කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න

මැයි 1, 2023

 

මිනිසාගේ කශේරුව, පිට කොන්ද හෙවත් කොඳුඇට පෙළ කශේරුකා 33 කින් සෑදී ඇති අස්ථිමය ව්‍යුහයකි. මෙමඟින් සිරුරේ හැඩය මනාව පවත්වා ගැනීම සිදුකරයි. කශේරුක නාලය තුළ සුෂුම්නාව පවතින අතර මොළය හා අනෙකුත් අවයව අතර පණිවිඩ ගෙන යාම සුෂුම්නාවේ ප්‍රධානතම කාර්යයයි.

 

කොඳුඇට පෙළ මඟින් සිදු කරනුයේ සුසුම්නාව නිවැරැදිව පිහිටුවීම සහ එයට හානි සිදුවීමෙන් වළක්වාලීම මෙන්ම සුෂුම්නාව හා ඉන් බාහිරට විහිදෙන ස්නායුවල සන්නිවේදන හොඳින් සිදුකරමින් පුද්ගලයාගේ මනා ක්‍රියාකාරීත්වයට උපකාර වීමයි. ඇතැම් අවස්ථාවලදී යම් යම් හේතූන් මත කොඳුඇට පෙළෙහි සාමාන්‍ය පිහිටීම වෙනස් වී ආබාධ මතු වෙයි. මෙවැනි ආබාධ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදුයි. අද වනවිට දරුවන් අතර බහුලව පවතින අතර නිසි ප්‍රතිකාර වෙත කඩිනමින් යොමුවිය යුතු තත්ත්වයකි.

මෙම රෝගයේ මූලිකම ලක්ෂණය නම් පිට කොන්දේ පිහිටීම වෙනස් වීම හෙවත් සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් නොව කොන්ද පැත්තට ඇද වී පිහිටීමයි. වැඩි වශයෙන්ම අවු 10-15 වැඩිවියට පත්වන වයසේ ගැහැනු හා පිරිමි ළමුන් අතර දක්නට ලැබෙන අතර ගැහැනු ළමුන් අතරේ රෝගය සුලබයි.

ආයුර්වේදය තුළ මෙය වාත දෝෂය දූෂණය වීම නිසා ඇතිවන රෝගයක් ලෙස සැලකේ. වාතය දූෂණය වීමට බලපාන හේතු ලෙස වැඩිපුර මෙනේරි, තණහාල්, ලුණුකැඳ වැනි රූක්ෂ ගුණ (රළු) ආහාර පාන ගැනීම. මුංඇට, කවුපි වැනි ලඝු ගුණ (සැහැල්ලු) ආහාර වැඩිපුර ගැනීම. වැඩිපුර සීත ගුණ ආහාර ගැනීම. මළ මුත්‍ර වැනි වේග දරාගෙන සිටීම, වැටීම්, තැලීම් , පහර වැදීම් ආදිය. අධික වෙහෙස නිතර දුකෙන් සිටීම, බඩගින්නේ සිටීම, වැඩි දුරක් පයින් ගමන් කිරීම, තද අව්වේ සිටීම වැනි හේතුන් දක්වනවා.

දරුවා මවුකුස සිටින ඉරියව්ව ද මෙයට බලපාන අතර එමඟින් කොඳුඇටපෙළෙහි වෙනස්කම් ඇතිවන බවත් ඒනිසා මෙය උපතින් හටගන්නා රෝගයක් ලෙසත් ඇතැමුන් පවසනවා. අමතරව උපත් ආඝාත, විවිධ ආසාදන වර්ග, අර්බුද, ජානමය කරුණු , බාලක පක්ෂාගාත වැනි හේතු ද බලපානු ලබයි.

මෙහිදී ඉතා සරල තත්ත්වයේ සිට සංකීර්ණ තත්ත්වයන් දක්වා පුළුල් පරාසයක රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. රෝග ලක්ෂණ දැකිය නොහැකි අවස්ථාද පවතියි.

රෝග ලක්ෂණ ලෙස සුළු කොන්දේ කැක්කුම් මෙන්ම ඇතැම් විට ඉතා දරුණු හුස්ම ගැනීමේ අපහසුතා ද පවතියි.

කශේරුකා වක්‍රවීම හේතුවෙන් පැතිකුදය ඇතිවන බැවින් එයින් නැෙඟන ස්නායු මත ඇතිවන බලපෑමේ ප්‍රබලතාවය මත ශරීරයේ විවිධ වූ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයේ අඩපණ වීමක් හෝ බාධා පැමිණවීමක් සිදුවීමට පුළුවනි. එසේම කශේරුකාවේ වක්‍රතාවය මත ඇදීමට හෝ ලිහිල් වීමකට ලක්වන විවිධ අවයවයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙයි. කශේරුකාව සම්බන්ධ මාංශ පේශීවල අධික වේදනාවක්ද ඇතිවිය හැකියි.

පැති කුදය ඇති පුද්ගලයන් කුදුභාවයට පත් වීම නිසා සමාජය තුළින් ඇතිවන නොයෙකුත් බලපෑම් නිසා මානසික පීඩන තත්ත්වයන් ද ඇති වෙයි.

පැතිකුදය ඇතිවීමේදී එය උත්තල පෙදෙසට හෝ අවතල පෙදෙසට ඇතිවිය හැකියි. එහෙයින් ප්‍රතිකාර ක්‍රම ද වෙනස් වෙයි .

මුලින්ම රෝගියාට ඖෂධීය තෙල් ගැල්වීම සිදුකරයි. එහිදීද උත්තල පෙදෙසට ඇති වූ පැතිකුදය සඳහා එක් තෙල් වර්ගයකුත් අවතල පෙදෙසට ඇති වූ පැතිකුදය සඳහා තවත් තෙල් වර්ගයකුත් යොදා ගනී. යොදා ගන්නා තෙල් වර්ග අතර කුබ්ජ ප‍්‍රසාරණී, නාරායන වැනි තෙල් වර්ග විශේෂයි. ඉන්පසු රෝගියාට ස්වේද (වාෂ්ප ඇල්ලීම) සිදුකරයි. එමඟින් තද වූ මාංශ පේශි මෘදු භාවයට පත් වෙයි.

ප්‍රතිකාර සමන, ශෝධන හා තර්පන වශයෙන් කාණ්ඩ 3ක් යටතේ සිදුකරන අතර එහිදි කෂාය, කල්ක, චූර්ණ වැනි ඖෂධ වර්ග පානයට ලබාදෙයි. බාහිරව පත්තු බැඳීම, ඖෂධ ආලේපය සිදු කරමින් රෝගීන් සඳහා විවිධ රෙදි පටි යොදා විවිධ බන්ධන වර්ග යෙදීමත් ආයුර්වේදයේ සිදුකරයි.

මෙම රෝගී තත්ත්වය කල්ගත වූ පසු ප්‍රතිකාර කිරීම ඉතා අපහසුවෙන් කළ යුතු බැවින් කොඳුඇට පෙළෙහි වෙනසක් දුටුවොත් වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමු වී නිසි පරිදි ප්‍රතිකාර සිදුකර ගැනීම ඉතා වැදගත්.

විශේෂයෙන්ම කුඩා කලම හඳුනා ගෙන ප්‍රතිකාර සඳහා යොමුවීම මඟින් අතුරු ආබාධ ඇති වීම වළක්වා ගනිමින් ආයුර්වේද ප්‍රතිකාර මඟින් ඉතා පහසුවෙන් සුවකළ හැකියි.

ප්‍රතිකාරවලට යොමුවන රෝගියා විසින් රෝ⁣ගය තවදුරටත් වැඩි වීම වැළකීමට චර්යා රටාවද වෙනස් කළ යුතුයි.

සුදුසු ඇඳුම් වර්ග භාවිතය, ළමුන් පාසල් යනවිට පාසල් බෑගය කොන්දට බර නොවන සේ ගෙන යාම, එවැනි ළමුන් අතෙහි පොත් ගෙන යෑම,

යමක් වැටුණු පසු කොන්ද නොනමා දණහිස් නමා එය අහුලාගැනීම, නිදා ගන්නා විට කොට්ටයක් භාවිත නොකිරීම හා මෙට්ටය භාවිත නොකර ලෑල්ලක් මතට පැදුරක් දමා නිදා ගැනීම වැනි නිවැරැදි ඉරියව් භාවිතා කිරීම වැදගත්.

වාත කෝප වන ආහාර එනම් පොළොස්, කොස් හා සිරුරේ බර වැඩිවන ආහාර වර්ග ⁣වැඩිපුර නොගැනීම, රසකාරක යෙදූ ආහාර හා කෘත්‍රීම ආහාර, ජාන වෙනස් කළ ආහාර වර්ග නොගැනීම වැදගත්.

ඒ වෙනුවට නැවුම් පලතුරු, ධාන්‍ය වර්ග, පලා වර්ග, ස්වාභාවික ආහාර ගැනීම සුදුසුයි.

⁣රෝගය සුව වූ පසුත් නිවැරැදි ආහාර පාන , චර්යා හා නිවැරැදි ඉරියව් පවත්වා ගැනීම වැදගත්.

 

 

වෛද්‍ය උපදෙස්

රක්වාන ආයුර්වේද රෝහලෙහි වෛද්‍ය

චේතිකා නාගහවත්ත