කෝවිඩ් තාම අපි අතරේ බව අමතක කරන්න එපා

ඉතා දරුණු නව ප්‍රභේදයක් ගැන අනතුරු ඇඟවීමක්
අප්‍රේල් 11, 2022

 

 

මේ වන විට රටේ ප්‍රධාන මාතෘකාව ඔමික්‍රෝන් නොවෙයි. ඔමික්‍රෝන් මරණ ගණනත් දැන් දිනකට දහයකටත් අඩු වෙලා. දිනකට අලුතින් වාර්තා වෙන රෝගීන් ගණන දෙසීයකට අඩුයි. නව ප්‍රභේදයක් ගැන ළඟදී වාර්තා වුණේත් නැහැ. මේ නිසා කෝවිඩ් කියා රෝගයක් තිබුණ බව කිසිවකුටත් අමතක වුණොත් පුදුමයක් නො වෙයි. එහෙත් බ්‍රිතාන්‍ය අගමැති උපදේශක විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඉතා දරුණු වේගයෙන් පැතිරෙන නව ප්‍රභේදයක් ගැන ළඟදීම කවුරුත් පුදුමයට පත් කරමින් ඇසෙන්නට ඉඩ ඇති බවයි.

 

එන්නත් බලය පවා බිඳිමින් මේ වයිරසය ව්‍යාප්ත විය හැකි බව ඔහු පෙන්වා දෙනවා. දැනට ද වයිරසය වේගයෙන් පැතිරෙන බවත් ඒ නිසා මුහුණු ආවරණ නීතිය ලිහිල් නො කරන ලෙස එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වන ක්‍රිස් විටී අගමැති දැනුවත් කර තිබෙනවා.

මුහුණු ආවරණ නීතිය ලිහිල් වුවත් නැතත් ඉදිරියේදීත් මුහුණු ආවරණ පැලඳීම ඉතා වැදගත්. ඒ ඇයි ? කෝවිඩ් කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව මෙන් සරලව සිතන්නට හැකි දෙයක් නො වෙයි. රෝගය වැලඳී සුව විමෙන් පසු ඇති විය හැකි සංකූලතා ගණන දෙසීයකට වැඩියි. සමහර රෝගීන්ට මාස ගණනාවක් මේ ලකුණු පවතිනවා. එසේ ඇති විය හැකි ප්‍රධාන ම රෝග ලකුණක් වන්නේ වෙහෙසයි. ඕනෑම වයිරස රෝගයකට පසුව වෙහෙසකර තත්ත්වයක් ඇති වෙයි. තරුණ, ක්‍රියාශීලී, නීරෝගි පුද්ගලයන්ට අඩි කිහිපයක් ඇවිදීමේදී වෙහෙසක් දැනෙන්න පුළුවන්. මාස හයක්, අටක් තරම් දිගු කාලයක් පැවතීමට හැකි නිසා එදිනෙදා වැඩ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට බාධාවක්. වෛද්‍යවරුන්ටත් එක්වර ම මෙය නැති කළ හැකි තත්ත්වයක් නො වෙයි. රෝගයේ වෙනත් සංකූලතාවලට කරන ප්‍රතිකාරවලදී මේ තත්ත්වය අඩු කළ හැකියි.

මෙසේ වෙහෙසකර තත්ත්වයක් ඇති වන පුද්ගලයන් උදේ වරුවේ හැකි තරම් දවසේ කාර්යයන් නිම කර සැඳෑ වරුවේ විවේකයෙන් සිටීම වැදගත්. මේ අයට භෞත චිකිත්සක ප්‍රතිකාරවලින් ද සහනයක් ලැබිය හැකියි. මෙවැනි තත්ත්වයන් සුවවෙන තත්ත්වයන් නිසා බිය විය යුතු නැහැ.

රුධිර කැටි ඇති වීමේ අවදානම තවත් සංකූලතාවක්. වැඩි දෙනෙක් මේ තත්ත්වයට බියක් දක්වන අතර පපුවේ වේදනාවක් ඇතිවූ සැණින් බියවී අනවශ්‍ය ලෙස පරීක්ෂණවලට යොමු වෙනවා. අලුතින් පපුවේ කැක්කුමක් ඇතිවූ විට කළ යුත්තේ රෝහලක පසු කෝවිඩ් සායනයකට යාම හෝ වෛද්‍යවරයකු මුණ ගැසීමයි. වෛද්‍යවරයා අත්‍යාවශ්‍ය නම් පමණක් පරීක්ෂණවලට යොමු කරනවා.

සුව නො වන කැස්ස රෝගයේ තවත් අතුරු ආබාධයක්. කෝවිඩ් වැලඳීමෙන් පසු පෙණහලුවල නහර කුඩා වීමෙන් හෝ පසුව ඇති වන නියුමෝනියා තත්ත්වයක් නිසා මෙසේ සිදු වීමට පුළුවන්. දිගු කාලීනව කැස්ස ඇති අය රෝහල් සායනයකට යාම හෝ වෛද්‍යවරයකු මුණ ගැසීම වැදගත්.

පසු කෝවිඩ් පෙණහලු ගැටලු ඇති වීමේ වැඩි ඉඩක් ඇත්තේ,

වයස අවුරුදු හැටට වැඩි අයට

කාන්තාවන්ට

දුම් පානය කළ රෝගීන්ට

ඔක්සිජන් ලබා දීමට තරම් කෝවිඩ් දරුණු ලෙසින් බලපෑ රෝගීන්ට

හුස්ම ගැනීමේ අපහසුතාව පෙණහලුවලට රෝගය බලපෑමෙන් ඇතිවිය හැකි තවත් සංකූලතාවක්. කෙටි දුරක් ගියත් මේ අයට හති වැටෙනවා. මෙයට හේතු නහර පටු වීම, රුධිර කැටි සිරවීමක් විය හැකියි. රුධිර කැටි ඇති වීමක් සිදු වන්නේ ඉතා කලාතුරකින්. මෙවැනි රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බලා වෛද්‍යවරු අදාළ පරීක්ෂණ සිදු කරනු ලබනවා. රුධිර කැටි ඇත්නම් අවශ්‍ය ප්‍රතිකාර වහාම ලබාදීමට පියවර ගන්නවා.

ස්නායු ගැටලුත්, මානසික තත්ත්ව ගැටලුත් මේ නිසා ඇති වන්න පුළුවන්. දරුණු හිසරදය එවන් එක් තත්ත්වයක්. මෙවිට ද මොළයේ රුධිර කැටියක් සිරවී ඇතියැයි සිතා ස්කෑන් පරීක්ෂණ කිරීමට රෝගියා පෙලඹෙනවා. එවැනි රුධිර කැටි ඇති වීම් සිදු වන්නේ ඉතා කලාතුරකින්. තවත් ප්‍රධාන රෝග ලකුණක් වන්නේ නින්ද නො යාමයි. මේ රෝග ලකුණ කෙටි කලකින් නැතිවී යනවා. අවශ්‍ය නම් පමණක් වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දෙනවා. වෙනදා නො තිබුණු අමතක වීමක් රෝගය වැලඳුණු පසු සමහරුන්ගෙන් දකින්න ලැබෙනවා. එවැනි අයට කාල සටහනක් භාවිත කිරීම, කරන වැඩ සීමා කිරීම මඟින් සහනයක් ලබන්න පුළුවන්. සමහරු රෝගය වැලඳීම නිසා අනවශ්‍ය ලෙස කලබලයට පත් වෙනවා. විෂාදය වැනි මානසික තත්ත්වයන්ට ගොදුරු වෙනවා. අවශ්‍ය නම් මේ අයට ප්‍රතිකාර කරනු ලබනවා. දිගින් දිගට ම මාස ගණනක් යන තුරු ගඳ, සුවඳ, රස නොදැනෙනවා නම් ඒ අයට උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවර අංශයේ උපදෙස් ඇතිව ප්‍රතිකාර ලබා දෙනවා.

සමහරුන් සන්ධි වේදනාවන් ඇති වෙනවා. ආතරයිටිස් වැනි එවැනි තත්ත්වයන් ට ප්‍රතිකාර මඟින් සහනයක් ලබා ගන්න පුළුවන්.

ආහාර අරුචිය වෛරස් රෝගයකින් පසු ඇති වන තවත් ප්‍රධාන සංකූලතාවක්.

මෙවැනි සංකූලතා රැසක් ඇති වන නිසා හොඳම දේ කෝවිඩ් - 19 නො වැලඳෙන ලෙස සුව නීති තරයේ පිලිපදිමින් ජීවත් වීමයි. සුව නීති අකුරට පිළිපැද්දේ නැත්නම් කුමන මොහොතක හෝ කෝවිඩ් වසංගතයේ ගොදුරක් වීමට පුළුවන්.

 

උපදෙස් -

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ උප සභාපති දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ

වෛද්‍ය නන්දන දික්මාඳුගොඩ