කෝවිඩ් නිසා හද ලෙඩ වීමට ඇති ඉඩ වැඩි වෙලා

ඔක්තෝබර් 27, 2021

හදවත දෙආකාරයකින් සොඳුරු විය යුතුය. ඒ යහ ගුණයෙන් වාගේම සුවතාවයෙන්ය.

මුහුණ කෙතරම් සොඳුරු වුවත් හදවත සොඳුරු නැත්නම් ඒ මුහුණ අමාවකටත් වඩා අඳුරුය. හදවතේ සොඳුරු බව ජීවිතයට අත්‍යාවශ්‍යය.

ඒ වාගේම පණ නල පවත්වා ගැනීමට හදවතේ නීරෝගිභාවය පවත්වා ගැනීම වැදගත්ය.

මේ අන් කවර කාලයකටත් වඩා හදවත් අනුවේදනීය කරගත යුතු, නීරෝගිමත් කරගත යුතු කාලයකි.

ලෝක හදවත් ෆෙඩරේෂණයට අනුව ලොව අංක එකේ මාරයා හදවත් රෝග ය. හදවත් රෝග සමඟ ජීවත් වන්නන් ගේ ගණන මිලියන 520 කි.

නව කොරෝනා වෛරසය බරපතළ ලෙස ආසාදනය වූවන් හදවත් රෝග වැලඳීමට වැඩි ඉඩක් ඇති අය වෙයි.

හදවතින් ම පවුලේ සාමාජිකයන් ගේ හදවත් ගැන අන් කවර කාලයකටත් වඩා සිතන්නට වසංගතය පවතින මේ කාලයේ ගෘහණියට සිදුව තිබෙයි.

2020 සිට මේ දක්වාම ලෝකයේ මෙන්ම අපේ රටේ ද ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ කෝවිඩ් - 19 වසංගතයයි. අපේ වයස අවුරුදු හැටට වැඩි බොහෝ දෙනකු නව කොරෝනා වයිරසයට ගොදුරු වීම, සංකූලතා ඇති වීම මෙන්ම මිය යාම වැඩි වීමට ඔවුන් හෘදය සහ රුධිර වාහිනී ආශ්‍රිත රෝගවලින්, බෝ නො වන රෝගවලින් පීඩා විඳීම හේතුවී ඇත.

වයස හැට ඉක්මවූවන් පමණක් නොව තරුණ වයසේ පුද්ගලයන් මරණයට පත් වීමට පවා මේ කරුණු ප්‍රබලව බලපායි.

තමන්ට හෘදය සහ හෘදය ආශ්‍රිත රෝගයක් පවතින බව නො දැනීම, දැන සිටියත් කලට වේලාවට ප්‍රතිකාර ගෙන රෝගය පාලනය නො කිරීම, නො සැලකිල්ල අකල් මරණවලට බලපා තිබෙයි.

ඉතාමත් අඩු වයසින් හෘදයාබාධවලට බෝ නො වන රෝගවලට ගොදුරු වීම නව ප්‍රවණතාවක් වී ඇත.

මේ අවාසනාවන්ත තත්ත්වයට හේතූන් රැසක් බලපායි.

නිවෙසේ ගෘහණිය වශයෙන් ඔබ ද මෙහි කොටස්කරුවකු වන අවස්ථා ඇති බව කනගාටුවන් වුවත් කිව යුතුය.

සාම්ප්‍රදායික, ස්වාභාවික ආහාර රටාවෙන් බැහැර වීම , තෙල් - ලුණු - සීනි අධික ආහාර වැඩිපුර ගැනීමට පෙලඹීම, අධික ලෙස කෘත්‍රිම රසකාරක, කල් තබා ගන්නා ද්‍රව්‍ය ආහාර ගැනීම වැළැක් වීමේ මුල් පියවර නිවෙසේ මුළුතැන් ගෙයින් ඇරැඹිය යුතුය.

සාමාජිකයන් ව්‍යායාම කෙරෙහි යොමු කිරීම ද ගෘහණියට පහසුවෙන් කළ හැකිය. මත් පැනට, දුම් වැටියට ඇබ්බැහි නො වන යහපත් පෞරුෂත්වයකින් යුතුව දූදරුවන් ඇතිදැඩි කිරීමේ වගකීම මාපිය යුතුකමකි.

තරගකාරී ජීවන රටාවට තමන් හා දූදරුවන් ඉවත් වීමෙන් පහසුවෙන් ම හදවත් රෝගවලට හේතුවන ආතතිය නම් සාධකය ඉවත් කිරීමට පුළුවන. පරම්පරාගතව රෝගය පැවතීම, වායු දූෂණය හදවත් රෝග අවදානම වැඩි කරන අතර ඒවා නම් වළක්වාගත නො හැකි කරුණකි.

මේ වසංගත සමයේ ගෘහණිය ගේ

 

 

 

 

 

 

වගකීම් සම්භාරය තව දුරටත් වැඩිවී තිබෙයි. තම පවුලේ සාමාජිකයකු, සමීපතමයකු මෙවැනි සමයක රැක ගන්නේ කෙසේද? අනිවාර්යයෙන්ම එය සිතට වධ දෙන කරුණකි. ඔවුන්ට නියමිත ඖෂධ තිබෙනවාද, ඒවා නිසි අයුරින් ගන්නවාද, රෝගය නිසා බියට පත්වී සිටිනවාද හුදෙකලාවී සිටිනවා ද කියා විමසිලිමත් වන්න.

වසංගත සමයේ රෝගය උත්සන්න වුවහොත් ගත යුතු ක්‍රියා මාර්ග ගැන දැනුවත් වි සිටීමත් වැදගත්ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ 1999 ඇමතීමෙන් කඩිනමින් උපදෙසක් ලබා ගන්න. ඖෂධ ලබා ගැනීමට, රෝහල් ඇමතීමට, අදාළ නිලධාරීන් ඇමතීමට ඔබගෙන් ලැබෙන සහාය ඔවුනට ඉතා වැදගත්ය.

හදවත් රෝගයක් තිබේ නම් පපුවේ වේදනාව, තද බව, බර ගතිය හෝ අපහසුතාවක් දැනීම, හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනීම ( විවේකීව සිටින විට / වෙහෙසෙන විට ), හදවත වේගයෙන් ස්පන්දනය වන බව දැනීම, ක්ලාන්තය, පාද ඉදිමීම වහාම ප්‍රතිකාර පැතිය යුතු බව පෙන්නුම් කරන ලකුණුය.

 

 

උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යංශයේ

බෝ නො වන රෝග ඒකකයේ

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ශාන්ති ගුණවර්ධන