සීසර් කරලා බබා ගත්තට පස්සෙ...

සෑම අම්මා කෙනෙකුම කියවිය යුතුම ලිපියක්
පෙබරවාරි 6, 2023

 

ලොව පුරාම බහුලවම සිදුවන සුන්දර සැත්කමක් වේ නම් ඒ සීසර් සැත්කමයි. සැත්කමින් පසු අපහසුතා දැනුණත් පුංචිම පුංචි කිරිකැටියා කෙරෙහි ඇතිවන ආදරය, සෙනෙහස හමුවේ සැත්කමින් සිදුවන අපහසුතා පලායයි. උදර ප්‍රදේශය සඳහා ලොව වැඩිපුරම සිදුවන සැත්කම මෙයයි. සැත්කමින් පසු යථා තත්ත්වයට පත්වීමට යම් කාලයක් ගතවේ.එක් මවකගෙන් තවත් මවකට සැත්කමකින් පසු යථා තත්ත්වයට පත්වන කාලය වෙනස්විය හැකියි.මෙය Short term recovery, Long term recovery වශයෙන් වර්ග 2 කි.

 

ඉණෙන් පහළ හිරි වැට්ටවීම

කොන්ද ප්‍රදේශයට දෙනු ලබන එන්නතක් හරහා ඉණෙන් පහළ ප්‍රදේශය හිරි වැට්ටවීම (ඉනඪදචත ඒදඥඵබඩඥඵඪච) සිදු කරයි. ඉන්පසු පැය 6ත් 8ත් අතර කාලයක් කකුල් පණ නැතිව පවතී. පැය 6කට පසු මවට ඇවිදීමට හැකියාව ලැබේ.

රුධිර ගැලීම් වැනි වෙනත් ආබාධ නොමැති නම් මවට බිමට බැස ඇවිදීමට උපදෙස් ලැබේ.

ඒවන තෙක් මුත්‍රා පිට කිරීම සිදුවන්නේ කැතීටරයක් හරහායි.පැය 6, 8, 12 අතර කාලයකට පසු මේ කැතීටරය ඉවත් කරයි. හිරි ගියත් මවට ඇතිවන වේදනාව අවම කිරීමට ගුද මාර්ගය හරහා සපෝසිටර් ඇතුළු කිරීම, එන්නත් ලබා දීම ආදිය සිදු කරයි.

මේවායින් මවුකිරි එරීමට බලපෑමක් නොමැත. පැය 24ක් ගතවීමෙන් පසු මවක් තම කිරි දී දරුවා සමඟ රෝහලේ දී තමාගේ හා දරුවාගේ වැඩ කටයුතු තනිවම සිදුකර ගනියි. රෝහලේදීත් නිවෙසට ගිය පසුත් එනම් දින 5ක් පමණ වනතුරු වේදනානාශක ඖෂධ ලබාදේ.

අලුත උපන් දරුවා හොඳින් කිරි බීම සිදුකරන්නේ නම්, මවට කිරිදීම පිළිබඳ හොඳ විශ්වාසයක් ඇත්නම් සීසර් කළ මවකට දින 3කින් පමණ නිවෙසට යා හැකියි. සීසර් සැත්කමකින් පසු සැත්කම නිසා වන තුවාලය ආසාදනය විය හැකියි.දියවැඩියාව ඇති මවක් නම්, කලින් මුත්‍රා ආසාදන තිබූ මවක් නම්, වෝටර් බෑග් එක කැඩුණු මවක් නම් ආසාදන ඇතිවී උණ හට ගන්නට ඇති අවදානම වැඩිවේ. සැත්කමින් පසුව මුල්ම පැය කිහිපයේ රුධිර වහනය වැඩි නම් ඉක්මනින් වෛද්‍යවරුන් මව නිරීක්ෂණය කරයි. මේවා කලාතුරකින් සිදුවන දෑ ය. නාඩි වැටීම සහ රුධිර පීඩනය ද නිරීක්ෂණය කරයි.

 

නිවෙසට ගිය පසු

තුවාලය ආසාදනය වේ ද, සැරව යනාදිය තුවාලයේ කොනකින් ඒමට පටන් ගන්නේ ද යන්න පිළිබඳ අවධානයෙන් සිටින්න. ආසාදනය වීම සිදුවන්නේ සැත්කම කළ කැපුමේ දෙකොණෙනි.එසේ වී නම් වෛද්‍යවරයකු මුණ ගැසෙන්න.

 

මැහුම් වර්ග

සියයට 90කටත් වඩා වැඩි අවස්ථාවල දී දමන්නේ දියවන මැහුම්ය. මේ නිසා මැහුම් කැපීමක් සිදු වන්නේ නැත. මේ මැහුම් දිය වීමට මාස තුනක් හයක් පමණ ගත වේ. ඉතා කුඩා නූල් කැබැල්ලක් කොනක ඇත්නම් එය අපහසුතාවයක් නොවේ නම් ඇද කැපීමට අවශ්‍ය නැහැ. ඉබේම දිය වේවි.

 

තුවාල ආසාදනය

සැත්කම කළ කැපුමේ තුවාලය ආසාදනය වීමට දින පහ, හයක් ගතවේ. ගර්භාෂය ඇතුළේ ආසාදනයක් නම් සැර ගන්ධයක් සමඟින් යෝනි මාර්ගයෙන් කුණු ලේ පාට රුධිරය ගැලීමට පටන් ගනියි.

මෙහිදී පිටතින් ඇති තුවාලයට අමතරව ගර්භාශයේ තුවාලයක් පවතී.

එය වැදෑමහ සවි වූ ස්ථානයේ ඇති තුවාලයයි.මෙලෙස යෝනි මාර්ගය හරහා බැක්ටීරියා ගොස් ගර්භාෂික ආසාදන ඇතිවිය හැකියි.

 

මුත්‍රා ආසාදන

මුත්‍රා ආසාදන දරුවකු ප්‍රසූත කළ මවකට ඇතිවිය හැකි තවත් ආසාදනයකි. කැතීටරය සවිකර තිබූ නිසා විෂබීජ යෑමට ඇති ඉඩකඩ වැඩියි. වතුර වැඩිපුර පානය සහ නිතර මුත්‍රා පිට කිරීම මෙහිදී අතිශය වැදගත් වේ. කිරි දෙන කාලයේදී දරුවාට වැඩි අවධානය යොමු වන නිසා මව තමා කෙරෙහි දක්වන සැලකිල්ල අඩු විය හැකියි. මුත්‍රා දරාගෙන සිටියි. එවිට මුත්‍රා ආසාදන ඇතිවේ. මුත්‍රා පිට කරද්දී දැඩි දැවිල්ලක් සහ පිට කරන වාර ගණන වැඩි වේ. එවිට මුත්‍රා පරීක්ෂා කළ යුතුයි. ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නට සිදු වේ.

කැපුම් තුවාලයට දැමීම සඳහා ක්‍රීම්, ඖෂධ ලබා දෙන්නේ ආසාදන ඇති වීමට වැඩි සම්භාවිතාවක් ඇති මව්වරුන්ටයි. දියවැඩියාව ඇත්නම් බෙටඩීන්, ෆියුසිඩීන් වැනි ක්‍රීම් වර්ග ලබාදේ. දිනකට දෙකකට පසු තුවාලයට සුළං වැදීමට හොඳින් ඇර තැබිය යුතුයි. එවිට තුවාලය ඉක්මනින් සුව වේ. උදරය පහළට කඩා වැටී ඇත්නම් තුවාලයට සුළං නොවැදෙයි. දහඩියේ එකතු වී ආසාදන වැඩි වීමට පුළුවනි. එවැනි මවක් තුවාලයට ගෝස් කැබැල්ලක් වැනි දේකින් වසා තැබීම සුදුසුයි.

තුවාලය තෙමුණා ට වරදක් නැහැ. නමුත් සබන් යොදා ඇතිල්ලීම නොකළ යුතුයි. ඇතිල්ලූ විට තුවාලය පෑරීමට පුළුවන. තුවාලය සේදු වූ පසු ගෝස් කැබැල්ලකින් තුවාලය තෙත මාත්තු කළ යුතුයි. තුවාලය මත වතුර එකතු වීමට දෙන්න එපා. නොසෝදා තැබීමත් සුදුසු නැහැ.

තුවාලය සුවවීමට සති හයක් මාස හයත් අතර කාලයක් ගතවේ. තට්ටු කිහිපයක් කපා ගර්භාෂය වෙතට ළඟා වන අතර නැවත මැහුම් දැමීමත් ස්ථර කිහිපයකම සිදු කරයි. මේ සියලු ස්ථරවලට දමන්නේ දියවන මැහුම් ය

දියවැඩියාව ඇති මව්වරුන්ට, උදරය විශාල මව්වරුන්ට ඇතැම්විට සම මතුපිටට දමන මැහුම් සඳහා නයිලෝන් නූල් එකතු කරයි.එය දින දහයක් ඇතුළත කැපිය යුතු වේ. මෙය පොදු තත්ත්වයක් නොවේ.සතියක් දෙකක් යන විට වේදනාව ක්‍රමක්‍රමයෙන් පහවෙයි.

 

ව්‍යායාම දැන්ම බැහැ

තුවාලය සුව වී නොමැති නිසා බර ඉසිලීම වැනි ව්‍යායාම නොකළ යුතුයි. අඩුම තරමේ මාස එකහමාරක් දෙකක් යනතුරු කිසිදු ව්‍යායාමයක් නොකළ යුතුයි.

 

බඩ වෙළීම

සීසර් කළ මවකගේ බඩබඩ වෙළීම තුවාලය සම්පූර්ණයෙන් සුව වනතුරු නොකළ යුතුයි.

 

උපත් පාලනය

මාස එකහමාරක් දෙකක් ගතවූ පසු සීසර් කළ මවක් නැවත ගැබ් ගැනීමට ඇති ඉඩකඩ වැඩියි.මේ නිසා සති 6කට පමණ පසු උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය කරුණකි. වැදෑමහ පෙරදී සීසර් සැත්කම කළ තැන හා වීමට පුළුවන.මෙය භයානක තත්ත්වයකි. ඊළඟ ගැබ් ගැනීමේදී කරන සැත්කමේදී ගර්භාෂය පිටින්ම ඉවත් කිරීමට සිදු වේවි. නැවත ගැබ් ගැනීමේදී කැපීම සිදු කරන්නේ පෙර කැපූ ස්ථානයමයි. සීසර් සැත්කම කළ තැන ඇති කැපුම සෙන්ට්මීටර් 8ක 10ක එකකි. එය ඉතාම පහළින් ඇති නිසා සාරි ඇඳීමට බාධාවක් නොවේ.

සීසර් කැලල ලස්සනට බාධාවක් ද?

කැළැල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ක්‍රීම් වර්ග තිබේ. තුවාලය සුව වූ පසු කැළල අඩු කිරීම සඳහා උදේ සවස මෙම කැළැල මත ක්‍රීම් ස්වල්පයක් ආලේප කළ කළ හැකියි.

 

උපදෙස්:

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

දිලුක් සේනාධීර