දරුවන්ට යෝග

අගෝස්තු 21, 2023

 යෝග අභ්‍යාස කිරීමෙන් දරුවකුට යහපත් හා නීරෝගි මනසක්, චිත්තවේගී සංවර්ධනයක් ළඟා කරගත හැකි වේ.

 

සෑම ආසනයක් ම ආශ්වාස ප්‍රශ්වාසය අනුගමනය කරමින් සහ ඉතා සෙමින් පියවරෙන් පියවර පටන්ගෙන, පියවරෙන් පියවර නැවත අවසන් කිරීමත් එලෙසින්ම කළ යුතුයි. සෑම ඉරියව්වකින් ම පසු සිරුර සැහැල්ලු කර විවේක ගැනීම අවශ්‍යයි.

 

අධෝ මුඛ සවාසන

Dog Pose

විධානය - බල්ලෙක් වගේ ඉන්න

පපුව සහ උරහිස් විවෘත කර අත් සහ පාද ශක්තිමත් ලෙස බිමට තබා කොන්ද ප්‍රදේශයන් ඉහළට ඔසවන්න.

ප්‍රතිලාභ

සිරුරේ ඉහළ කොටස ශක්තිමත් කරයි. රුධිර පරිවහනය උත්තේජනය කරයි. පාදයේ මාංස පේශීන් මනාව සකස් කරයි.

 

වෘශ්චිකාසන

Scorpion Pose

විධානය - ගෝනුස්සෙක් වගේ ඉන්න

දෑත බිම තබා ඔළුවෙන් හිට ගන්නා ආකාරයට දෑතෙහි වැලමිට දක්වා කොටසෙන් හිටගන්න. ඉන්පසු පාද ඉදිරියට සෙමෙන් නවන්න. මෙම ආසනය බොහෝ පුහුණු විය යුතු ආසනයක් වුවත් කුඩා දරුවන්ට ඉතා ඉක්මනින් පුහුණු විය හැකියි.

ප්‍රතිලාභ - උරහිස් සහ පිටුපස ශරීරය ශක්තිමත් කරයි. කොඳු ඇට පෙළේ ස්ථාවරත්වය හා සම්බන්ධතාවය වර්ධනය කරයි.

 

හලාසන

Plough Pose

විධානය - නගුලක් වගේ ඉන්න

ඉහළ බලාගෙන බිම වැතිරී ආශ්වාස කරන විට දෙකකුල් දණහිසෙන් නොනමා අංශක 90 ක් ඉහළට ඔසවන්න. මද වේලාවක් එසේ සිට නැවත ප්‍රශ්වාසයේදී දෙපා සෙමින් සෙමින් හිස දෙසට ගෙන යන්න. පා ඇඟිලි බිම ගෑවුණු පසු හැකි වේලාවක් එසේ සිටින්න.

ප්‍රතිලාභ

බෙල්ලේ ඇති තද ගතිය නැති කරයි. උරහිස් අත් පා කකුල් ශක්තිමත් කරයි. නම්‍යතාව වර්ධනය කරයි.

 

ත්‍රිකෝණාසන

Trikonasana

විධානය - ත්‍රිකෝණයක් වගේ ඉන්න

උරහිස් පළල ට වඩා පාද මදක් පළල් කර දෑත් දිගු කරන්න. ඉදිරියට හෝ පසුපසට නොමැතිව නිවැරදි ලෙස සිරුර සමබර කරමින් පැත්තට නැමෙන්න.

ප්‍රතිලාභ

සිරුරෙහි පද්ධතීන්වලට උත්තේජන ලබා දෙයි. ආතතිය පාලනය කරයි.

 

බිටිලාසන

Cow pose

විධානය - එළදෙනක් වගේ ඉන්න

දෑත් දෙපා ඈත්කර දණගාන ඉරියව්වෙන් ඉන්න. ගැඹුරින් ආශ්වාස කරමින් ශ්‍රෝණි පෙදෙස ඉහළට හා උදරය හකුළන්න. නැවත නැවත කරන්න.

ප්‍රතිලාභ

කශේරුකා අතර රුධිර සංසරණය වැඩිදියුණු කරයි. කොන්දේ වේදනාව සහ ආතතිය සමනය කරයි.

 

බද්ධ කෝණාසන

Butterfly pose

විධානය - සමනලයෙක් වගේ ඉන්න

කොන්ද කෙළින් තබා යටිපතුල් එකිනෙක තදින් ස්පර්ශ වන පරිදි කකුල් නමන්න. හැකි තරම් සිරුර දෙසට විලුඹ ළං කරගන්න. වළලුකරින් අල්ලා ආශ්වාස කරන අතරතුර කලවා සහ දණහිස් පහළට චලනය වන පරිදි මෘදු ලෙස චලනය කරන්න. ඉන්පසු සමනලයකුගේ පියාපත් මෙන් කකුල් ඉහළට හා පහළට ගසන්න.

ප්‍රතිලාභ

කලවා, දණ දිගු කරයි. ජීර්ණය පහසු කරයි. ගැහැනු දරුවන්ගේ ඔසප් වේදනාව අඩු කරයි. දණහිස හෝ ඉකිලි වේදනාව හෝ කැක්කුම වැළැක්වීමට හුරුවන තෙක් කලවා යටට රෙද්දක් නමා තබන්න.

 

උත්‍රාසන

Camel pose

විධානය - ඔටුවෙක් වගේ ඉන්න

දණ බිම ගසා වාඩි වෙන්න. දණහිස් ඈත් වන ලෙස කකුල පළල් කරන්න. එක් විලුඹක් උඩට තබා සෙමෙන් පපුව ඉදිරියට හා කොඳු ඇට පෙළ දුන්නක් ආකාරයෙන් ඉදිරියට නමමින් අනිත් අත විලුඹ දෙසට ගෙන යන්න.

ප්‍රතිලාභ

කලවා පේශී ශක්තිමත් කරයි. වැඩිපුර මේද ඉවත් කරයි. ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරයි.

 

වෘක්ෂාසන

Three Pose

විධානය - ගහක් වගේ ඉන්න.

සිරුර කෙළින්, කකුල් කෙළින් දෑත් දෙපැත්තට තබා ගන්න. එක් පාදයක් ඔසවා අනිත් කකුලේ අභ්‍යන්තර කලවය මත ඇඟිලි පහළට සිටින සේ තබා මනස ඒකාග්‍ර කරගන්න. එක් ස්ථානයක් දෙස බලා හෝ දෑස් පියාගෙන එකම සිතුවිල්ලක ඉතා විශ්වාසයෙන් සිට ගැනීමට කියන්න. හිසට ඉහළින් අත්දෙක තබා දෑතෙහි අත්ල එකිනෙකට තදකර සිටින්න. කකුල් දෙකට තත්පර 30 බැගින් වැඩි වේලාවක් රැඳී සිටීමට මනසේ සමබරතාව විශ්වාසය හා ශක්තිය කෙතරම් අවශ්‍ය ද යන්න කියා දෙන්න.

ප්‍රතිලාභ

සිරුරේ පිටුපස කොටස ශක්තිමත් කරයි. සමබරතාව සහ මානසික ඒකාග්‍රතාව ඇති කරයි. කලවා මාංස පේශි වළලුකර ශක්තිමත් කරයි.

 

මර්ජයාසන

Cat pose

පූසෙක් වගේ ඉන්න

පූසෙක් හිරි අරිනව වගේ ඉන්න. දෑත් සහ දණහිස භාවිතකර පිටකොන්ද ආරුක්කුවක් සේ ඔසවා රැඳී සිටින්න. මැණික් කටුව වැලමිට සහ උරහිස් කෙළින්ම බිමට ලම්බකව සෘජුව තිබිය යුතුයි. ප්‍රාශ්වාසයක් සමඟ කොඳු ඇට පෙළ සිවිලිම දෙසට ආරුක්කුවක් මෙන් සිටීමට උගන්වන්න.

ප්‍රතිලාභ

කොඳු ඇට පෙළ, බෙල්ල කඳ සහ උදරයේ අවයව ලිහිල් කරයි. ආහාර ජීර්ණය හා ආහාර රුචිය ඇති කරයි. මොළය කුළු ගන්වා ස්නායු සම්බන්ධතා ස්ථාවර වැඩිදියුණු කරයි.

 

නවාසන

Boat pose

විධානය -නැවක් වගේ ඉන්න

වාඩිවී කකුල් කෙලින් කරන්න. ඔබේ දෑත් බිමින් තබන්න. ඔබේ පිටුපසට කෙලින් තරමක් පිටුපසට හේත්තු වී කකුල් ඔසවන්න. උදරයේ මාංස පේශීවලින් ශක්තිය ගනිමින් v හැඩයට රැඳී සිටින්න.

ප්‍රතිලාභ

කකුලෙහි මාංසපේශීන් ශක්තිමත් කරයි. මාංස පේශීන්වල තද බව අඩු කරයි.

 

බුජංගාසන

Cobra Pose

විධානය -නයෙක් වගේ ඉන්න

උඩුබැලි ව දිගා වී පාද ස්පර්ශය වන ලෙස සමපාතව තබාගන්න. අත්ල බිම තබා දෑත් වලට බර නොදී සිරුරෙන් හැකි තරම් ඉහළට එසවෙන්න. අවශ්‍ය නම් පාද නමා හෝ දිගහැර සිටිය හැකියි.

ප්‍රතිලාභ

අත් උරහිස් සහ කලවා ශක්තිමත් කරයි. අක්මාව සහ වකුගඩු ක්‍රියාව මලබද්ධය අඩු කිරීම සහ ආහාර දිරවීමේ ගැටලු සමනය කරයි. සමබරතාව සහ මානසික ඒකාග්‍රතාව ඇති කරයි.

 

ධනුරාසන

Bow pose

විධානය -දුන්නක් වගේ ඉන්න

දුන්නක් මෙන් පිටුපසට නැමී පපුව සහ උරහිස් විවෘත කරන්න. මුනින් නිදන්න. දෑත් දෙපැත්තට දිගුකර ආශ්වාස කරන අතරතුර අතින් අල්ලා පාද උකුල දෙසට ගෙන එන්න. කෙළින්ම ඉදිරියේ බලා හිස, උරහිස්, කඳ, කකුල් සහ උකුළ ඔසවන්න. මහන්සි නම් බඩ මත විවේක ගන්න.

ප්‍රතිලාභ

තට්ටම්, උකුළ, උරහිස්, පපුව සහ කකුල්වල මාංසපේශී ශක්තිමත් කරයි, වර්ධනය කරයි. නම්‍යශීලි බව ආහාර ජීර්ණයට යහපත්ය. මෙය ඉතා සෙමින් පුහුණු විය යුතු ඉරියව්වකි. තත්පර 5 න් පටන් ගන්න.

උපදෙස් :  
ළදරු හා ළමා සෞඛ්‍ය උපදේශිකා 
ශ්‍යාමලී පතිරගේ