වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සීනි ගැන බය හිතෙන තිත්ත ඇත්ත
තොග පිටින් සුදු සීනි මිලදී ගන්නා කර්මාන්තකරුවන් එම සීනිවලට විවිධ ඩයි වර්ග යොදා දුඹුරු සීනි බවට පත් කිරීම ගැන විශාල සමාජ කතිකාවක් ගොඩනැගිලා තිබෙනවා.
සීනි ගැන අප කවුරුත් දන්න ජන කතාවක් තියනවා. ඒ තමයි අන්දරේ රජ ගෙදර සීනි කෑ කතාව. රජ කාලේ මුහුදුබඩ ප්‍රදේශය ලංදේසීන් විසින් පාලනය කරන කාලේදී තමයි රජ ගෙදර අන්ඳරේ හිටියේ. දවසක් රජ මැදුරේ මිදුලේ ලොකු පදුරක සිනි ගෝනියක් වේලෙන්න දාලා තිබුණා. මේ සීනි මල්ල රජ්ජුරුවන්ට තෑගි කරලා තිබුණේ ලන්දේසීන් විසින්. මේ සීනි මල්ලට වතුර වැටිලා පෙඟිලා තිබුණු නිසා තමයි අව්වේ වේලෙන්න දාලා තිබුණේ.
අන්දරේ රජ වාසලට එන වෙලාවක මේ සීනි මල්ල දැක්කා. සීනි කියන්නේ ඒ කාලේ අපේ මිනිස්සුන්ට හරි පුදුම රසවත් කෑමක්. මේ රසවත් කෑමට පෙරේතකම නිසාම අන්දරේ සීනි මල්ලට බැල්ම දානවා රජතුමා දැක්කා. “හා.... හා.... අන්දරේ මේ ඔය රජ වාසලේ කැඩුණු බිඳුන තැන් හදන්න ගෙනාව පස් ටිකක් ඔය තියෙන්නේ. ඕක ටිකක් තෙතයි ඒකයි වේලෙන්න දැම්මේ.“ රජතුමා අන්දරේට කිව්වා. නමුත් අන්දරේ දන්නවා මේ තියෙන්නේ සීනිම තමයි කියලා. ඊට පස්සේ තමයි අන්දරේ ගෙදර ගිහින් සීනි කන්න සැලසුමක් හැදුවේ. අන්දරේ පුතාට කිව්වා මෙන්න මෙහෙම “රජ වාසලේ සීනි තිෙයනවා. අපට හොඳ වෙලාව සීනි ටිකක් කන්න. තව ටිකකින් මම රජවාසලට යනවා. උඹ වරෙන් අම්මා මැරුණා කියලා අඩාගෙන. ඊට පස්සේ අපි දෙන්නම හොඳටම අඬ අඬා දුක වාවගන්න බැරිව වගේ සීනි පැදුරම කමු.“ මෙන්න මෙහෙම තමයි අන්දරේ රජ ගෙදර සීනි කෑවේ.
හැබැයි මේ සීනි කාපු ගැමි කතන්දරේට එහා ගිය තවත් ගැඹුරු කතාවක් තියනවා. ඒ කතාව නම් අන්දරේගේ සීනි කාපු කතාව වගේ සරල නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට භයානක රතු එළියක් දල්වනවා. ලෝකයේ වස විස අධිකම ආහාර ගන්නා රටවල් අතුරින් අප මුල් තැනට පැමිණිම ගැනයි. ඇත්තටම මේ තත්ත්වය හරිම භයානකයි. අප කන බොහෝ කෑම බීමවලට සිනි අඩු වැඩි වශයෙන් යොදා ගන්නවා. ඒ නිසා සීනි අපේ දෛනික ජීවිතයට වඩාත් සමීපයි. අප සාමාන්‍යයෙන් පාරිභෝජනයට ගන්න සීනි වර්ග දෙකක් තියනවා. එක් වර්ගයක් සුදු සීනි. අනෙක් වර්ගය තමයි රතු සීනි. එහෙම නැත්නම් දුඹුරු සීනි කියන්නෙත් ඒ සීනි වර්ගයටමයි. මේ අතුරින් සුදු සීනි හැදෙන්නේ රතු සීනිවලට රසායනික ද්‍රව්‍ය යොදලා විරංජනය කිරීමෙන් බව අප සෑම දෙනාම දන්නා සිද්ධියක්. මේ නිසා දුඹුරු සීනිවලට වඩා සුදු සීනිවල රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා සුදු සීනි පාරිභෝජනය බොහෝදෙනෙක් අඩු කරලා තියෙන්නේ. විද්‍යාත්මකව තහවුරු කරලා නැති වුණත් දුඹුරු සීනිවලට වඩා සුදු සීනිවල පිළිකාකාරකයන් අඩංගු බව සමාජ මතයකුත් පවතිනවා. ඒ හේතුව නිසා දැන් ලංකාවේ වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ දුඹුරු සීනිවලට.
හැබැයි මේ රතු සීනි නම් සුදු සීනි වගේ කල් තියාගන්න අපහසුයි. එහි තෙතමනය වැඩියි. සමහර අවස්ථාවලදී අප මිලදී ගන්නා රතු සීනි පැසීම නිසා මධ්‍යසාර සුවඳක් එනවා. ඒ නිසා කර්මාන්තශාලා වැඩිපුර නිෂ්පාදනයක කරන්නේ සුදු සීනි. නමුත් අපේ රටේ පාරිභෝගිකයන්ගේ රතු සීනිවලට තියෙන ඉල්ලුමට සැපයුම ලබා දෙන්න අපහසුයි. මේ හේතුවෙන් වෙළෙඳපොෙළ් රතු සීනි මිල අධිකයි. ඒ වගේම සීමිතයි. සමහර අවස්ථාවලදි සතොස වෙළෙඳසැල්වලින් රතු සීනි කිලෝ එකක් ගන්න පෝලිමේ ඉන්නත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ සීනි කිලෝ එක ගන්නත් රුපියල් දෙදහසක වෙනත් බඩු මිලදී ගන්නත් වෙන අවස්ථා තිබෙනවා.
දැන් තියෙන ගැටලුව තමයි දුඹුරු සීනිවලට තියෙන ඉල්ලුම නිසා සුදු සීනි රතු කිරීම සඳහා කෑම වෙළෙන්දෝ විවිධ උපක්‍රම භාවිත කිරීම. තොග පිටින් සුදු සීනි මිලදී ගන්නා කර්මාන්තකරුවන් එම සීනිවලට විවිධ ඩයි වර්ග යොදා දුඹුරු සීනි බවට පත් කිරීම ගැන විශාල සමාජ කතිකාවක් ගොඩනැගිලා තිබෙනවා. මේ ආකාරයෙන් ඩයි යෙදූ රතු සීනි හඳුනා ගැනීම පාරිභෝගිකයන්ට තරමක් අපහසුයි. නියම රතු සීනි තෝරා ගැනීමේ ගැටලු රැසක්ම තිබෙන නිසා අප සීනි නිෂ්පාදනය කරන ආයතනයක නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් කරුණු විමසුවා. ඒ වගේම එහි ප්‍රමිතිය පිළිබඳ වගකීම දරන ආයතන කිහිපයක් නිලධාරීන්ගෙන් තොරතුරු විමසුමක් කළා. ඔහුගෙන් ලබා ගත් තොරතුරු අනුව වෙළෙඳපොළේ ඇති රතු සීනි අතුරින් ප්‍රමිතියෙන් යුතු නියම රතු සීනි මිලදී ගන්නා ආකාරය ගැන අවබෝධයක් අපට ලබා ගැනීමට හැකි වුණා.
සාමාන්‍යයෙන් අප පරිභෝජනයට ගන්නා දුඹුරු සීනිවල වර්ණය මනින ඒකකයක් තිබෙනවා. ඒ ඒකකය තමයි ICUSA මේ ICUSA 1500ක් පමණ අඩංගු දුඹුරු සීනි තමයි පරිභෝජනයට සුදුසු බව පිළිගත්. නමුත් මේ දුඹුරු වර්ණය සඳහා ආදේශක ලෙස සලකා වෙනත් වර්ණක යොදනවා ද කියලා පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂණ වාර්තාවක් තවම කිසිම කෙනෙක් ඉල්ලා නොතිබීම ගැටලුවක්. සාමාන්‍යයෙන් ආදේශක වර්ණකයක් සීනිවලට යෙදීම තහනම් ක්‍රියාවක්.
එහෙත් දුඹුරු සීනි නියම ප්‍රමිතියෙන් යුතු දැයි පරීක්ෂා කිරීම සඳහා බොහෝ ඉල්ලීම් පාරිභෝගිකයන් විසින් කරලා තියෙනවා.
අප පාරිභෝගිකයන් ලෙස සීනිවල වර්ණය හෝ එහි ප්‍රමිතිය පිළිබඳ ගැටලුවකදී ඒ පිළිබඳ දැනුම් දිය යුතු ආයතනය වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි. එලෙස ඔබ පාරිභෝගික අධිකාරියට දැනුම් දුන් පසු ඔවුන් අදාළ වෙළෙඳසැල් පරික්ෂා කර සාම්පල් ලබා ගැනීම සිදු කරයි. එසේ ලබා ගන්නා සාම්පල් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසු පස පරීක්ෂා කර බලා එහි අඩංගු රසායනික සංඝටක පිළිබඳ නියම වාර්තාවක් ලබාදීම සිදු කරනු ලබයි.
විදේශ රටවලින් ආනයනය කරනු ලබන දුඹුරු සීනි මුලින්ම පරික්ෂා කිරීම සිදු කරනු ලබන්නේ රජයේ ප්‍රමිති ආයතනයයි. ආනයනය කරනු ලබන භාණ්ඩ හෝ ආහාර ද්‍රව්‍ය ප්‍රමිති ආයතනයෙන් පරීක්ෂා කිරීමෙන් පසු රේගුවෙන් එය නිදහස් කළ පසු වෙනත් වර්ණකයක් සීනි වැනි දෙයකට කලවම් කිරීම තරමක අසීරු කටයුත්තකි. එලෙස වර්ණකයක් කලවම් කිරීම සඳහා වර්ණ යෙදීම සඳහා එය ජලයේ දිය කළ යුතුම වෙයි. මෙලෙසින් ජලයේ දිය කළ වර්ණක යෙදූ සීනි වර්ග වෙළෙඳපොළේ අලෙවි වන අවස්ථා දක්නට ඇත්තේ බොහෝ කලාතුරකිනි.
නමුත් පාරිභෝගික ඔබ දුඹුරු සීනි මිලදී ගන්නා විට වඩාත් සැලකිලිමත් විය යුත්තේ එහි වර්ණයට වඩා ගුණාත්මක බවයි. ගුණාත්මක භාවය ලෙස සලකන්නේ එම සීනි ජලයට පෙඟී තිබියද, සීනි තෙත ගතියෙන් යුතු ද, සීනිවල මධ්‍යසාර වැනි සුවඳක් හමයි දැයි පරීක්ෂා කිරීම වඩාත් වැදගත්ය. ඔබට සීනිවල පැහැයේ කිසියම් ගැටලුවක් වෙයි නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියට දැනුම්දීමට හැකි අතර එය ඔබ සමස්ථ සමාජයටම සිදු කරන මහඟු මෙහෙවරකි.