ලෝකයේ ඇති වන ආහාර අර්බුද හමුවේ නිසි පෝෂණයෙන් රැකවරණය ලබමු

ජනවාරි 3, 2022

 

ගෙවී ගිය 2021 වසර සමස්ථ ලෝකයටම අභියෝගාත්මක වසරකි. වසර දෙකක් පුරා ඇදී ගිය කෝවිඩ් වසංගතය හමුවේ ලෝකයම මුහුණපා සිටින්නේ දැඩි ආර්ථික අර්බූදයකය.

ඒ නිසාම ලෝකයේම විශාල ආහාර හිඟයක් ද උද්ගතවෙමින් පවතී.

මෙවැනි පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 වසරේ දෙසැම්බර් මාසය පෝෂණ මාසය ලෙසින් නම් කරනු ලැබුවේ මේ අනතුර පිළිබඳ රතු එළියක් දල්වමිනි. මෙවැනි විශාල වසංගතයක් හමුවේ පෝෂණ මාසයේදී පමණක් නොව 2022 වසර පුරාම අපට මුහුණදීමට සිදුවන අභියෝගය බවට පත්වන්නේ කෝවිඩ් වසංගතයට මුහුණ දෙමින් නිසි පෝෂණයකින් යුතු ආහාර රටාවක් අනුගමනය කරමින් රැකවරණය ලැබීමයි. ඒ නිසාම මෙවර පෝෂණ මාසයේ තේමාව වූ ‘නිසි පෝෂණයෙන් රැකවරණය ගැන අප ඔබට අවධාරණය කරන්නේ නිසි රැකවරණය තුළින් පෝෂණය රැක ගැනීම සඳහා අප ආහාරයට ගන්නා ආහාර රටා තුළින් මතුවෙන බරපතල බෝ නොවන රෝග පිළිබඳ රතු එළියයි. එම රෝග ඇතිවීමට හේතුවන වැරැදි ආහාර රටාවන් හා කෑම බීම පිළිබද දත්ත සටහන් අනුව අප මුහුණ දී සිටින බරපතල තත්ත්වය ගැන මෙයින් අපි විවරණය කරමු.

පසුගිය දශකය පුරාම සෑම වයස් කාණ්ඩයකටම අයත්  ශ්‍රී ලාංකිය පුරවැසියන් විශාල පිරිසක් වැරැදි ආහාර රටාවන්ට හුරුවී තිබීම බලපාන තත්ත්වයකි. නිදසුනක් ලෙස වයස් කාණ්ඩ 6 - 13 වයස් සීමාවන්ගේ ළමුන්ගෙන් 25%ක් දිනකට එක් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් කාබනිකෘත සිසිල්බීම පානය කර තිබේ. වයස අවුරුදු 18 - 69 අතර ජනගහනයෙන් 28.6%ක් සෑම විටම හෝ බොහෝ විට ලුණු අධික ලෙස සැකැසූ ආහර අනුභව කරයි. ඔවුන්ගෙන් 21.8%ක් බොහෝ විට හෝ සෑම විටම ඔවුන්ගේ ආහාරයට ලුණු හෝ ලුණු අධික සෝස් වර්ග එකතු කර ගනී.

එසේම තවත් බරපතල තත්ත්වයක් ලෙස වාර්තා වන්නේ දරුවන්ගේ අධිබර හා තරබාරු බවයි. 2017 වසරේ කළ වෛද්‍ය සමීක්ෂණයකට අනුව අවුරුදු 10 - 18 අතර දරුවන්ගේ අධිකබර 7.5% හා තරබව 2.2% වේ. ඔවුන්ගේ ආහාර පරිභෝජනය විමසීමේදී ළමුන්ගෙන් 19.6% ක් දිනකට එක් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් බිස්කට් ආහාරයට ගනී. 36% පමණ සතියකට 2 - 3 වරක් හෝ වැඩියෙන් කේක්, චොකලට් හෝ ටොෆි, අයිස්ක්‍රීම් ද 33.8% ආහාරයට ගනී.

පවතින වංසගතය හමුවේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් ආහාර වේලක් සමබල ලෙස ලබාගත යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබේ. දිනෙන් දින ඉහළ යන ආහර මිල ගණන් හමුවේ එළවළු හා පලතුරු ආහාර වේලකට එක් කර ගැනීම ගැටලුවක් වී ඇති පසුබිමක වෛද්‍යවරුන් මෙලෙස නිර්දේශ කළත් ග්‍රාමීය ජනතාවට නිසි පෝෂණයෙන් යුතු පළාවර්ග හා කොස්, දෙල් හා දේශීය අල වර්ග ආහාරයට එක්කර ගැනීමේ වටිනාකම වඩාත් තදින්ම අවධාරණය කරයි. තමාට ඉඩ ඇති පුංචි සීමාව පවා පළා වර්ගයක් හෝ එළවළු පලතුරු ගසක් සාදාගැනීමේ ප්‍රවණතාවය හා උනන්දුව ජනතාව තුළ ඇතිවීමද කාලෝචිත ක්‍රියාවකි.

උපදෙස් -

පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

යසෝමා වීරසේකර

විශේෂ ස්තූතිය

දායකත්ව සැපයු FIAN Sri Lanka ආයතනයේ අධ්‍යක්ෂ

තිලක් කාරියවසම් මහතාට සහ අරුණී රණසිංහමෙනවියට