වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සුවසෙත නංවන්න උදරයේ සුවය ගැන සිතන්න ම ඕන
සැමියා ගේ ආදරය දිනා ගන්න නම් හොඳම මන්ත්‍රය රසවත් ගුණවත් ආහාර වේලකින් සැමියාට සංග්‍රහ කිරීමයි. මිත්තණියන් පරම්පරා ගණනක් පුරා දෙන මේ අවවාදය අදටත් ඉතා වටිනවා. ආදරයට වගේ ම සුවසෙතටත් යහපත් උදර පෝෂණය උපකාරී වෙනවා. ලෙඩ රෝග ගැන කතා කිරීමේදී අපට උදරය ගැන සිහි වන්නේ උදරාබාධයක් ඇති වුණොත් පමණයි. එහෙත් බොහෝ ලෙඩ රෝගවලට ආමාශයේත් අන්ත්‍රවලත් සෞඛ්‍ය බලපානවා. මේ නිසා අපට උදරයේ සුවසෙත ගැන විමසිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.
ඩයරියා, මලබද්ධය, ආමාශයික යුෂ උගුරට ඒම මේ සියල්ල උදරයේ යම් ගැටලුවක් ඇති බවට කෙරෙන ඉඟිබිඟි ය. මාසයකට වරක් දෙවරක් මෙවැනි ලකුණු ඇති වීම සාමාන්‍ය වුවත් එවැනි ලකුණු නිතර ඇති වන්නේ නම් එය උදරයේ සුවසෙතට දැල්වෙන රතු එළියකි.
ඔබ නො දන්නවාට ඔබ ගන්නා සමහර ඖෂධ ද උදරයේ සුවසෙතට බලපානවා. ප්‍රතිජීවක ගත් විට එය උදරයට අහිතකර ලෙස බලපාන බව සොයා ගෙන තිබෙනවා. ඒ බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. එහෙත් ප්‍රතිජීවක නො වන ඔසු විශාල ගණනක් උදරයේ බැක්ටීරියාවන්ට හානිකර ලෙසින් ක්‍රියාකරනවා.
පරම්පරාගත යම් සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම් එය ද අපේ උදරයටත් අන්ත්රවලටත් බලපානවා.
සතියකට කෙතරම් ශාකමය ආහාර ගන්නවාද නැද්ද යන්නත් අපේ උදරාන්ත්රික සෞඛ්‍යයට හෙතුවන බව අමතක නො කළ යුතුයි. එළවළු, පලතුරු, පොත්ත සහිත ධාන්‍ය, ඇට වර්ග, කුළුබඩු මේ ශාකමය ආහාරවලට අයිතියි.
උදරාන්ත්රික සුවතාව අපේ සෞඛ්‍යයට මෙතරම් බලපාන්නේ කොහොමද ? උදරයේ බැක්ටීරියා කෙළින් ම අපේ මානසිකත්වයට බලපානවා.
දෙවැනි මොළය ලෙස උදරයට ආරූඪ නාමයක් ද තිබෙන්නේ ඒ නිසයි. උදරාබාධ ඇති අය ගේ සිත දෙස බලන්න. බොහෝවිට ඔවුන් කාංසාවෙන් පීඩා විඳින අය. උදරයේ රෝග සිතටත් සිතේ රෝග උදරයටත් බලපානවා. ආමාශ දාහය, බඩ කොරවීම, මල බුරුලට යාම වැනි ලක්ෂණ ඇතිවන්නේ ආතතියෙන් සිටින විටක දී විය හැකියි.
වෛද්‍යවරුන් පවසන්නේ උදරය සහ මොළය නිහඬ කතා බහක යෙදෙන බවයි. උදරය කතා කරද්දී මොළය සවන් දෙනවා. මොළය කතා කරද්දී උදරය සවන් දෙනවා. මොළය හා උදරය අතර ඇත්තේ කෙතරම් සමීප සබඳතාවක් ද යන්නට හොඳම උදාහරණයක් අප ආහාර ගත යුතු බව සිතන විටම ආමාශයෙන් ආමාශයික යුෂ ස්රාවය වීම.
අපේ අන්ත්‍රවල ක්ෂුද්‍ර ජීවීන් (මයික්රොබයෝම්) ට්‍රිලියන 39 ක් පමණ ජීවත් වෙනවා. ඉන් වැඩි සංඛ්‍යාවක් බැක්ටීරියාවන්. වෛරස, පරපෝෂිතයන් සහ දිලීර ද ඒ අතර වෙනවා. මේවා සියල්ලේ බර රාත්තල් තුනක් පමණ වෙනවා. එය මිනිස් මොළයක බරට ආසන්නයි. ක්ෂුද්‍ර ජීවීන් මිනිසාට අවශ්‍ය රසායන නිපදවනවා. සිරුරේ ඩොපර්මින්වලින් සියයට පනහක් ද සෙරොටනින්වලින් සියයට අනූවක් ද නිපදවන්නේ උදරයෙන්. එපමණක් නොව ස්නායු සම්ප්‍රේෂක 30 කට වඩා වැඩි ගණනක් මොළයෙන් නිපදවනවා. අපේ කොඳු නාරටියට වඩා ස්නායු අන්ත උදරයේ තිබෙනවා. ක්ෂුද්‍ර ජීවීන් මොළය හා උදරය අතර සබඳතාව පවත්වා ගෙන යනවා. ප්‍රතිශක්තිය සවිමත් කරනවා. ප්‍රදාහයන් ඇතිවීම වළක්වනවා.
සෞඛ්‍යසම්පන්න ආහාර ගන්නා විට වැඩිපුර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙනවා. තෙල්, සීනි, ලුණු අධික කෘත්‍රිම රසායන අඩංගු සකස් කළ ආහාර නො ගෙන මත් වතුර නො බී පළිබෝධ නාශක, කෘමි නාශක නැති තන්තු අධික එළවළු, පලතුරු, කොළ වර්ග, මාළු වැඩිපුර කෑමට ගැනීමෙන් ජලය පානයෙන් ක්ෂුද්‍ර ජීවීන් වැඩිපුර වර්ධනය කර ගැනීමට පුළුවන්. ප්‍රෝබයොටික් ද උදර ක්ෂුද්‍ර ජීවී පැවැත්මට නැතිවම බැහැ. ආතතිය ක්ෂුද්‍ර ජීවී වර්ධනයට බාධාවක්. අසාත්මික ආහාර ද ගැනීම සුදුසු නැහැ.
කාංසාවෙන්, විෂාදයෙන් පීඩා විඳින පුද්ගලයන් ගේ ක්ෂුද්‍ර ජීවීන් ගේ ස්වභාවය එසේ නැති පුද්ගලයන්ට වඩා ඉතා වෙනස්. කෙනකුට උදර ආන්ත්රික ගැටලුවක් ඇත්නම් (අම්ල, ආහාර පාන උගුරට ඒම, ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වැනි) එයට හේතුව කාංසාව වීමට පුළුවන්. එනිසා උදර රෝග කුමන ප්රතිකාරයකින්වත් සුව නො වෙනවා නම් කාංසාව, ආතතිය ඊට බලපෑ කාරණය වීමට ඉඩ තිබෙනවා. කාංසාව ඇති විට උදරයේ ගැටලු ඇති වීම සුලබයි. අජීර්ණය ඇති විට නො රිස්සුම් සහගත බව, කාංසාව, විෂාදය ඇති වීම ද පුදුමයක් නො වෙයි. අජීර්ණය ඇති විට හටගන්නා හිසරදයත් මොළය හා උදරය අතර පවතින සබඳතාවට සාක්ෂියක්. අජීර්ණය සමඟ හිසරදයෙන් පීඩා විඳින්නන් අපට කෙතරම් නම් හමුවී තිබෙනවාද? කාංසාව, ආතතිය, බිය ඇති විට ආහාර ජීර්ණය සිදු වන්නේ සෙමින්. ඒ වාගේම පෝෂක හොඳින් උරා ගන්නේ නැහැ. පෝෂක නිසි ලෙස උරා නො ගත් විට පාචන තත්ත්වයක් ඇති වෙනවා. ක්ෂුද්‍ර ජීවීන්, මොළයෙන් එන ජීව රසායන සංඥා මොළයත් උදරයත් අතර කරන සන්නිවේදනය අපට නීරෝගිව ජීවත් වීමේ දී ඉතා වැදගත් වෙනවා.
සුව නින්දක්, දෛනික ව්‍යායාම, මානසික විවේකය හදවත් රෝගවලින් බේරීමට පමණක් නොව උදරය හා මොළය අතර සබඳතාව පවත්වා ගැනීමට ද අත්‍යවශ්‍යයි. උදරයත් මනසත් නීරෝගි නම් කෝවිඩ් වැනි වසංගතවලට පහසුවෙන් ගොදුරු වන්නේ නැහැ.
ආහාරත් උදරයත් අතර මෙන් ම මොළයත් උදරයත් අතර ඇත්තේ වෙන් කළ නො හැකි සබඳතාවක්.