දිනපතා ඉඟුරු තේ බිව්වොත් මේ වාසි ලැබේවි

මැයි 8, 2023

 

අපි දවස් පටන් ගනිද්දි කිරිපිටි වීදුරුවක් හෝ තේ එකක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් නිකම්ම බොන තේ එක වෙනුවට ඉඟුරු තේ එකක් පානය කිරිමෙන් අපේ ශරීරයට ප්‍රතිලාබ බොහොමයක් ලබා ගන්න පුළුවන්. නිකම් තේ එකක් බොනවට වැඩිය ඉඟුරු තේ එකක රසයත් ඉතාම වැඩියි. ඒ නිසාම බොහෝ දෙනෙක් ඉඟුරු තේකක් පානය කරන්නට කැමැතියි. ඒ වගේම තමයි නිකම් තේ කෝප්පයකට වඩා වැඩි ප්‍රාණවත් බවක් අපේ ශරීරයට මේ ඉගුරු තේ එකකින් ලබා ගන්නට පුළුවන්. 

 

ආහාර ජීර්ණය හොඳින් සිදු කරනවා වගේම යම් අජීර්ණ අවස්ථාවලදී පවා ඉඟුරු තේ එකක් ගන්නට අපි පුරුදු වෙලා ඉන්නවා නේ. නමුත් මේ ඉඟුරු තේ මෑතකදී අප අතරට ආපු  දෙයක් නෙවෙයි. මීට වසර දහස් ගාණකට පෙර විදේශ රටවල්වලත් ජනප්‍රිය පානයක් වෙලා තිබුණු ඉඟුරු තේ අපේ රටේ ජනතාවත් හරිම ආදරෙන් වැළදගෙන තියෙනවා. අද අපි කතා කරන්නේ අපි දන්න ඉඟුරු තේවල නොදන්නා විස්මිත ගුණ ගැන.

 

 ඉඟුරු තේවල ඉතා වටිනා සංඝටක බොහොමයක්ම අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා උදෑසනට විතරක් නෙමෙයි දවසේ ඕනෑම වෙලාවක නිකම් තේ එකක් බොනවාට වඩා ඉඟුරු  තේ එකක් හෝ දෙකක් පානය කිරීමෙන් වාසි කිහිපයක්ම අත් කර ගන්නට පුළුවනි. නමුත් දවසට ඉඟුරු තේ කෝප්ප තුනකට වඩා ගැනීම සුදුසු නොවන බවත් මතකයේ තබා ගන්න.

 

උදරය සැහැල්ලු  කරනවා 

 

ඉඟුරු අනාදිමත් කාලයක සිට විවිධ රෝග තත්ත්වයන් සඳහා ඖෂධයක් විදිහට භාවිත කළා. ගමන් බිමන් යාමේදී ඇතිවන අපහසුතා, වමනය, ඔක්කාරය වගේම උදෑසන නැගිටින විට ඇතිවන අපහසුතා ආදියටත් ස්වභාවික ඖෂධයක් විදිහට ඉඟුරු භාවිත කරන්නට පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී මවුවරුන්ට ඇතිවන වමනය ආදී අපහසුතා සඳහා වගේම පිළිකා රෝගීන්ට ඇතිවන ඔක්කාරය වමනය ආදී තත්ත්වයන් සමනය කරගන්නත්  මේ ඉඟුරු තේ භාවිත කිරීම වඩාත් ඵලදායක බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා. 

 

මොළයේ  සෞඛ්‍ය වැඩි දියුණු කරනවා 

 

ආසාත්මිකතාවලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවකින් යුක්ත ඉඟුරු මොළයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්නට විශාල දායකත්වයක් ලබාදෙන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. පාකින්සන් සහ ඇල්ෂයිමර් ආදී ස්නායු රෝග තත්ත්වයන්ට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවකින් යුක්ත ඉඟුරු දැමූ තේ එකක් පානය කිරීමෙන් ඔබගේ මොළය  ආශ්‍රිතව ඇතිවිය හැකි  බොහෝ රෝගවලින් ආරක්ෂාව සලසනවා. 

 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා

 

 බොහෝ වෙලාවට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වෙද්දි ඉඟුරු තේකක් පානය කිරීමෙන් ඒ අපහසුතාවයන්  දුරු කරගන්නට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ඉඟුරු මඟින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වේගවත් කරනවා.  ඉඟුරුවල අඩංගුව ඇති ජින්ජර් රෝල් ආදි සංඝටක ශරීරයේ  මුක්ත ඛණ්ඩකවලට එරෙහිව සටන් කරනවා. එය විවිධ ආසාත්මිකතාවලට එරෙහිව ක්‍රියා කරනවා වගේම විවිධ නිදන්ගත රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානමත් බොහෝ දුරට අඩු කරනවා.

 

බැක්ටීරියා හා දිලීර ආසාදනවලට එරෙහිව ක්‍රියා කරනවා.

 

ඉඟුරු සතුව ප්‍රබල බැක්ටීරියා නාශක වෛරස නාශක සහ  දිලීර නාශක ගුණ විවිධ ආසාදනවලින් දේහයට ආරක්ෂාව සලසනවා. ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන දිලීර, දිලීර ආසාදන සහ දත්වල ඇතිවන මැලියම් රෝග ආදි තත්ත්වයන්වලදී ඒවාට එරෙහිව ක්‍රියා කරන්නටත් ඉඟුරුවලට සුවිශේෂී හැකියාවක් තියෙනවා. 

 

වේදනාව අඩු කරනවා 

 

ඉඟුරුවලට ආසාත්මිකතා අඩු කරන්නට සහ මාංශ පේශිවල වේදනාවන් අඩු කරන්නටත් විශේෂ හැකියාවක් තියෙනවා. මාංශපේශීවල සන්ධිවල වේදනාවන් වගේම  ඔසප් වේදනාව සමනයකර ගන්නත් ඉඟුරු තේ අපිට භාවිත කරන්නට පුළුවන්. ව්‍යායාම් සිදු කිරීම නිසා ඇතිවන මාංශපේශීවල වේදනාව ඔස්ටියෝ ආතරයිටිස් හේතු කරගෙන ඇතිවෙන දණහිස් වේදනාව ආදිය සමනය කරගන්නට ඔබට මේ ඉඟුරු තේ උපකාරී වේවි. 

 

රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා 

 

අපේ රටේ විතරක් නෙමේ ලෝකයේ බොහෝ දෙනෙක් පීඩා විඳින දියවැඩියා රෝගයෙන් මිදෙන්නට ඔබේ රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කර ගන්නට ඉඟුරු විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා ඉඟුරු තේ එකක් හෝ දෙකක් දවසට පානය කිරීම රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කරගන්නට ඔබට උදවු කරනවා.

 

ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට  දායක වෙනවා.

 

ඉඟුරු ආහාරයට ගැනීමෙන් උදරාබාධ වගේම උදරයේ  තුවාල ඉතා ඉක්මනින් සුව කරගන්නටත් උපකාරී වෙනවා, ඒ වගේම ආහාර ජීර්ණය වීමේ වේගය දෙගුණ වෙන බව සඳහන්.

 

බර අඩු කරනවා

 

 ශරීරයෙහි බර අඩු කරන්නට හැකි විශේෂ හැකියාවක් ඉඟුරු සතු වෙනවා. දේහ බර අඩුකර  ගන්නට උනන්දු වෙන අයට  ඉඟුරු තේ භාවිතයෙන් ඔබේ ශරීරයේ බර අඩු කරගන්න පුළුවන්. ශරීරයේ ඇති මේදය කුඩා කොටස්වලට කැඩී යාමෙන් මේදය අවශෝෂණය කරගැනීම අවහිරකර ගැනීමෙන් වගේම කෑම ගැනීමට ඇති රුචිකත්වය අඩු කිරීම මගින් තමයි ඉඟුරු අපේ ශරීරයේ බර අඩු කරන්න උදව් වෙන්නේ. 

 

කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.

 

කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම නිසා හෘදයාබාධ ඇති වීමේ අවදානම වැඩි කරන බව ඔබ දන්නවා. පර්යේෂණවලින් සොයාගෙන ඇති කාරණා අනුව ඉඟුරු තේ පානය මගින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම හොඳින් පාලනය කරමින් හදවත්  සෞඛ්‍ය නිරෝගී කරනවා. 

 

ඉඟුරු තේ එකක් පානය කිරීමේදී  එහි රසය වගේම ගුණය වැඩි කරගන්නට ඔබට එයට ලෙමන් හෝ දෙහි  පෙත්තක් එහෙමත් නැත්තම්   මී පැණි ස්වල්පයක් එකතු කරන්නටත් පුළුවන්. 

නමුත් ඉඟුරු කියන්නේ කොතරම් ගුණදායක දෙයක් වුණත්  එය අධිකව ලබා ගැනීම සුදුසු නැහැ. නිරන්තරයෙන් ඉඟුරු භාවිත කිරීම පපුවේ දැවිල්ල, බඩේ වේදනාව හා වමනය ආදී අතුරු ආබාධ ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉඟුරු ඇතැම් පුද්ගලයන්ට විවිධ ආසාත්මිකතා ඇති කරන්නට හේතු වෙනවා. ඔබට ඉඟුරු තේකක් පානය කළ පසුව සමේ  කැසීම්, පලු දැමීම් ඉදිමීම්  වගේ ආහාර ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඉඟුරු තේ භාවිතය නවතා වෛද්‍යවරයකු හමුවට යන්න. 

 

අන්තර්ජාලය ඇසුරෙනි