මළබතට වට්ටක්කා, අළුකෙසෙල්, බල කරවල ඇයි?

ජූලි 24, 2023

මළබතට සම්ප්‍රදායානුකූලව පැවත එන ආහාර වට්ටෝරුවක් තමයි වට්ටක්කා, බල කරවල, අළුකෙසෙල් ව්‍යාංජන. දැන් නම් ගොඩාක් දුරට මේ රටාවේ වෙනස් වීමක් දක්නට ලැබෙනවා. මළගෙදර මඟුල් ගේක තරම් කෑම ජාති තමන්ගේ තත්ත්වෙ පේන්නත් එක්ක මළගෙදර එන අයට පිළිගන්වන්න රැල්ලක් හැදීගෙන එනවා.

ඉතින් අපි ඉගෙන ගමු අපේ පැරැන්නන් ඇයි මේ වට්ටෝරුව තෝරගන්න හේතු වුණේ කියලා.

ශෝකය, බිය, කාන්සිය ආදී සිතුවිලිවලින් සිත ⁣හෙම්බත් වී ඇති මෙවන් අවස්ථාවක අසමතුලිතවන ශරීර ක්‍රියාකාරීත්වය ඉහත සඳහන් වට්ටෝරුව මඟින් සමතුලිත භාවයට පත්කර ගත හැකියි. මේ ද්‍රව්‍ය තුනෙන්ම සිරුරට අධිකව කැල්සියම් ලැබේ.

හැඬීමෙන් ශරීරයේ පිටවන දියර වර්ග එනම් සොටු, දහදිය, කඳුළු ආදිය ඉවත් වීමෙන් සිරුරට අවශ්‍ය ඛනිජලවණ හිඟයක් මතුවේ. එම නිසා විජලන තත්වයක් ඇතිවේ. මෙවැනි අවස්ථාවල කැල්සියම් හා ආහාරවලට එක්වන ලුණුවලින් අවශ්‍ය ඛනිජ ලවණ සපිරේ.

එමෙන්ම අළුකෙසෙල්වල ඇති ග්‍රාහී ගුණ නිසා වැගිරීම් අඩුකර දියර වර්ග කැටි කරයි. එමඟින් විජලනය නැවතීමට උපකාරී වේ. සෙමද නසයි. විස සමනය කරන ගුණ නිසා සිරුරේ දොස් කිපීමෙන් ඇතිවූ විස සමනය කරයි.

වට්ටක්කා, අළුකෙසෙල් දෙකෙන්ම අම්ල පිත ඔක්කාරය හා බඩ පපුව දැවිල්ල සමනයට මහඟු ඖෂධයකි.

එමෙන්ම බල කරවල ප්‍රෝටීන් බහුලයි.

වට්ටක්කා පොත්තේ කැල්සියම් අධිබව සහ වට්ටක්කාවල බීටා කැරෝටින් අඩංගුයි.

සිරුරට අවශ්‍ය විටමින් ඒ ලබාදේ. වට්ටක්කාවල ඇති කුසගින්න ඇතිකරන ගතිය මගින් ශෝකී අවස්ථාවක අපට ඇතිවන බඩගිනි ⁣නොහැඟෙන බව නැතිකම දුරු කරයි. හරි හැටි අහරක් නොලැබීම නිසා ඇතිවන මළබද්ධය දුරුකරයි.

මේවා පිසීමට යොදාගන්නා පොල්කිරි නිසා අවශ්‍ය මේදය ඇති තරම් ලැබේ.

මේදය හා විටමින් ඇත්නම් මේදයේ දියවෙන විටමින් වර්ග පහසුවෙන් ශරීරගත වෙයි. සිරුරේ වියළීම අඩු කරයි.

මේවා සම්ප්‍රදායානුකූලව පැවත එන දේශීය ආහාර රටාවේ ඇති හාස්කම් නොවේද?