තෝරගන්න කන්නාඩිය ඇල්ලිය යුතු හරි නාඩිය

ඔබත් අහුවෙන අහුවෙන කන්නාඩිය දාන කෙනෙක්ද?
නොවැම්බර් 14, 2022

 

ලාභ බඩුවෙ හිලක් තියෙනවා කියන කතාව අපි මේ ජීවිතේ පුරාවට අසා තිබෙන වාර අනන්තය.එසේම ලාභ බඩු මිලට ගෙන අමාරුවේ වැටුණු වාර ද අපේ ජීවිතයේ ඕනෑතරම් ය. ඔබ නගරවල ඇවිද යනවිට මාර්ග අයිනේ තබාගෙන අලෙවිකරණ ඇස්කන්නාඩි ඕනෑතරම් දැක ඇත. ඇතැම්විට ඔබ ඒවා මිලට ගත් අයකු ද වන්නට පුළුවන.ඇස් පරීක්ෂාවකින් තොරව සිදුකරනු ලබන මේ මිලදී ගැනීම් නිසා ඔබේ ඇසෙහි පෙනීම ක්‍රමානුකූලව ඔබෙන් ඈත්විය හැකිය.

 

වයස අනුව ඇස් කන්නාඩිය තෝරා ගැනීම විවිධය. අවුරුදු 5ට වඩා අඩු දරුවන්ට බොහෝ විට ඇති වන්නේ අවිදුර දෘෂ්ටිකත්වයයි.මෙහිදී දුර පෙනීම අපැහැදිලි වේ. මෙනිසා ප්‍රකෘති පෙනුම ලබා ගැනීමට කුඩා දරුවන්ට නින්ද යන තෙක් දවස පුරාම උපැස් පැළඳ සිටීමට සිදුවේ. එවැනි දරුවන්ට බරෙන් අඩු සැහැල්ලු රාමුවක් මෙන්ම සැහැල්ලු කාච භාවිත කිරීම ඉතාමත් වැදගත්ය. මෙහිදී ප්ලාස්ටික්වලින් නිම වූ කන්නාඩි වර්ග බොහොමයක් භාවිත කිරීමට හැකිය.

ඊළඟ වයස් සීමාව ලෙස සැලකිය හැක්කේ පාසල් යන වයසේ දරුවන්. මෙහිදී අවිදුර දෘෂ්ටිකත්වය මෙන්ම ඇසේ කළු ඉංගිරියාවේ තිරස් හා සිරස් වක්‍රවල ඇතිවන අක්‍රමවත් ස්වභාවය නිසා දුර පෙනීම බොඳ වී යයි. මෙවැනි අය සඳහා දවස පුරා කන්නාඩිය පැළඳීම අනිවාර්ය වේ. ඔවුන්ට ද නිර්දේශ කරනු ලබන්නේ සැහැල්ලු කන්නාඩි වර්ගයි. මේ සඳහා ප්ලාස්ටික් රාමු මෙන්ම CR 39 ලෙස හඳුන්වන ප්ලාස්ටික් කාච භාවිත කරනු ලබයි.

 

අවුරුදු හතළිහකින් පසුව ඇති වන්නේ වෙනස් තත්ත්වයකි. වයස්ගතවීමත් සමඟ එසේ පිහිටා ඇති කාච වක්‍රතාව පාලනය කරන ප්‍රතියෝජක පේශිවල ක්‍රියාකාරිත්වය වෙනස් වේ. මේ නිසා ළඟ දෙයක් දෙස බැලීමේදී කාචයට එය නිසියාකාරව නාභිගත කිරීමට අපහසුය. එහිදී ළඟ පෙනීමේ අපහසුතාවක් ඇති වේ. මෙය හදුන්වන්නේ හතළිස් ඇඳිරිය ලෙසටය. මෙවැනි අයට ළඟ දේවල් නිරීක්ෂණයට කියවීමේ කණ්නාඩි reading glasses භාවිත කිරීමට සිදුවේ. දුර හා ළඟ පෙනීමට යොදා ගන්නා අවස්ථා අනුව කන්නාඩි ප්‍රධාන ආකාර තුනක් හඳුනා ගැනීමට හැකිය.

1. මොනොෆෝකල් (Monofocal)

2. බයිෆොකල් (Bifocal)

3. මල්ටිෆොකල්(Maltifocal)

බොහෝ විට වයස අවුරුදු 20ට අඩු පාසල් ළමුන් හා අවුරුදු පහට අඩු දරුවන්ට භාවිත කරන්නේ monoforcal කන්නාඩි යයි. මීට අමතරව එකම කන්නාඩියක් දුර හා ළඟ බැලීම සඳහා බොහෝ දුරට භාවිත කරන්නේ by focal කන්නාඩි යයි.

 

මිල ගණන් ගැන සැලකිලිමත් වීම:-

 

උපැස් යුවළ මිල අධික වන්නේ රාමුව (frame) අනුවය. එහෙත් දැන් ඉතා මිල අධික කාච වර්ග ද වෙ‍ෙළඳපොළේ දක්නට ලැබේ. කන්නාඩි රාමුවක් සාමාන්‍යයෙන් රුපියල් 2500 සිට ඉහළ මිල ගණන් යටතේ පවතී. එම මිල ගණන් අපේ පෙනුමට බලපෑමක් ඇතිකරන්නේ නැත. එහෙත් අප භාවිත කරන කාචයේ ඇති ගුණාත්මකභාවය අනුව ඇසේ ආරක්ෂාව තීරණය වේ. සැහැල්ලු කාච මෙන්ම පරිගණක වැනි තාක්ෂණික මෙවලම් සඳහා භාවිත කිරීමේදී යොදා ගන්නා කාච තරමක් මිලෙන් වැඩිය. එසේම ආලෝකයට සංවේදීතාවය අනුව කාචයේ පැහැය වෙනස් වන ‍ ප්‍රකාශ සංවේදී කන්නාඩිවල කාච තරමක් මිලෙන් අධිකය. එමෙන්ම දිනපතා කන්නාඩි භාවිත කරන අයට බරෙන් අඩු සැහැල්ලු කාච භාවිත කිරීමත් වඩාත් යෝග්‍ය වේ. ඒවා තරමක් මිලෙන් අධිකයි.

 

තාක්ෂණික මෙවලම් භාවිත කිරීමේදී ඇස් කන්නාඩි තෝරා ගන්නේ කෙසේද?

 

තාක්ෂණය දියුණු වීමත් සමග ජංගම දුරකතනය Tab යන්ත්‍රය, Ipad හා පරිගණක භාවිතය අද ක්‍රම ක්‍රමයෙන් වැඩි වී තිබේ. එසේ දුරස්ථ මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රම නිසා දුරස්ථ හමුවීම් (online /zoom )වැනි තාක්ෂණික කටයුතුවල ඇති නව නැඹුරුතාවය නිසාත් මේවායේ භාවිතය ඉහළය.

මෙවැනි තාක්ෂණික මෙවලම් භාවිතයේ දී ඇසට අහිතකර කිරණ පාලනය කිරීම සඳහා blue cut / multi coafed කාච භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.

 

විලාසිතා සඳහා උපැස් භාවිත කිරීම:-

 

කන්නාඩි රාමු වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ලෝහමය නිමාවක් සහිත රාමු හා ප්ලාස්ටික් නිමාවක් ඇති රාමු යි. මේවා අතරින් ලෝහ රාමු භාවිත කිරීමේදී ඒවා නිතර පැළඳ සිටීමේ දී සිරුරේ දහඩිය හා දූවිලි සමග රාමුවේ ඇති ලෝහ කොටස් ප්‍රතික්‍රියා කර රාමුවේ මල බැඳීම් හා ඔක්සයිඩ් ඇතිවීමට හැකිය. සම සමඟ ප්‍රතික්‍රියා කර සමෙහි සංකූලතා හා දිලීර ආසාදන ඇති වීමට පුළුවන.

 

මුහුෙණ් ස්වභාවය අනුව කන්නාඩි රාමු තෝරා ගන්නේ කෙසේද?

 

මුහුණේ හැඩය අනුව කන්නාඩියේ උස හා පළල තීරණය වෙයි. තරමක් මහත මුහුණක් සහිත පුද්ගලයෙකුට කුඩා රාමුවක් පැළඳීම එතරම් යෝග්‍ය නැත.එසේම කෙට්ටු මුහුණක් සහිත පුද්ගලයකුට ලොකු කන්නාඩි රාමුවක් නොගැළපෙන අතර මුහුණට සරිලන සේ කුඩා රාමුවක් පැළඳීම වඩාත් යෝග්‍යවේ. මීට අමතරව වයස්ගත වීමත් සමග දුර හා ළඟ දෙකම පෙනීම දුර්වල අයෙකුට කාචයේ ඒ සඳහා අවකාශය ලබා ගැනීම සඳහා තරමක් පළල කාචයක් මෙන්ම රාමුවක් භාවිත කිරීම සුදුසුය.

 

ඇස් කන්නාඩියක් භාවිත කිරීමේදී දැනගත යුතු විශේෂ කරුණු:-

 

නිතරම ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට ඇතැම් අවස්ථාවල දී ඒවා ගලවා ඉවත් කිරීමට සිදුවේ. මෙවැනි අවස්ථාවලදී වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ උපැස් යුවළ ගලවා සෑම විටම ඒ සඳහා සපයන පෙට්ටියේ ඇති කුඩා තුවායෙන් කාචය පිස දමා පෙට්ටිය තුළ ආරක්ෂිතව තැන්පත් කිරීම. එසේම කාලයක් පාවිච්චි කිරීමට නම් සතියකට එක් වරක් එහි කාච හා රාමුව

 

ෂැම්පුවලින් සෝදා එහි කාචය සීරෙන්න නොදී පිරිසුදු රෙදි කැබැල්ලකින් පිරිසුදු කරගැනීමත් වැදගත් වේ. ලෝහ මේ රාමුවක් සහිත කන්නාඩියක් නම් නිතරම පිරිසුදු රෙදි කැබැල්ලකින් එහි රාමුව මෙන්ම කාචය ද තෙත මාත්තු කිරීම මගින් මල බැඳීම පාලනය කළ හැකිය.

 

කොපමණ කාලයකින් ඇස් පරික්ෂා කර ගැනීම කළ යුතුද?

 

වයස පහට අඩු දරුවන් මෙන්ම පාසල් වයස අවුරුදු පහේ සිට 20 තෙක් වයස් කාණ්ඩයේ දරුවන් ඔවුන්ගේ වර්ධනයත් සමග ඇසේ කාච වර්ණය අගය සීඝ්‍රයෙන් වෙනස් වන නිසා මාස 6කට වරක්වත් ඇස් පරික්ෂා කොට කාච වෙනස් කරගත යුතුය.ඊට අමතරව වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් වසර දෙකකට වරක්වත් ඇස් පරික්ෂා කිරීම සිදු කළ යුතු වේ.

ඉහත කරුණු පිළිබඳ සලකා බැලීමේදී කන්නාඩියක් මිලට ගැනීමේදී කොතරම් දේ පිළිබඳ සැලකිලිමත් විය යුතු ද වග ඔබට දැන් වැටහෙනු ඇත. එබැවින් හිතුමතේට කන්නාඩි මිලට ගැනීමෙන් වලකින්න. නිවැරැදි ඇස් පරීක්ෂාවකින් පසුව පමණක් කන්නාඩිය මිලට ගන්න. මන්දයත් කන්නාඩි මිලට ගත හැකි නමුත් දෙඇස මිලට ගැනීමට නොහැකිබව තරයේම මතක තබාගන්න.

 

 

උපදෙස් -

ශ්‍රී ලංකා අක්ෂි රෝහලේ

පවුල් වෛද්‍ය විශේෂඥ වෛද්‍ය

රොෂාන්ත හේවාමද්දුම