වකුගඩු රෝග A to Z කතාබහක්

මැයි 5, 2025

 බෝවන රෝගවලින් පීඩාවිඳින පිරිස් එන්න එන්නම වැඩිවද්දී, වකුගඩු රෝගය සම්බන්ධයෙන්ද පවතින්නේ එවැනිම තත්ත්වයකි. වකුගඩු රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මට්ටමේ සාකච්ඡාවන් පවතිද්දී ඒ පිළිබඳ දැනුම්වත් විය යුතු කරුණු කාරණා වලින් ඔබ පෝෂණය වී සිටීම වැදගත් වනු ඇත.

 

වකුගඩුවක වටිනාකම

 

අප ශරීරයේ අවයවවල ඇති වැදගත්කම් අනුව පෙළ ගැස්වුවහොත් එහි ඉහළින්ම ඇති අවයවයක් ලෙස වකුගඩු හැඳින්විය හැකියි. අප ශරීරයේ ඇති බහිශ්‍රාවීය ද්‍රව්‍ය මූත්‍රා හරහා ශරීරයෙන් ඉවත් කිරීම මෙහි ප්‍රධාන කාර්යයයි. මීට අමතරව ශරීරයේ ජලය සමතුලිතව තබා ගැනීමට, රුධිරයේ පොටෑසියම් වැනි විවිධ රසායනික සංඝටක අවශ්‍ය ප්‍රමාණයට තබා ගැනීම, ශරීරයේ ආම්ලික භාෂ්මිකතාව තුලිතව පවත්වා ගැනීම, විශේෂ හෝමෝන වර්ග නිපදවීම උදාහරණයක් ලෙස හිමොග්ලොබින් ප්‍රමාණය නිසියාකාරයෙන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රධාන හෝමෝනය නිපදවීම වැනි ප්‍රමුඛ කාර්යයන් රැසක් මේ ඔස්සේ සිදු කෙරේ.

මොනවද මේ වකුගඩු රෝග

වකුගඩු රෝග රාශියක් හඳුනාගත හැකි වේ. ඒ රෝග ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ග කර දක්වයි. පළවෙනි කාණ්ඩය තීව්‍ර වකුගඩු රෝග (Acute kidney injury)යි. දෙවැනි කාණ්ඩය වන්නේ නිදන්ගත වකුගඩු රෝග (Chronic kidney disease) යනුවෙනි. අද අපේ අවධානය යොමු වන්නේ නිදන්ගත වකුගඩු රෝග සම්බන්ධයෙනි.

මේ රෝග තත්ත්වය ඇතිවීමට තිබෙන ප්‍රධානම හේතුව දියවැඩියාවයි. මීට අමතරව අධි රුධිර පීඩනය, වෘච්චිකා ප්‍රදාහය, මූත්‍රා පද්ධතියේ ගල් ඇතිවීම, ජානමය වකුගඩු රෝග ආදී තත්ත්වයන් හේතුවෙනුත් මේ රෝගය ඇති ඇතිවීමේ හැකියාව පවතී. එසේම ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සමහර කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිතව හේතුව හඳුනා නොගත් CKDU නමින් වකුගඩු රෝග තත්ත්වයක්ද තිබේ.

නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධයෙන් වැඩි අවධානයක්

මෙම රෝග තත්ත්වය සෙමින් කාලයක් පුරා වකුගඩුවලට හානි පැමිණවීම මෙහි ඇති විශේෂත්වයයි. එහි ඇති භයානකම තත්ත්වය වන්නේ විනාශයට පත්වුණු කොටස් නැවත සක්‍රීය කිරීමට නොහැකි වීමයි. සාමාන්‍යයෙන් මෙම රෝග තත්ත්වය අදියර පහක් දක්වා වර්ග කර තිබේ. 5 වන අදියර වන්නේ වකුගඩුව අකර්මණ්‍ය වීමේ අවස්ථාවයි. මෙහිදී 1 වන අදියරේ සිට 4 වන අදියර දක්වා කාලය තුළ රෝගය හඳුනා ගැනීමට හැකි වුවහොත් එම වකුගඩු රෝගය තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීමේ හැකියාව ඇත.

වකුගඩු රෝගය වැලඳීමේ වැඩි හැකියාවක් ඇති කාණ්ඩයන්

විශේෂයෙන්ම දියවැඩියාව ඇති රෝගීන්

අධි රුධිර පීඩනය

ස්ථූලතාව

පවුලේ සාමාජිකයන් හට වකුගඩු රෝග වැලඳී තිබේ නම්

වකුගඩුවල ගල් ඇති අය

වකුගඩු රෝග බහුලව දක්නට ලැබෙන ප්‍රදේශවල ජීවත්වන ජනතාව (උදාහරණයක් ලෙස කෘෂිකාර්මික ප්‍රදේශවල)

නිදන්ගත වකුගඩු රෝගයේ ඇති විශේෂත්වය වන්නේ රෝගය උත්සන්න වන තෙක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීමයි. එමනිසා වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇති පිරිස් වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පරීක්‍ෂා කර ගැනීම වැදගත් වේ.

රෝගය උත්සන්න වූ අවස්ථාවේදී

කකුල් ඉදිමීම

ශරීරය ඉදිමීම

මූත්‍රා කිරීමේදී පෙණ ඇතිවීම

හුස්ම ගැනීමේ අපහසුතා

ඔක්කාරය

වමනය

වැනි රෝග ලක්ෂණ දැක ගත හැකියි.

 

මේ සඳහා ඇති පරීක්ෂණ

රෝගය මුල් අවදියේම හඳුනා ගැනීම සඳහා Urine albumin - creatinine ratio යන මූත්‍රා පරීක්ෂණය සහ Serum creatinine යන රුධිර පරීක්ෂණය කර ගැනීම වැදගත් වේ. මීට අමතරව කළ යුතු පරීක්ෂණ වෛද්‍ය නිර්දේශය මත සිදුකර ගත හැකි හැකියාව පවතී.

 

ප්‍රතිකාර ක්‍රම

 

වකුගඩු රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර ඇත. එහිදී සිදු කරන ප්‍රතිකාර මඟින් රෝගය හඳුනාගත් අවස්ථාවේ සිට රෝගය උත්සන්න වීම සහ ව්‍යාප්තිය වැළැක්වීම සිදු කරනු ලබයි. දියවැඩියාව සහ අධි රුධිර පීඩනයට නිසි ප්‍රතිකාර ගැනීම වකුගඩු රෝගය වැළැක්වීමට ගන්නා ප්‍රධාන ක්‍රියාමාර්ගයකි. මීට අමතරව තවත් විශේෂ ප්‍රතිකාර රැසක් පවතී. මේවා වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම වැදගත් වේ.

එසේම වකුගඩු අකර්මණ්‍ය වූ විට නැත්නම් පස්වන අවස්ථාවට පත් වූ විට විශේෂ ප්‍රතිකාරවලට යොමුවීම වැදගත් වෙයි. ඒ යටතේ සිදු කෙරෙන පළමුවැනි ක්‍රමය වන්නේ රෝගියාගේ සිරුරේ රුධිරය යන්ත්‍රයක් මාර්ගයෙන් පිරිසුදු කර නැවත සිරුරට ඇතුළු කිරීමේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාරයයි.

දෙවෙනි ප්‍රතිකාර ක්‍රමය වන්නේ රෝගියාගේ උදර කුහරයට තරලයක් ඇතුළු කර රුධිරයේ අඩංගු බහිශ්‍රාවීය ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමය වන පරිතාන කාන්දුකරණ ප්‍රතිකාරයයි.

තෙවැනි ක්‍රමය වන්නේ වකුගඩු බද්ධ කිරීමේ ක්‍රමයයි. වකුගඩු අකර්මණ්‍යය වූ විට සිදු කරන ප්‍රතිකාර ක්‍රමවලින් සාර්ථකම ක්‍රමවේදය ලෙස මෙය හැඳින්විය හැකියි. මේ යටතේ නීරෝගි පුද්ගලයකු ප්‍රදානය කළ වකුගඩුවක් හෝ මොළය මියගිය අයකුගේ ජීව වකුගඩුවක් බද්ධ කිරීම සිදු කෙරේ. බොහෝවිට ශරීරයට හුරු නැති මේ අලුත් කොටස රෝගියාගේ ශරීරය ප්‍රතික්ෂේප කිරීමට නිතරම උත්සාහ කරයි. මෙයට ප්‍රතිකර්මයක් ලෙස වෛද්‍ය උපදෙස් මත සිරුරේ ප්‍රතිශක්තිය අඩු කිරීම සඳහා විශේෂිත ප්‍රතිකාර සිදු කරයි. නමුත් ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩු කිරීමෙන් සමහර අවස්ථාවල රෝගියා විවිධ ආසාදන තත්ත්වයන්ට ලක්වීමේ වැඩි හැකියාවක් තිබෙන බැවින් රෝගීන් එයින් ආරක්ෂාවීම සඳහා විශේෂ ක්‍රමවේද භාවිත කෙරේ.

ඖෂධවලින් වකුගඩු රෝග සඳහා වන බලපෑම

බොහෝදෙනෙක් සිතන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවලට ඖෂධ ගැනීමෙන් වකුගඩු රෝග තත්ත්වය ඇතිවන බවයි. මෙය සමාජය තුළ පැතිර තිබෙන වැරදි මතයකි. මේ රෝග වලට නිවැරදිව ප්‍රතිකාර ගැනීමෙන් වකුගඩු රෝග තත්ත්වයන් ඇතිවීම සේම ඇතිවී තිබෙන වකුගඩු රෝග ව්‍යාප්තවීම වැළකේ. වකුගඩුවලට අහිතකර ඖෂධ අතර විශේෂයෙන් සඳහන් කළ හැකි වන්නේ NSAIDs කාණ්ඩයට ( Nonsteroidal anti - inflammatory drugs) අයත් වේදනා නාශකයි. මේවා දිගු කාලයක් වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිත කිරීමෙන් වකුගඩුවලට හානි පැමිණිය හැකියි.

වකුගඩු රෝගයෙන් පෙළෙන අයකුගේ ආහාර

සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන් ප්‍රෝටීන් අඩංගු ආහාර බහුල වශයෙන් ගැනීම යෝග්‍ය නොවේ. නමුත් වර්තමානයේ අප සාමාන්‍ය ආහාර වේලකට පවා ප්‍රමාණවත් ආකාරයෙන් ප්‍රෝටීන් ලබා නොගන්නා නිසා ප්‍රෝටීන් අඩු කිරීමට යෑමෙන් ගැටලු රැසක් ඇතිවීමට හැකියාව තිබේ. එසේම ලුණු ආහාරයට ගැනීම අඩු කළ යුතු වේ. මීට අමතරව එළවළු සහ පලතුරු වැඩි වශයෙන් භාවිත කිරීම මෙන්ම ශාක පදනම් කර ගත් (Plant based foods) ආහාරවලට වැඩි වශයෙන් අවධානය යොමු කිරීමෙන් වකුගඩු රෝග ඇතිවීම සේම උත්සන්න වීම වැළකේ. එසේම දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමටත් හේතුවක් වේ.

 

උපදෙස් :

වකුගඩු රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

දිනිත් ගලබඩ

 

 

[email protected]