාවෙන් තමයි අපි ජීවත්වෙන්නේ.

මට අනෙක් අම්මලට කියන්න තියෙන්නේ පොඩි අසනීප තත්ත්වයක් හැදුණත් දරුවන්ව ගෙදර තියා ගන්න එපා. ඉක්මනටම රෝහල්ගත කරන්න.‘‘ අභිමානිගේ ආදරණීය මව ශිරෝමා හේරත් අනෙක් මවුවරුන්ගෙන් කළ එකම ආයාචනය එයයි.