ප්‍රතිශක්තිකරණ එන්නත් දිය යුතු නොදිය යුතු අවස්ථා ඔබ දැන සිටියා ද?

නොවැම්බර් 29, 2021

කෝවිඩ් වසංගතයත් සමඟින් ගැබිනි මව්වරුන්ට මෙන්ම කුඩා දරුවන් සිටින මව්වරුන්ගේ සිත්වලට යම් යම් චකිතයක් එක් වුණු අවස්ථා බොහොමයක් තිබුණා. රෝහලකට, සායනයකට, වෛද්‍යවරයෙක් හමුවන්නට යෑම පිළිබඳ දෙවරක් සිතන්නට වුණේ වසංගතය ඒ තරම් දරුණුවීම නිසයි.

හිරණ්‍යත් සේමිතත් මේ වසංගත කාලය ගත කළේ යම් යම් අපහසුතාවන්ට මුහුණ දෙමින් බව කියන්න ඕන නැහැනෙ. හිරණ්‍යා ගැබිනියක් වුණෙත්, දරු පැටියා ලැබුණෙත් වසංගතය උපරිමව තියෙද්දී, දැන් හිරණ්‍යාගේ චූටි දෝණි ප්‍රතිශක්තිකරණ ලේඛණයේ ඇති විවිධ එන්නත් ලබාගත යුතු කාලයට එළැඹිලා.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ මූලික හැඳින්වීම පසුගිය සතියේ කතා කළා මතක ඇති. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිදු කරන ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ මේ අතරින් ප්‍රධානයි. රෝග ඇතිවීමේ ප්‍රවණතාව අනුවත් අලුතින් ඇතිවන රෝග තත්ත්ව මතත් එහි පිළිවෙළ වෙනස්විය හැකියි. අතුරු ආබාධ අනුව ද එහි පිළිවෙළ වෙනස් වේ. උදාහරණයක් ලෙස අවුරුදු පහක දරුවකුට ලබාදෙන ත්‍රිත්ව එන්නත වෙනුවට වෙනත් එන්නතක් ලබා දිය හැකියි.

තවද කවුරු කෙසේ කීවත් එකම වර්ගයේ එන්නතක් තවත් එන්නතකින් දශම ගණනකින් හෝ වෙනස් විය හැකියි. සමාගම්වල නිෂ්පාදනයන්ගේ මේ වෙනස සමඟින් අතුරුඵල ද එකිනෙකට වෙනස් විය හැකියි.

බොහෝ විට ලබාදෙන එන්නත් වාර දෙකක් අතර පරතරය අවම සති හතරක්වත් විය යුතුයි. එහිම දෙවැනි, තෙවැනි එන්නත් පමා වුවහොත් යළිත් කිසිදු විටෙක අලුතින් එන්නත් චක්‍රය අැරැඹිය යුතු නැත.

මේ දිනවල බොහෝ මව්වරුන්ට ඇති ගැටලුව නම් මාස 2න්, මාස 4න්, මාස 6න් යනාදී ලෙස ලබාදෙන එන්නත් කලට වේලාවට ලබාදිය නොහැකි වීමයි. කිසිදු බියක් ඇතිකරගත යුතු නැත. අවසානයට ලබා දුන් එන්නතකින් පසුව ඇති ඊළඟ එන්නත ලබා ගැනීමට පුළුවන‍.

ජීවි හෝ මර්ධනය කරන ලද එන්නත් දෙකක් එකවර ලබාගත හැකි අතර ඒ සඳහා වෙනත් සිරින්ජරයක් භාවිත කරයි. එය ශරීරයේ ස්ථාන දෙකකට වෙන වෙනම ලබා දිය යුතුයි.

කුස තුළ නියමිත සති ගණන සම්පූර්ණ නොවූ දරුවන්ට ද නියමිත පරිදි එන්නත ලබා දිය යුතුයි. එය විශේෂයෙන් ම කළ යුතු වන්නේ නොමේරූ දරුවාගේ ප්‍රතිශක්තිය මඳ බැවිනි. රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඒඩ්ස් වැනි රෝග තත්ත්ව ඇති දරුවන්ට ද නියමිත පරිදි එන්නත්කරණය කළ යුතුයි.

යම් යම් රෝග අවස්ථාවලදී ප්‍රතිශක්තීකරණ එන්නත් නොදිය යුතු යැයි සමාජයේ යම් මතයක් තිබුණත් එවැනි අවස්ථාවක දී එන්නත් ලබා දීමේ වරදක් නොමැති රෝග අවස්ථාවන් පිළිබඳ ඔබ දන්නවාද?

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇදුම, පිනස, දද, කුෂ්ඨ, ඇතිවිටෙක ප්‍රතිජීවක හෝ ස්ටෙරොයිඩ් (Steroid) වර්ගයෙ පෙති පාවිච්චි කරන විට, එනම් ප්‍රෙඩ්නිසොලෝන් (Prednisolone), ඩෙක්සාමෙතසෝන් (Dexamethason) වැනි පෙති ගනිද්දී එන්නත් ලබා ගැනීමේ වරදක් නැත.

මුල් කාලයේ කහ පැහැ වී ඇති දරුවන් (පළමු සති දෙක), බර අඩු එහෙත් නීරෝගි දරුවන්ට (හෙපටයිටීස් B හැර), එන්නත් ලබා දිය යුතු වයස් සීමාවන් පසු කළ එහෙත් නිරෝගී දරුවන්ට cerebral palsy හෝ ඩවුන් සින්ඩ්‍රෝම් යනාදී වැඩි නොවෙමින් පවතින ස්නායු රෝගාබාධ ඇති දරුවන්ට, මෑතක දී බෝවන රෝගයකට නිරාවරණය නොවූ දරුවන්ට එන්නත ලබාදීමට පෙර අදාළ රෝගය වැලඳුණ (සරම්ප, කක්කල් කැස්ස... වැනි) දරුවන්ට ද එන්නත් කළ හැකියි.

 

වෛද්‍ය නිර්දේශය මත පමණක් ම එන්නත් පමා කළ යුතු අවස්ථා

* උග්‍ර අසනීපයක දී හෝ ෆැරන්හයිට් අංශක 98.4 හෝ සෙල්සියස් අංශක 38ට වැඩි උෂ්ණත්වය ඇති අවස්ථාවක.

* ප්‍රතිශක්ති ඌනතා රෝගයකින් පෙළෙන දරුවන්ට.

* කලින් ලබාදුන් එන්නතකදී සැලකිය යුතු ආබාධ ඇති වූ විට (ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු පැවසූ පසු)

* එන්නතේ තිබිය හැකි ප්‍රතිවිපාක ඖෂධයන්ට අසාත්මික වූ දරුවන්ට.

* මෑතකදී රුධිර පාරවිලයනයක් ලැබූ දරුවකුට (මෙය ජීවී එන්නත් කෙරෙහි බලපෑ හැකියි)

 

අතුරු ආබාධ

ප්‍රතිශක්තිකරණයේ දී ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳව ද මව දැනුවත් විය යුතුවේ. සියලුම එන්නත් භාවිතයට පෙර සඵලතාව පිළිබඳ ඉතා හොඳින් පරීක්ෂණ කර ඇති නමුදු යම් විටෙක සංකූලතා ඇතිවීමේ ඉඩකඩ නැත්තේ ද නොවේ. විශේෂයෙන් ම කුඩා දරුවන්ට යම් යම් බලපෑම් ඇතිවීමට පුළුවන. මේ පිළිබඳ පූර්ව දැනුවත් වීම අනවශ්‍ය බිය දුරු කිරීමට හේතුවක් වේවි.

යම් විටෙක උණ ගතියක්, අසාමාන්‍ය ලෙස දරුවාගේ හැඬීම, දරුවාගේ සාමාන්‍ය ගති පැවතුම් වෙනස්වීම, නොසන්සුන් ගතිය, වලිප්පුව (Fit) වැනි රෝග ලක්ෂණ ඇතිවීම, එන්නත් ලබා දී මාස තුනක පමණ කාලයක් ඉක්ම ගිය පසු අතපය අප්‍රාණික ගතිය, එන්නත් කළ ස්ථානයේ සෙන්ටිමීටර පහකට වඩා ප්‍රමාණයක රතුවීමක්, ඉදිමුමක් ඇති වූ විට ඔබ ඔබගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් නිසැකව ම පිළිපදින්න.

 

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය

මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක