ප්‍රතිශක්තිය දුර්වල නම් තෙවැනි එන්නත නො ගෙන ඉන්න එපා

දෙසැම්බර් 20, 2021

දත් තිස් දෙක මැද දිව මෙන් මිනිසාට ජීවත් වීමට සිදුවී ඇති බව වරින් වර ලොව ට පැමිණෙන වසංගත සිහිපත් කර දෙනවා. විසි එක් වැනි සියවසේ ජීවත් වන අපට කෝවිඩ් - 19 ඒ බව හොඳින් ම පසක් කළා. බැක්ටීරියා, වෛරස, දිලීර, ක්ෂුද්‍ර ජීවීන් පිට කරන විස පිරි පරිසරයක ජීවත් වන අපට නීරෝගිව ජීවත් වීමට ආරක්ෂක පලිහක් මෙන් රැකවරණය දෙන්නේ ප්‍රතිශක්තියයි.

ප්‍රතිශක්තිය දුබල වූ විට පහසුවෙන් රෝගාබාධවලට ගොදුරු වෙනවා.

ප්‍රතිශක්තිය දුර්වල කරන රෝග අතරින් අද කාලයේ බහුතරයක්, බාල, තරුණ, මහලු වැඩි දෙනෙක් පීඩා විඳින බෝ නොවන රෝග ප්‍රමුඛස්ථානය ගන්නවා.

ප්‍රතිශක්තිය දුබල කරන රෝග

රුමැටොයිඩ් ආතරයිටිස්, ලූපස්

(ස්වයංප්‍රතිශක්ති විරෝධී රෝග)

දියවැඩියාව

(රුධිරයේ සීනි මට්ටම වැඩි වීම ප්‍රතිශක්ති පද්ධතිය දුබල කරන කරුණක්)

එච්අයිවී - ඒඩ්ස්

( එච්අයිවී ආසාදනයෙන් ඒඩ්ස් රෝගයෙන් ප්‍රතිශක්ති සෛල විනාශ වෙනවා.), ලියුකීමියා (ලිම්ෆෝමා - සුදු රුධිර සෛල සම්බන්ධයෙන් ඇතිවන රෝගයක් වන අතර ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ද අවශ්‍ය සුදු රුධිර සෛලයි)

ඇදුම (ඇදුම අසාත්මිකතාවක්. නිතරම ප්‍රතිශක්තිකරණ පද්ධතියට අසාත්මික ද්‍රව්‍යයන්ට එරෙහිව සටන් කිරීමට සිදුවන නිසා දුබල වීමේ අවදානමක් පවතිනවා. )

වෛද්‍ය ප්‍රතිකාර

ඇතැම් පිළිකා ප්‍රතිකාර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුබල කරනවා. ස්වයංප්‍රතිශක්ති විරෝධී රෝග සඳහා දෙන ඖෂධීය ප්‍රතිකාර මඟින් බොහෝ විට කරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුබල කිරීමය. එයින් කෝවිඩ්- 19 වැනි වසංගත සෑදීමේ අවදානම ඉහළ යයි. එපමණක් නොව ආසාදනවලට එරෙහිව ප්‍රතිදේහ සෑදීමේ ඉඩකඩ අවහිර කරනවා.

අවයව බද්ධ කිරීම හෝ ඇට මිදුලු බද්ධය

මෙවිට ද ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන ඔසු ලබා දෙනවා.

වයස

තරුණ කෙනකු ගේ මෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වියපත් වූවන්ගේ හොඳින් ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා වසංගත රෝගයක් වැලඳුණු විට දරුණු ලෙස බලපානවා. වයසත් සමඟ සෞඛ්‍ය ගැටලු මතු වීම තවත් හේතුවක්.

දුම්පානය

දුමට ඇබ්බැහිවූවන් ආසාදනවලට ලක් වෙනවා වැඩියි. දුමෙන් පෙණහලුවලට හානි වී පෙණහලු ආසාදන ඇති වීමේ ඉඩ වැඩි කරනවා.

ප්‍රතිශක්තිය දුබල පුද්ගලයන් කෝවිඩ් - 19 ට එරෙහිව තෙවැනි මාත්‍රාව / බූස්ටර් එන්නතක් ලබා ගත යුතුයි.

වෛද්‍ය විශේෂඥයන් ප්‍රතිශක්තිය දුබල වූවන් ට තුන්වැනි මාත්‍රාව ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා. දෙවැනි කෝවිඩ් මාත්‍රාව ගෙන දින මාස හයකට පසු ෆයිසර් හෝ මොඩර්නා එන්නත ගන්න පුළුවන්.

බූස්ටර් එන්නත, එන්නත් මාත්‍රා සම්පූර්ණ කළ ඕනෑම කෙනකුට ලබාගත හැකියි. අමතර එන්නතින් කරන්නේ කලින් මාත්‍රාවලින් ලැබෙන ආරක්ෂාව තවදුරටත් තර කිරීමයි.

තෙවැනි මාත්‍රාව හෝ බූස්ටර් මාත්‍රාව ගත් පසු ඇති විය හැකි ලකුණු

එන්නත ගැනීමට හෝ නො ගැනීමට නෑ හිත මිතුරන් ගෙන් ලබා ගන්නා තොරතුරු තමන් ගේ රෝග තත්ත්වයන්ට සෞඛ්‍ය තත්ත්වයන්ට වඩා බලපා තිබෙනවා. “ අනේ මට ඉන්ජෙක්ෂන් එක ගත්තාට පස්සෙ තද හිසරදයක් හැදුණා. ඉවසන්න බැරි ඇ‍ඟේ පතේ වේදනාවක් දැනුණා. “ පැවසූ විට අනෙක් අය පසු බානවා. ඒත් ඒ වගේ ලකුණු ඇති වන්නේ එන්නත නිසාම නො වෙයි. වෙනත් හේතූත් බලපාන්න පුළුවන්. සමහරුන්ට බූස්ටර් හෝ තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත් පසු කෝවිඩ් වගේ සුළු රෝග ලකුණු මතුවන්න පුළුවන්. එයින් කියවෙන්නේ එන්නත සක්‍රීය වී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වන බවයි.

එන්නත ගැනීමෙන් පසු ඇඟේ පතේ වේදනාව, හිසරදය, වමනයවගේ ලකුණු ඇතිවන්නේ එන්නත හොඳින් ක්‍රියාත්මක වීම නිසයි. මේ ලකුණු දින තුනක් පමණ පවතින්න පුළුවන්.

උපදෙස් -

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය

මල්කාන්ති ගල්හේන

සටහන

චම්පිකා දීපානි රණසිංහ