වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගාණ කීය වුණත් සබන් නොගා නම් ඉන්න එපා
සෑම කළු වලාවක ම රිදී රේඛාවක් තිබෙනවාක් මෙන් වසංගතයකදී වුවත් යහපත් දෙයක් සිදු වීය හැකිය. කෝවිඩ් - 19 සමඟ සිදුවූ වැදගත් ම හා යහපත් දෙයක් වන්නේ සබන් ගා දෑත් සේදීමේ පුරුද්ද උදෑසන තේ කෝප්පය පානය කිරීම හා සමානව අපේ දෛනික ජීවිතයට එක් වීමයි. අප සබන් ගා දෑත් සේදිය යුත්තේ කෝවිඩ් - 19 ආරක්ෂා වීමට පමණක් නො වෙයි. බෝ වන රෝග සියයට අසූවකින් වළක්වා ගැනීමට මේ යහපත් සුව පුරුද්ද හේතු වෙන බව සොයා ගෙන ඇත.
ඔබ දන්නවාද ? එක් වරක් ස්මාට්ෆෝනයට අත තැබීමේදී බැක්ටීරියා 30,000 ක් පමණ ස්මාට්ෆෝනයට එකතු වෙයි. බ්‍රේස්ලට්, ඔරලෝසු, මුදු, මාල යට මිලියන ගණන් බැක්ටීරියා රැඳී තිබේ. අතැඟිලිවල වගේම අප අවට පරිසරය ද බැක්ටීරියා රාජධානි ය. ආහාරවලින් හට ගන්නා රෝග බොහොමයකට හේතු වන්නේ මෙවැනි විසබීජ ය. වියළි දෑතකින් විසබීජ පැතිරෙනවාට වඩා තෙත දෑතකින් දහස් ගුණයකින් විසබීජ පැතිරෙයි.
මිලිමීටර් 1 ක රෝම කූපයක විසබීජ 50,000ක් රඳවා ගැනීමේ හැකියාවක් තිබෙන බව සොයා ගෙන තිබෙයි. වැලමිටත් දරැඟිල්ලේ තුඩ දක්වා ඇති විසබීජ ගණන මිලියන 2 - 10 කි. කෙනකු ගේ අත්ලේ බැක්ටීරියා දස දහසේ සිට මිලියන දහය දක්වා විසබීජ පැවතීමට පුළුවන. විසබීජවලට පැය තුනක් ම දෑතේ ජීවත් වීමට හැකියාව ඇත. මේ අනුව සබන් ගා දෑත් සේදීම මොන තරම් අවශ්‍ය දෙයක්ද ?
නිසි ලෙස සබන් ගා දෑත් නො සේදීම නිසා සෑම අවුරුද්දක ම පුද්ගලයෝ මිලියන ගණනක් බැක්ටීරියා ආසාදනවලට ගොදුරු වෙති. සම, රුධිරය, උදරය, මොළය, අන්ත්‍ර, වකුගඩු, පෙණහලු, අක්මාව බැක්ටීරියා ආසාදනවලට ගොදුරුවූ විට ජීවිතයට මාරාන්තික තර්ජන එල්ල විය හැකිය.
සැල්මොනෙල්සිස් වැනි බැක්ටීරියා ආසාදනයෙන් උදර ආන්ත්රික ආසාදන, ඉන්ෆ්ලුවෙන්සා - කොරෝනා වැනි වයිරස ආසාදනයෙන් ස්වසන ආසාදන ඇති වීම මීට උදාහරණය. මෙවැනි ආසාදන අපේ ප්‍රතිශක්තිය දුබල කරයි. කෝවිඩ් - 19 වැනි වසංගත ඇති වීමේ ඉඩ වැඩි කරයි. මේ නිසා බැක්ටීරියා ආසාදන වළක්වා ගැනීම ඉතා වැදගත්ය.
ගෘහණියක වශයෙන් අමතක නො කළ යුතු දෙයක් වන්නේ ආහාර පිළියෙල කිරීමට පෙර හා පිළියෙල කළ පසු සබන් ගා දෑත් සේදීමයි. කෑමට පෙර දෑත් සේදීම පවුලේ පුරුද්දක් කරගත යුතුය. තුවාලයකට බේත් දැමීමට පෙර හා පසු සබන් ගා දෑත් සේදිය යුතුය. වැසිකිළිය භාවිත කළ පසු, සතකු ඇල්ලූ පසු , රෝගියකු රැක බලා ගත් පසු අනිවාර්යයෙන් ම කළයුතු දෙයක් වන්නේ දෑත් සේදීම ය.
ගෙවතු වගාවෙන් පසු සබන් ගා දෑත් සේදීම වැදගත් වන්නේ පසෙහි විසබීජ මිලියන ගණනක් අඩංගු බැවිනි. රැකියාවට ගොස් පැමිණි පසු පළමුව කරන දේ බවට දෑත් සේදීම පත් වූයේ කෝවිඩ් වසංගතයෙන් පසුවය. එහෙත් එය ඊට පෙර හා දිගට ම පවත්වා ගතයුතු පුරුද්දකි.
අපිරිසුදු දෑත්වලින් වැඩිපුර විසබීජ ශරීරගත වන්නේ ඇස්, නාසය, කට ඇල්ලීමේදීය.
සැමවිට ම දෑත් සේදූ පසු තුවායකින් හෝ ටිෂු කඩදාසියකින් හෝ පිසදා වියළා ගැනීමටත් අමතක නො කළ යුතුයි.
කෝවිඩ් - 19 සමඟ සැනිටයිසර් නැතිව ම බැරි වුණත් දෑත් සේදීමට වඩාත් සුදුසු සබන් හා ජලය ය. එමඟින් උදර ආන්ත්රික රෝග වළක්වා ගැනීමට පුළුවන. මධ්‍යසාර අඩංගු හෑන්ඩ්සැනිටයිසර් කොරෝනා වයිරසය වැනි වයිරස් රෝග මැඬලීමට වඩාත් සුදුසුයි. මධ්‍යසාර අඩංගු සැනිටයිසර්වල සියයට හැටක් මධ්‍යසාර අඩංගුවී තිබිය යුතුය.
උපදෙස්-
ප්‍රජා වෛද්‍ය විශේෂඥ
දිමුතු ධර්මවර්ධන