තරබාරුව මට්ටු කරන රස පිරුණු පැණි මදුළ

අප්‍රේල් 24, 2023

 

රට ඉඳි කියන්නේ බොහෝ දෙනා කැමැති පලතුරක්.ලෝකයේ බහුතරයක් රටවල්වල දෛනික ආහාර වේල්වල රට ඉඳි අනිවාරර්යය අංගයක් බවට පත් වෙලා තියෙනවා. රට ඉඳි වල කාබෝහයිඩ්‍රේට් (44-88%), ආහාර තන්තු (6.4-11.5%) ,ප්‍රෝටීන් (2.3-5.6 %), මේද (0.2-0.5 %), ඛනිජ (යකඩ, මැග්නීසියම්, තඹ, කැල්සියම්, සෝඩියම්, ආදිය), ලවණ, විටමින් (A, B1, B2, C, niacin) ආදී සංඝටක අඩංගු වනවා.ඒ නිසා මේ රසවත් පලතුර පෝෂණ ගුණයෙන් සපිරි එකක් බවට සැකයක් නෑ. බර අඩුකර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන අයටත් රටඉඳි කියන්නේ ආහාරයට ගැනීමට ඉතාම සුදුසු  පලතුරක්. ඒ ගැන අපි මේ ලිපියෙන් කතා කරමු

 

ඉහළ තන්තු අන්තර්ගතය

 

රට ඉඳි කියන්නේ තන්තුවලින් පොහොසත් පලතුරක්. තන්තු වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම මගින් ආහාර අවශෝෂණය මන්දගාමි කරනවා. එමගින් ඔබට වැඩි කාලයක් පුරාවට පූර්ණ හැඟීමක් දැනෙන අතර ඔබට ප්‍රධාන ආහාර වේල්වලට අමතරව නිතර නිතර කුසගිනි දැනීම වළක්වනවා. ඊට අමතරව මේදය අවශෝෂණය කර ගැනීමද වළක්වනවා.   ඒ සමඟම තන්තු මගින් බඩවැලේ ඇති කෙටි දාම මේද අම්ල නිපදවීමට උපකාරි කරන අතර  එය මූලික වශයෙන් හොඳ බඩවැල් බැක්ටීරියා සඳහා ආහාර වනවා.මෙම බඩවැල් බැක්ටීරියා ආහාර දිරවීමට උපකාරීවන අතර එය අවසානයේ පරිවෘත්තිය ක්‍රියාවලිය වැඩි කිරීමට දායක වෙනවා.

 

අධික අසංතෘප්ත මේද අම්ල අන්තර්ගතය 

 

සෑම මේද වර්ගයක්ම ශරීරයට අහිතකර වන්නේ නැහැ. රටඉඳිවල අඩංගු අසංතෘප්ත මේද ද ඒ අහිතකර නොවන මේද වර්ග ගණයට අයත් වෙනවා. එමගින් බඩේ දැවිල්ල ඇතිවීම , බඩ වැල් ඉදිමීම වැනි තත්ත්වයන් පාලනය කරනවා.මෙවැනි තත්වයන් තරබාරුකම , ඉන්සියුලින් ප්‍රතිරෝධය ,දියවැඩියාව සහ අක්මා රෝග ආදියට සම්බන්ධවන නිසා රටඉදි වල ඇති අසංතෘප්ත මේද අම්ල ඔබේ ශරීරය තුළ යහපත් ආකාරයට ක්‍රියා කිරීම වැදගත්. ඒ නිසා රට ඉඳි වැඩි වශයෙන් පරිභෝජනය කිරීම මගින් ඔබේ බර වැඩි වීමේ අවස්ථාව අඩු කරගත හැකියි 

 

ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් 

 

රට ඉඳි කියන්නේ ප්‍රෝටීන්වලින් පොහොසත් ප්‍රභවයක්.වැඩි වශයෙන් ප්‍රෝටීන් ආහාරයට ගැනීම මගින් ඔබට දිගුකාලීන පූර්ණ භාවයක් දැනෙනවා.එමගින් ඔබ අනවශ්‍ය ලෙස ආහාර ගැනීම වළක්වනවා. ඊට අමතරව ප්‍රෝටීන් මාංශ පේශීන් ගොඩ නැගීමට සහ අලුත්වැඩියා කිරීමට ද උපකාරි වනවා. 

 

ප්‍රතිඔක්සිකාරක ගුණය 

 

සාමාන්‍යයෙන් වියළි පලතුරු ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් ලෙස සැලකෙනවා.ප්‍රතිඔක්සිකාරක මගින් ආතතිය සහ දැවිල්ල අඩු කරනවා.නැවුම් රටඉඳිවල ඇන්තොසියානින්, ෆීනොලික්ස් සහ කැරොටිනොයිඩ් වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගුවන අතර මේවා විස ද්‍රව්‍ය ඉවත් කිරීමට,  පරිවෘත්තීය හා ජීර්ණය වැඩි කිරීමට උපකාරී වනවා.මෙය අවසානයේ බර අඩුකර ගැනීමට හේතුවක්ද වනවා.

 

දියවැඩියාව පාලනය කරයි 

 

මේ විශිෂ්ට පලතුර ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වනවා.රටඉඳිවල ඇති ෆ්ලේවනොයිඩ්, සැපෝනින් සහ ෆීනොලික් ඉන්සියුලින් නිෂ්පාදනය උත්තේජනය කිරීමට උපකාරීවන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔබ දැනටමත් දියවැඩියාව රෝගයෙන් පෙළෙන , පැණි රස ආහාර ගැනීමට රුචිකත්වය දක්වන අයෙක් නම් වෛද්‍ය උපදෙස් මත රට ඉඳි ආහාරයට ගැනීම කල හැකියි. 

 

සෞඛ්‍ය සම්පන්න ආදේශකයක් 

 

බොහෝ දෙනා පුරුද්දක් ලෙස ප්‍රධාන ආහාර වේල් වලින් පසුව අතුරුපසක් ලබා ගැනීම සිදු කරනවා. බොහෝ අතුරුපස වලට අධික ලෙස සීනි සහ කෘතිම රසකාරක වර්ග ඇතුළත් කර ඇති නිසා ඒවා සෞඛ්‍ය සම්පන්න වන්නේ නැහැ. නමුත් රට ඉඳි කියන්නේ ඔබට එවැනි අතුරුපස වෙනුවට ලබාගත හැකි සෞඛ්‍ය සම්පන්න ආදේශකයක්.රටඉඳි ශරීරයට අමතර කැලරි එකතු නොකර එකම පැණි රසයක් ලබා දෙනවා . ඒවා ස්වභාවිකවම සීනි සහ තන්තු වලින් ඉහළ මට්ටමක පවතිනවා පමණක් නොව, ඒවායේ පැණි රසද ප්‍රතිනිර්මාණය කළ නොහැකි වෙනස් කැරමල් වැනි රසයකින් සමන්විත වෙනවා. රටඉඳි යනු ෆෲක්ටෝස් ප්‍රභවයකි, එය පලතුරු වල ඇති ස්වභාවික සීනි වර්ගයකි. මේ නිසා අහිතකර බලපෑම් වලින් තොරව අතුරුපසක රස විඳ ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

 

රට ඉඳි ආහාරයට ගත හැක්කේ කුමන වෙලාවල් වලට ද ? 

 

උදෑසන ආහාර වේල – ඔබේ උදෑසන ආහාර වේලට රට ඉඳි එකතු කර ගැනීම මගින් දහවල් ආහාර වේල තෙක් ඔබට පූර්ණ හැගීමක් දැනෙනවා. ඔබ ඕට්ස් වැනි දෙයක් උදෑසන ආහාරය සඳහා ලබා ගන්නවා නම් එයට රට ඉඳි එකතු කරන්නට පුළුවන්.ඊට අමතරව රට ඉඳි වලින් මිල්ක් ෂේක් එකක් සකස්කර වුවත් රස විඳින්නට ඔබට පුළුවන් 

 

දහවල් කෙටි ආහාරයක් ලෙස – රටඉඳි යනු කෙඳිවල හොඳ ප්‍රභවයක් වන අතර ස්වාභාවික සීනිවල ඉහළ ප්‍රභවයකි. මෙම තන්තු සහ සීනි රුධිරයේ සීනි ප්‍රමාණය මන්දගාමීව ඉහල යාමට ඉඩ සලසයි .එමගින් ඔබට ඉක්මනින් කුසගිනි දැනීම පාලනය කරනවා

 

රාත්‍රී ආහාරයක් ලෙස – රට ඉඳිවල ඉහළ තන්තු අන්තර්ගතය නිසා ඒවා රාත්‍රී ආහාරයක් ලෙස හෝ රාත්‍රී ආහාරයෙන් පසුව ලබා ගැනීමට ඉතා හොඳ ආහාරයක්.තන්තු නිසා ආහාර දිරවීමට වැඩි කාලයක් ලබා ගන්නා නිසා ඔබට මධ්‍යම රාත්‍රියේදී කුසගිනි දැනීම වැලැක්වෙනවා.

 

ව්‍යායාමයකට පෙර – රට ඉඳිවල ස්වාභාවික සීනි අධික වුවද ඒවා ඉක්මනින් රුධිරයේ සීනි වැඩි නොකරයි.ඔබේ ව්‍යායාමයට ඉන්ධන සැපයීම සඳහා ස්ථාවර ශක්ති ප්‍රවාහයකට ඉඩ සලසන සෙමින් මුදා හරින කාබෝහයිඩ්‍රේට් වර්ගයක් සපයනවා , ඒ වගේම ව්‍යායාම කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට සුදුසු ශක්ති ප්‍රභවයක් ලෙස ද රට ඉඳි ආහාරයට ගැනීමට ඔබට පුළුවන් . ව්‍යායාමයකට මිනිත්තු 30-60කට පෙර රට ඉඳි 2-4ක් ආහාරයට ගැනීම සුදුසු වෙනවා. 

 

ඉතා පහසුවෙන්ම ලබාගැනීමට හැකියාවක් ඇති රට ඉඳි ඔබේ ශරීරයෙ බර අඩු කරමින් ඔබට සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන ආකාරයයි මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ. ඉතින් ඔබේ සෞඛ්‍ය තත්වය අනුව් ඒවා ඔබේ ආහාරයට එකතු කරගන්නට ඔබට පුළුවන්.

 

 

උපදෙස්

පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය

රේණුකා ජයතිස්ස

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතය