වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හැම උණට ම හේතුව කෝවිඩ් නො වෙයි
මේ දිනවල වැඩිපුර ම ඇහෙන්නේ උණ ගැන කතා. උණ කී සැණින් ඔමික්‍රෝන් මතකයට ආවත් උණ කියන්නේ රෝග ගණනාවක ලකුණක්. කෝවිඩ් වසංගතය ඇති කාලයක හැදෙන හැම උණක් ම ඔමික්‍රෝන් කියා සිතා නිරෝධායනය වීමේ වැදගත් කමක් තිබෙනවා.
එහෙත් සැබෑ හේතුව බැලීමට රුධිර පරීක්ෂාවක් කර ගැනීම ඒ හා සමානව වැදගත්. කෝවිඩ් කියා සිතා උණට හේතුව නො බලා අවසානයේදී ඩෙංගි රක්තපාතය ඇතිවී අවාසනාවන්ත ලෙස මිය ගිය දරුවන් ගැන සංවේදී කතා අසන්න ලැබෙනවා. අප දැන් ගත කරන්නේ උණ රෝග ලකුණක් වන රෝග කිහිපයක් ම පැතිරෙන කාලයක් බව අමතක කරන්න හොඳ නැහැ. ඩෙංගි, ඉන්ෆ්ලුවෙන්සා, ලෙප්ටොස්පයිරෝසිස් ඊට හොඳම උදාහරණ කිහිපයක්. උණ රෝග සියල්ලේ ම පොදු ලකුණක්. මේ රෝග ලකුණ මිනිසුන්ව මොනතරම් පඹ ගාලක පටලවා තිබෙනවාද ?
කෝවිඩ් - 19 වැලඳී සනීපවූ සමහර පුද්ගලයන් ඩෙංගි සෑදී රෝහල්ගත වෙනවා. ඩෙංගි සෑදී සුවවූ රෝගීන් කෝවිඩ් සෑදී රෝහල්ගත වෙනවා. ඇතැම් විට එක පවුලේ දෙදෙනෙක් සිටිනවා. එක් අයකුට කෝවිඩ්. අනෙකාට ඩෙංගි. බොහොම කලාතුරකින් ඩෙංගි, කෝවිඩ් එකවර සෑදෙන අවස්ථාත් තියෙනවා. මේ නිසා හැම උණක් ගැන ම සැලකිල්ලෙන් ඉන්න ඕන.
කෝවිඩ් - ඩෙංගි වෙන්කර හඳුනා ගන්නේ කෙසේද ?
දැන් පැතිරෙන ඔමික්‍රොන් ප්‍රභේදය උණට හේතුවන එක් ප්‍රධාන රෝගයක්. උණට අමතරව කැස්ස, උගුරේ රුදාව, සෙම, හුස්ම ගැනීමේ අපහසුව. මේ රෝගය කිසිදු රෝග ලකුණක් නැතිවත් හට ගන්නවා. ( ඒසිම්ටොමැටික් ) සමහර ඔමික්‍රෝන් රෝගීන්ට ඉහත රෝග ලකුණු නැතිව ස්වසන අපහසුතා පමණක් තිබෙනවා. ඩෙංගි රෝගීන් බොහෝවිට රෝහල්ගත වන්නේ තද උණ, මාංසපේශීන්වල වේදනාව, ඇස් යට වේදනාව, හිසරදය වැනි ලක්ෂණ ඇතිවයි. සාමාන්‍යයෙන් ඩෙංගි රෝගීන් ස්වසන රෝග ලකුණු පෙන්නුම් කරන්නේ නැහැ. ඉන්ෆ්ලුවෙන්සා කෝවිඩ් -19 වසංගතය පැතිරෙන්න කලින් ලොව පුරා කතා බහට ලක්වූ තවත් රෝගයක්. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන අපහසුතා ඉන්ෆ්ලුවෙන්සා නිසා හට ගන්නා ලක්ෂණයි.
ඇතැම් විට නියුමෝනියාව පවා ඇති වෙනවා. ඇන්ටිජන් පරීක්ෂණයකින් ඉන්ෆ්ලුවෙන්සා හඳුනා ගන්නවා. මුහුණු ආවරණ පැලඳීමත් සමඟ මේ රෝගයට ගොදුරු වීම අඩු වෙලා.
කෝවිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී පොසිටිව් වෙන්නේ වැඩිපුර රෝග ලකුණු පෙන්නුම් කරනවා නම් පමණයි. එතරම් රෝග ලකුණු නො පෙන්වන අය ගේ ඇන්ටිජන් වාර්තාව නෙගටිව් වීමට ඉඩ තිබෙනවා. ඒත් එයා ගේ පීසීආර් වාර්තාව පොසිටිව් වෙනවා. කෝවිඩ් හඳුනා ගැනීමට ඇති වඩාත් සාර්ථක ම පරීක්ෂාව පීසීආර් පරීක්ෂාවයි. ඇන්ටිජන් පරීක්ෂාව නෙගටිව් වෙලා රෝග ලකුණු උත්සන්න වෙද්දී නැවත ඇන්ටිජන් පරීක්ෂාව කළොත් පොසිටිව් වීමේ ඉඩක් පවතිනවා.
ඩෙංගි ඇන්ටිජන් පරීක්ෂාවත් ඩෙංගි වැලඳී තිබූ පමණින් ම පොසිටිව් නො වෙන්න පුළුවන්.
කෙනකුට උණ තියෙනවා නම් ඇඟපත වේදනාකාරී නම් කෝවිඩ් සඳහා පරීක්ෂාකර ගන්න. කෝවිඩ් පරීක්ෂණ වාර්තා දෙක ම නෙගටිව් නම් ඩෙංගි ඇන්ටිජන් වාර්තාවත් ලබා ගන්න. ඩෙංගි වාර්තාව නෙගටිව් වුණත් ඩෙංගි ලකුණු වැඩිපුර ඇත්නම් ඩෙංගි නැහැයි කියන්න බැහැ. එවිට දිනපතා රුධිර පරීක්ෂාවක් කර රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවාදැයි බලනවා. රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා නම් නැවත ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරනවා. රෝගියා ගේ මුත්‍රා ප්‍රමාණය මැනීම, බොන තරල ප්‍රමාණය මැනීම සිදු කරනවා.
ඔමික්‍රෝන් ආසාදනය වී ඇති විටත් යම් තරමකට රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා. දැනට බහුලව ම තියෙන්නේ ඔමික්‍රෝන් හා ඩෙංගියි. මුහුණු ආවරණ පලඳින නිසා ඉන්ෆ්ලුවෙන්සා රෝගියකු හමු වන්නේ කලාතුරකින්.
උණ කියන්නේ.....
උණු යනු තාවකාලිකව සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමක්. සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.4 යි. ( සෙල්සියස් අංශක 37 යි. ) වැඩිහිටියන්ට නම් උණ ෆැරන්හයිට් අංශක 103 ට ( සෙල්සියස් අංශක 39.4 ට ) වඩා ඉහළ යන තුරු ගණන් ගත යුතු තත්ත්වයක් නො වෙයි. ඒත් ළදරුවන්ට හා පොඩ්ඩන්ට යාන්තමට උණ වැඩිවුණත් අවධානය යොමු කරන්න ඕන. උණ පොඩ්ඩක් වැඩි වුණත් සමහරු උණ අඩු කිරීමට බෙහෙත් ගන්නවා.
ඒත් නුවණට හුරු ඉබේ ම උණ අඩු වන්නට අරින එකයි. සාමාන්‍යයෙන් දින කිහිපයකින් උණ අඩු වෙනවා. සිරුරේ උෂ්ණත්වය ඉහළ යන්නේ බරපතළ ආසාදනවලට එරෙහිව සිරුර සටන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින්. උණත් සමඟ දහදිය දැමීම, සීතල, හිසරදය, මාංසපේශි වේදනාව, කෑම අරුචිය, නො රිස්සුම් සහගත බව, විජලනය, දුර්වල බවක් දැනීම වැනි ලකුණු ඇති වෙනවා.
නව කොරෝනා වෛරසය ඇතුළු වෛරස් ආසාදන, බැක්ටීරියා ආසාදන, රුමැටොයිඩ් ආතරයිටිස් වැනි සමහර ප්‍රදාහ තත්ත්ව, පිළිකාමය ගැටිති, ප්‍රතිජීවක සහ සමහර ඖෂධ, ඩිප්තීරියා - පිටගැස්ම - ගලපටලය, නියුමෝනියා සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ගත් විට ද උණ හට ගන්න පුළුවන්.
උපදෙස් - කායික රෝග විශේෂඥ වෛද්‍ය
ප්‍රියංකර ජයවර්ධන