වයස 45 වෙද්දී සැමියා දකින බිරියගේ ලොකු ම වෙනස

නොවැම්බර් 22, 2021

 

පූර්ව ආර්තවහරණ කාල සීමාවේදී ප්‍රධාන කාන්තා හෝර්මෝන වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන නිපදවීම ඉහළ , පහළ යයි. පූර්ව ආර්තව ලකුණු බොහොමයකට හේතුව ඊස්ට්‍රජන් මට්ටම පහළ බැසීමය.

කල් ඇතිව පූර්ව ආර්තවහරණ ලකුණු පහළ වී ආර්තවහරණය සිදු වීමට බලපාන හේතු කිහිපයක් අනාවරණය කරගෙන තිබෙයි.

පවුල් ඉතිහාසය - පවුලේ මිත්තණිය, මව, සොයුරිය වැනි සමීපතම සාමාජිකාවන් නියමිත කාලයට පෙර ආර්තවහරණයට ලක්වී තිබෙනවා නම් අවදානම ඉහළ යයි.

පිළිකා ප්‍රතිකාර ද මේ කෙරෙහි බලපායි. කිමෝතෙරපි හෝ ශ්‍රෝණි විකිරණ චිකිත්සාව කල් ඇතිව පූර්ව ආර්තවහරණ ලකුණු ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි කරයි.

ගර්භාෂය සැත්කමකින් ඉවත් කිරීම නිසා ද නියමිත කලට පෙර මේ අත්දැකීම ලැබීමට සිදුවනු ඇත. දුම්පානය ආර්තවහරණය ඉක්මන් කරන සෞඛ්‍යයට ද අහිතකර පුරුද්දකි.

 

ගැහැනිය තරම් පිරිමියාට වස්තු විෂයයක් වූ වෙනත් යමක් ගැන සිතිය හැකිද? ඇය විචිත්‍රයි. ජීවිතයේ පෙරැළි බොහොමයි. මල්වර වූවාට පසු පිරිමින්ට මෙන් ඇයට සෑම දිනයක්ම එක හා සමාන වන්නේ නැත. මසකට දින කිහිපයක් උදා වන්නේ ඇය ගේ දිවිය උඩු යටිකුරු කරමිනි.

පිරිමින් විසින් කාන්තාව හඳුන්වා දී ඇත්තේ කාලගුණය මෙන් වෙනස්වනසුලු වස්තුවක් ලෙසිනි. උපන්දා සිට දිවියේ සිදුවන ‍වෙනස්කම් නිසා මෙවැනි හැඳින්වීමක් ගැන පුදුම විය යුතු ද නැත.

සැමියා, බිරිය ගේ ලොකුම වෙනස දකින්නේ වයස අවරුදු හතළිස් පහ, පනහ වන විටදීය.

ඒ වයසේදී ඇය ගේ නො රිස්සුම් සහගත බව බොහෝ පිරිමින්ට ගැටලුවකි.

මැදි වයසට පිවිසෙද්දී බිරිය ගේ ඇතිවන මෙවැනි වෙනස්කම් පිරිමි වැඩිදෙනකුට රහසකි. එහෙත් එය සෑම පිරිමියකු ම එළි කරගත යුතු රහසකි.

දැරියක, මල්වර වූ නව යෞවනියක, ගැබිනියක ලෙස වාගේම ජීවිතයේ විශාල වෙනසකට ඔසප් වීම පූර්ණ ලෙස නතරවූ පසුව ද කාන්තාව මුහුණ දෙයි.

එපමණක් නොව අලුත්ම පර්යේෂණ පෙන්වා දෙන්නේ ආර්තවහරණය ගව් ගණනක් තිබියදීත් ඇයගේ වෙනසක් සිදු වන බවය.

ආර්තවහරණය වෙන වයස කාන්තාවගෙන් කාන්තාවට වෙනස් ය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 45 - 55 අතර වයසකදී ( වයස අවුරුදු 35 දී ආර්තවහරණය වන කාන්තාවන් ද නැත්තේ නො වෙයි. )මේ අත්දැකීම ලැබුවත් ඊට කලකට කලින් පූර්ව ආර්තවහරණ ලකුණු ඇති වෙන බව පර්යේෂණවලින් හෙළිවී තිබෙයි. පූර්ව ආර්තවහරණ ලකුණු ආර්තවහරණ ලකුණුවලට සමානය.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, යෝනි මඟ වියළි ගතියක් දැනීම, සිරුරට දැඩි උණුසුමක් දැනීම, රාත්‍රියට අධිකව දහදිය දැමීම, සුව නින්දක් ලබා ගැනීමට නො හැකි වීම, මානසික වෙනස් වීම්, බර වැඩි වීම, හිස කෙස් තුනී වීම, සම වියළීම, පියයුරුවල පිරිපුන් බව අඩු වීම පූර්ව ආර්තවහරණයේ ( ආර්තවය සම්පූර්ණයෙන් නතර වීමට පෙර ඇති වන ) පොදු ලකුණුය.

ආර්තවය නියමිත දිනයට සිදු නො වීම මාසයක් මාස කිහිපයක් පමා වීම බොහෝ කාන්තාවන් ආර්තවහරණයට පෙර සුලබව අත්දකියි. ‍සමහරුන්ට ළඟ ළඟ ඔසප් වෙයි.

අලුත්ම පර්යේෂණවලින් එළි වන්නේ මීට අමතරව පූර්ව ආර්තවහරණ ලකුණු ලෙස මානසික සෞඛ්‍යයට ද බලපෑම් ඇතිවන බවයි. අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ පූර්ව ආර්තවහරණ ලකුණක් ලෙස කාන්තාවන් සියයට 58 ක ගේ පමණ කාර්යක්ෂමතාව අඩු වී ඇති බවයි.

කායික දුබල බවක් ද ඔවුන් අත් විඳ තිබෙයි. සියයට 53 ක්ම විෂාදයෙන් පීඩා විඳ ඇත. කාංසාවෙන් පීඩා විඳි ගණන සියයට පනහකි.

කෝවිඩ් - 19 සමඟ සංකූලතාවක් ලෙස කවුරුත් කතා කරන බ්‍රේන් ෆොග් තත්ත්වය පූර්ව ආර්තවහරණ ලකුණක් ලෙස ඇතිවිය හැකිය. මෙවිට තමන්ට කරන්න යන දේ අමතක වෙයි. පොඩි දෙයක් කිරීමටත් වැඩි කාලයක් ගත වෙයි.

අවධානය නිතරම බිඳ වැටෙයි. යමක් කරන විට දැඩි වෙහෙසක් දැනෙයි.

පූර්ව ආර්තවහරණ ලකුණු ගැන සෑම කාන්තාවක්ම දැනුවත් වී සිටිය යුතුයි. මගේ මේ වෙනස ඇයි ? යන්න තමන්ට ම ගැටලුවක් විය හැකියි. දූදරුවන් හා සැමියා මේ වෙනස්කම් වරදවා වටහා ගැනීමෙන් නැති ගැටලු ඇති වීමට පුළුවන.

පූර්ව ආර්තවහරණය පරීක්ෂණ මඟින් හඳුනාගත හැක්කක් නො වෙයි. ඒ ලකුණු හඳුනාගත හැක්කේ තමන්ටමය. පූර්ව ආර්තවහරණ සමයේ

සිරුරේ වෙන වෙනස්කම් සාමාන්‍යයයි සිතා නො සලකා නො සිටිය යුතුයි. ඔසප් වීමේදී වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස අධිකව රුධිරය පිට වෙනවා නම්, කවරදාවත් නැතිව ඔසප් වීම අක්‍රමවත් නම්, වෙනදා නැති වේදනාවක් ඔසප් වීමේදී දැනෙයි නම්, ආදර සබඳතාවලදී රුධිරය පිටවීමක් වේදනාවක් දැනෙයි නම් නො සැළකිලිමත් නො වන්න.

මෙවැනි ලකුණු පමා නො වී වෛද්‍යවරයකු කරා යා යුතු බවට දැල් වෙන රතු එළි වෙයි. දෛනික ජීවිතයට පූර්ව ආර්තවහරණ ලකුණු බාධාවක් නම් කඩිනමින් නාරි හා ප්‍රසව වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

 

 

 

 

උපදෙස් - නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ විජිත් විද්‍යාභූෂණ