හැමදාම කතා කළත් ඉවරයක් නැති ඔසප් ප්‍රශ්න

සැප්තැම්බර් 4, 2023

 

ප්‍රජනන සෞඛ්‍ය ආශ්‍රිතව පැන නැෙඟන ගැටලු බොහෝමයි. එහෙත් බොහෝ දෙනෙක් ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමට මැළි වෙයි.

 

යෞවනියන්, යුවතියන්, කාන්තාවන් බොහෝවිට ඔසප් චක්‍රය සම්බන්ධයෙන් විවිධ ගැටලුවලට මුහුණපායි. බලන්න මේ ගැටලු ඔබේ සිතෙත් මතු වූවා දැයි කියා.

 

** ආර්තවය හෙවත් ඔසප් වීම සිදුවන අයුරු පහදන්න

ස්ත්‍රී ඩිම්බ කෝෂයක් තුළ ඩිම්බයක් දින 14ක පමණ කාලයක් තුළ විකසනය වී එම ඩිම්බය මුදාහැරීමෙන් පසු සංසේචනය වුවහොත් සෑදෙන කලලය පිළිගැනීම සඳහා ගර්භාෂය ඇතුළු බිත්ති මත පටල නිර්මාණය කරයි. මුදා හරින ලද ඩිම්බය සංසේචනය නොවුවහොත් ඉන් තවත් දින 14කට පසුව එම පටල ගැලවී, එම සෛල රුධිරය සමඟ යෝනි මාර්ගය ඔස්සේ පිට කෙරේ. මෙය ආර්තවය හෙවත් ඔසප් වීමයි. එක් ආර්තව චක්‍රයක් ඇරැඹීම සමඟ ඊළඟ ඩිම්බය විකසනය ද සාමාන්‍යයෙන් ඇරැඹේ.

 

** ඔසප් වීමට හරියටම දින 28ක් සම්පූර්ණ විය යුතුද?

නැත. දින 28ට වඩා අඩු හෝ වැඩි කාලයකින් ද ඔසප් වීම සිදු විය හැකියි. මෙය බොහෝවිට රෝග ලක්ෂණයක් නොවේ.

 

** පළමු ඔසප් වීමේදී වේදනාවක් ඇති වේද?

ඇතැම්විටවේදනාවක් ඇතිවිය හැකියි. යම් වේදනාවක් ඇති වුවද එය සාමාන්‍ය තත්ත්වයකි.

 

** වැඩිවිය පත් වීමෙන් පසුව ඊළඟ ඔසප් වීම සිදු වන්නේ මාස ගණනක් ප්‍රමාද වී විය හැකියි. මීට හේතුව කුමක්ද?

ආර්තව චක්‍රය සිදු කිරීමට අවශ්‍ය වන හෝමෝනවල චක්‍රීය භාවය ස්ථාපිත නොවීම මෙයට හේතුවයි.

 

** ඔසප් වීම සිදු වීමට ප්‍රථම පියයුරු රිදෙන්නේ ඇයි?

හෝ්මෝන සාන්ද්‍රණයේ වන වෙනස් වීම් නිසා යි. මෙය සාමාන්‍යයෙන් දිගින් දිගටම පවතී නම් හා එයින් දැඩි අපහසුතාවක් ඇති වේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

** ඔසප් වීම ඇතැම් විට මාස තුන හතරකින් සිදුවේ. එයට හේතු මොනවාද?

ඔසප් වීම සිදුවන්නේ ලිංගික හෝ්මෝන ක්‍රියාකාරීත්වය නිසාය. තරුණ කාලයේ දී ඔසප් වීම අක්‍රමවත් විය හැකියි. ශාරීරික වර්ධනයත් සමඟ සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලිය ක්‍රමවත් වේ. තවත් සමහර විට ස්වභාවික තත්ත්වයන් නිසාත්, ඇතැම් රෝග තත්ත්ව නිසාද ඔසප් වීම අක්‍රමවත් වීම, ප්‍රමාද වීම හෝ නතර වීම සිදු විය හැකියි.

* මානසික පීඩනයක්

* රෝගී අවස්ථාවක්

* දේශගුණික වෙනස්වීම්

* හෝමෝන අසමතුලිතතාව (ලිංගික හෝ්මෝන, තයිරොයිඩ් හෝ්මෝන, වෙනත් හෝ්මෝන .....)

* ශරීරයේ බර වෙනස් වීම (බොහෝ විට බොහෝ විට වැඩිවීමක්)

 

** මසක් ඇතුළත දෙවරක් ඔසප් වීම හෝ ඔසප් රුධිරය වැඩි හෝ අඩු වශයෙන් පිටවීම රෝගී තත්ත්වයක් ද ?

ඔව්, වෛද්‍ය උපදෙස් පතන්න.

 

** ඔසප් දිනවල නෑම නුසුදුසුද?

මෙය ශ්‍රී ලංකාවේ පවතින ප්‍රචලිත මතයක් ලෙස හැඳින්විය හැකියි. නමුත් ලොව පුරා ස්ත්‍රීහු ඔසප් දිනවල දී අනෙක් දිනවල මෙන් ස්නානය කරති. ඔවුන්ට ඉන් හානියක් වූ බවක් වාර්තා වී නැත. මෙම කාලයේදී නෑමෙන් ලබාගන්නා පිරිසුදුකම ඉතා වැදගත්ය.

 

** ඔසප් දිනවලදී ස්නානය කළ විට බොහෝදුරට ඔසප් වීම ටික වේලාවකට නැවතී තිබී යළිත් ඇතිවේ. මෙය ස්වභාවික ද?

ඔව්

** ඔසප් කාලයේ දී පෞද්ගලික පිරිසුදුකම රැක ගැනීමට ගත හැකි පියවර කවරේද?

මේ දිනවල සනීපාරක්ෂක තුවා භාවිත කරන විට දිනකට දෙවරක් හෝ තුන්වරක් ඒවා මාරු කිරීම කළ යුතුයි. ඒ වෙනුවට රෙදි පාවිච්චි කරන්නේ නම් ඒවායේ පිරිසුදුකම ගැන සැලකිලිමත් වන්න. මේ දිනවල දිනපතා නෑමට හැකි නම් පිරිසුදුකම සඳහා එය ඉතා වැදගත් වේ.

** ඔසප් දිනවල සංසර්ගයේ යෙදීම සුදුසු ද?

අපහසුතාවක් සහ නොකැමැත්තක් නොවේ නම් සංසර්ගයේ යෙදීම වරදක් නැත. නමුත් රුධිරය විෂබීජ වැඩීමට හොඳ මාධ්‍යයක් බැවින් පිරිසුදුකම ගැන විශේෂයෙන් සැලකිය යුතුයි.

** ඔසප් කාලවලදී තම්පලා, අන්නාසි වැනි දේ ආහාරයට ගැනීම හිතකර ද?

අහිතකර නැත. ඔසප් කාලයේදී ඕනෑම ආහාරයක් ගත ගත හැකියි.

** මේ කාලයේ දී යටිබඩ හා කොන්දේ කැක්කුමක් හටගත් විට කළ හැකි ප්‍රතිකාර මොනවාද?

මෙය රෝග තත්ත්වයක් නොවේ.යටිබඩ උණු වතුරෙන් තැවීමෙන් සහනයක් ලබාගත හැකියි. තවද වේදනා නාශක පෙති වර්ගයක් (පැරසිටමෝල්) පාවිච්චි කිරීමෙන් වේදනාව අඩුකර ගත හැකියි. තදබල වේදනාවක් පවතින්නේ නම් පමණක් මෙවැනි පෙති වර්ගයකින් පෙති දෙකක් පැය 6කට වරක් පාවිච්චි කිරීම සුදුසුය.

** ඔසප් වන විට තදබල බඩේ කැක්කුමක් ඔක්කාරයක් ඇතිවේ. හේතුව පහදන්න.

ගර්භාෂයේ ඇතිවන සංකෝචනය නිසා මෙවැනි වේදනා සහ ඔක්කාරය ඇති වේ. එය බොහෝවිට සාමාන්‍ය තත්ත්වයකි. ඇතැම් රෝගී තත්ත්වයන්ගේ රෝග ලක්ෂණයක් විය හැකියි. ඔබට දැඩි අපහසුවක් දැනේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

** ආර්තවහරණය ලෙස හඳුන්වන්නේ කුමක්ද?

බොහෝවිට කාන්තාවකගේ වයස අවුරුදු 50 දී පමණ (සමහරවිට මීට කලින් හෝ සිදුවිය හැකි) ඩිම්බ කෝෂවල ඩිම්බ නිපදවීම ක්‍රම ක්‍රමයෙන් අඩාළ වේ. පසුව මුළුමනින් ම එය නතර වේ. එවිට ඔසප් වීම ද (ආර්තවය) අක්‍රමවත් වී අවසානයේදී නවතී.

** ආර්තවහරණය සිදු වූ කාන්තාවකට නැවත ලිංගිකව හැසිරීමට නොහැකි ද?

ආර්තවහරණය නිසා ප්‍රජනන හැකියාව එනම් දරුවන් බිහිකිරීමේ හැකියාව නැති වී ගියත් ලිංගිකව එක්වීමේ හා තෘප්තිමත් වීමේ හැකියාව අඩු නොවේ. තවත් දිගු කලක් ලිංගිකව එක් වීමටත් එයින් තෘප්තිමත් වීමටත් හැකියි.

** සංසේචනය සිදු වීම (ගැබ් ගැනීම) හා ආර්තවහරණය හැරෙන්නට ඔසප් වීම නතර වීමට බලපාන වෙනත් හේතු මොනවාද?

සමහර කායික රෝගී තත්ත්වයන් නිසාත් මානසික හේතු නිසාත් ඔසප් වීම තාවකාලිකව නතර විය හැකියි.

 

විශේෂ ස්තුතිය :

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට