2022 සුව අභියෝග ජය ගැනීම නිවෙසින් ම අරඹමු

ජනවාරි 10, 2022

 

කෝවිඩ් - 19 අපව ආක්‍රමණය කරන තුරු ම සෞඛ්‍ය අපේ පවුලේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණේ නැහැ. ඒත් වසංගතයක් නිසා වුණත් සුව සම්පතට දෛනික ජීවිතයේ තැනක් ලැබිලා. “රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් වැඩක් නැහැ. “, “ නීරෝගි සම්පත උතුම්ම සම්පතයි “ යන වග දැන සිටියත් දෑත් සේදීම පවා වසංගතය පැමිණෙන තුරු කලට වේලාවට නිසි පරිදි කෙරුණේ නැහැ. ඒත් දැන් අපට දිගින් දිගට ම පවුලේ ම සුවසෙත පවත්වා ගෙන යාම ට සිදු වෙලා.

මීට දශක තුන හතරක ට පෙර ලෝකයට ම තර්ජනයක් වෙලා තිබුණේ බෝ වන රෝගයි. මෑත දශකවල වෛද්‍යවරුන් බෝ නො වන රෝග ගැන පුන පුනා ජනතාව දැනුවත් කළා. ඒ බෝ වන රෝගවල කැපී පෙනෙන අඩුවක් සිදුවී තිබුණු නිසයි.

දැන් අප මේ දෙකටම මැදි වෙලා. එක් අතකින් අලුත් ප්‍රභේදවලින් දවසින් දවස භයානක වන නව කොරෝනා වෛරස ඇතුළු බෝවන රෝගත් අනෙක් අතින් හදවත් රෝග, දියවැඩියාව,පිළිකා, අංශ භාගය, ආඝාතය, වකුගඩු රෝග ආත්‍රයිටිස්, අක්මාවේ මේද, කල් පවතින ස්වසන රෝග, ස්ථුලතාව වැනි බෝ නො වන රෝග ත් අපට පන්න පන්නා බැට දෙනවා.

බෝ වන රෝග ඇති අය කෝව්ඩ්වලට ගොදුරු වුණා වැඩියි.

මිය ගියා ද වැඩියි. බෝ නො වන රෝගයකින් හෝ රෝග ගණනාවකින් පීඩා විඳීම බෝ වන රෝග පැතිරෙන කාලයක මොනතරම් භයානකදැයි යන

පාඩම අපි ඉගෙන ගත්තා.

ගෘහණියක්, මවක්, බිරියක්, සොයුරියක් ලෙසින් නව වසරේ බොහෝ ඉලක්ක ඇතත් ඒ ඉලක්ක අතර පවුලේ සුවය ප්‍රධාන ඉලක්කයක් විය යුතුයි. බෝ නොවන රෝග තත්ත්වය පාලනය කිරීම ප්‍රධාන ඉලක්කයක් කරගත යුතුයි.

ඔබේ පවුලේ බෝ නො වන රෝගයක ට ගොදුරු වූවන් කී දෙනෙක් සිටිනවාද ? ඔවුන් ඒ තත්ත්වයට පත් වුණේ කොහොමද? බෝ නොවන රෝගවලට ගොදුරු වීමට ආසන්න සීමාවේ. බෝඩර් ලයින් එකේ කී දෙනෙක් සිටිනවාද ? තවමත් නීරෝගි එහෙත් බෝ නොවන රෝගයකට ගොදුරු කරවන නරක සුව පුරුදු ඇති අයත් ඉන්නවාද ?

සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී ඇත්තේ අපේ රටේ වයස අවුරුදු 18 - 69 අතර වයසේ පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකුට අධි රුධිර පීඩනය ඇති බවයි.

ලංකාවේ සිදුවන මරණවලින් සියයට 83 කට ම හේතුව බෝ නොවන රෝගයි.

සෑම පුද්ගලයන් දහ දෙනකුගෙන් එක් අයකු දියවැඩියාවෙන් පෙළෙනවා. සැලකිය යුතු තරම් පිරිසක් පූර්ව දියවැඩියාවෙන් පීඩා විඳිනවා. ඒ කියන්නේ නිරාහාර රුධිර සීනි මට්ටම රුධිරය මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 100-126ත් අතර පවතිනවා.

සියයට 34 ක ප්‍රතිශතයක් අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය,වකුගඩු රෝග නිසා අකාලයේ මිය යනවා.

දරුවන් අතරේ බර වැඩි ( තරබාරු වීමේ ඉඩ වැඩි ), ප්‍රතිශතය සියයට 10 ක්.

මෙවැනි තත්ත්වයකට දැන හෝ නො දැන මුල පිරෙන්නේ නිවෙසින්.

ඒ කොහොමද ?

නව වසරට නැකතට වැඩ කළත් අපේ පාරම්පරික උරුමයන් බොහොමයක් මේ වන විට අමතක කරලා. ක්ෂණිකව ම හැමදේම ලබා ගන්න උත්සාහ ගන්නා කාලයක වේගවත් ජීවන රටාවක් ගත කරමින් ක්ෂණික ආහාර කෑමට බීමට ගෘහණියත් හුරු වෙලා.

ක්ෂණික ආහාර කියන්නේ ලුණු, තෙල්, සීනි අධික කෘත්‍රිම රසකාරක, වර්ණකාරක පිරි ගබඩාවන්.

එවැනි කැලරි ගබඩාවන් කෑමට ගත්ත ද සිරුර සෙලවෙන්න අඩියක් තබා ඇවිදින්නත් දක්වන්නේ අලස බවක්. පරිගණක, ස්මාට්ෆෝන් ජීවීන් බවට බාල මහලු භේදයක් නැතිව වැඩි පිරිසක් පත්වෙලා.

තරගකාරී අධි වේගවත් ජීවන රටාව නිසා හිත ලෙඩ වෙලා. ආතතියට පත් වෙලා.

මත් වතුර පානය සමාජ සම්මතයක් වෙලා. වායු දූෂණය මදිවට දුම් පානය නම් නරක පුරුද්ද නිසා විස දුම තවත් විස වෙලා.

මේ සියල්ල ම රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට, අහිතකර කොලෙස්ටරෝල් වැඩි කිරීමට, රුධිර පීඩනය ඉහළ නැංවීමට, තරබාරු වීමේ ඉඩ වැඩි වීමට හේතු වෙනවා. ඒ හේතුවෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ. අංශභාගය ලෙසින් වැඩි දෙනෙක් හඳුන්වන ආඝාතය, වකුගඩු රෝග, අක්මා රෝග, ස්වසන රෝග, පිළිකා ඇති වීමේ අවදාන ම ඉහළ නංවනවා.

මෙවැනි වාතාවරණයක ගෘහණියක ලෙස විශාල වගකීමක් පැවරී තිබෙනවා. නව වසරේ පවුලේ සාමාජිකයන් ගේ නීරෝගිභාවය ප්‍රධාන ඉලක්කය කරගන්න.

නිවෙසේ පිළියෙල කළ ආහාර වේල පාසලට, කාර්යාලයට රැගෙන යාමට දෙන්න. ඒ ආහාරයේ වසවිස නැහැ වගේම ආදරය ත් මුසුවී තිබෙනවා. අම්මා නිවෙසේ කෑම පිළියෙලකර දෙන විට එය දරුවන් ටත් ආදර්ශයක්. නිවෙසේ පිළියෙල කළ ආහාරවලින් පවුලේ සාමාජිකයන් අතර බැඳීම වැඩි කරනවා. ආහාර පාලනය කිරීම පහසු වෙනවා. ආහාර අසාත්මිකතාවක් විස වීමක් ඇති වීමට තිබෙන ඉඩ අඩු වෙනවා. සමබල ආහාර වේලක් රස විඳීමේ අවස්ථාවක් ලැබෙනවා.

 

 

 

උපදෙස්

බෝ නො වන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය,

ශාන්ති ගුණවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.