දැන් ගර්භාෂය Wash කරන්නේ නැද්ද?

සැප්තැම්බර් 11, 2023

ගර්භාෂය wash කිරීම අපේ කාන්තාවන් අතර ජනප්‍රිය කතාබහක්. ඒ මීට වසර දහයකට පහළොවකට පෙර කීවොත් වඩාත් නිවැරැදියි. පිළිසිඳගත් කලලයක් සති කිහිපයක ඇවෑමෙන් ස්වභාවිකව හෝ ගබ්සා වුවහොත් මාපිය වරම් ලැබීමේ අපේක්ෂාවන් එහෙම පිටින්ම සුනුවිසුනු වී යාවි.

එසේ ස්වභාවිකවම සිදුවන ගබ්සාවක්, මළ දරු උපතකින් පසුව ගර්භාෂයේ ශේෂ වන කොටස් එහෙම පිටින්ම ඉවත්කර wash කිරීම මීට වසර ගණනාවකට පෙර සිදු වූවක්.

ස්වභාවික ගබ්සා වීමකදී සාමාන්‍යයෙන් ඒ ආශ්‍රිත සියලු කොටස්, අපද්‍රව්‍යයන් ගැබ්ගෙල, යෝනි මාර්ගය ඔස්සේ ස්වභාවයෙන් ම බැහැර වෙයි. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ අද ඒ සඳහා භාවිත කරන්නේ නවීනතම ක්‍රමවේදයන්ය.

දරුගැබක් ස්වභාවිකව ගබ්සා වී එහි ශේෂ වූ කොටස් ආසාදනයකට, පැසවීමකට ලක්වී අනෙක් අවයව කරා පැතිරි යා හැකි යැයි අනුමාන කරමින් womb wash කිරීම සිදු වුණි.

නැවත ගැබ් ගැනීමකදී නාළ අවහිරතාවන් ඇතිවේවී. වැනි කාරණා womb wash කිරීමට බලපෑ සාධකයි.

වත්මනේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, එන්නත් වැනි දෑ ඒ සඳහා යොදාගනියි. මේවා මුඛයෙන් ගන්නා පෙති වර්ග, යෝනි මාර්ගයට ඇතුළු කරන ඖෂධ යනාදී ලෙසින් තිබේ.

සති ගණනින් වැඩී ඇත. තරමක් විශාල කලලයක් වුවත් ස්වභාවික ගබ්සාවකට, මල දරු උපතකට ලක් වුවත් එය බැහැර කිරීමට ඉහත ක්‍රියාමාර්ග අනුගමනය කරයි.

ගර්භාෂ තුළ ඇති පටකවල වාර්තාවක් ලබාගැනීමට womb wash කිරීම විද්‍යාත්මක පසුබිමයි. නිර්වින්දන ක්‍රමවේදයක් ඔස්සේ එය සිදු කෙරේ.

මෙහිදී යෝනි මාර්ගය හරහා ගැබ්ගෙල විවර කර ගැනීමට සියුම් තුනී උපකරණයක් යවයි. මෙය ගැබ්ගෙලෙහි දී තරමක් විශාල වී ගර්භාෂයට ඇතුළු වෙයි. ගර්භාෂයේ ඇති වෙනස්කම්, අසාමාන්‍ය තත්ත්වයන් මෙම උපකරණය ඔස්සේ පරීක්ෂා කරයි. Vacume එකක ආධාරයෙන් wash කිරීමෙන් පසු ගර්භාෂය නැවත යථා තත්ත්වයට පත්වේ. ඉන්පසු පහසුවෙන් බාධාවකින් තොරව නැවත ගැබ් ගන්නේ යැයි බොහෝ දෙනා සිතයි. මෙය සත්‍යයක්වන අවස්ථා ද නැත්තේ නොවේ. නැවත ගැබ් ගැනීමක් කරා යෑමට පෙර නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අතිශය වැදගත් වේවි.

අධික රුධිර වහනයක් සිදුවන අවස්ථා, ශ්‍රාවයන් බැහැරවන අවස්ථාවලදී ගර්භාෂයේ පටක වාර්තා පරීක්ෂා කරමින් රෝග විනිශ්චයන් කරා එළැඹෙන්නට වේවි. ආර්තවහරණයෙන් පසු, කාන්තාවන් වයස්ගත වීමත් සමඟින් ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව පිළිකාමය තත්ත්වයන් ඇතිවීමට පුළුවනි. මේ පිළිබඳ නිවැරැදි රෝග විනිශ්චයක් සිදුකිරීම සඳහාත් womb wash කරන්නට නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කරයි.

Womb wash කිරීම අවිවාහක උදවියට, අඩු වයස් යුවතියන්ට සිදු කරන්නේ නැත. මේ කාණ්ඩවල අයට ගර්භාෂය ආශ්‍රිතව පිළිකාමය තත්ත්වයන් හට ගැනීම ද කලාතුරකින් සිදුවිය හැකි දෙයක් නිසා එවැනි පර්යේෂණ ක්‍රමවේදයක් කරා යෑමේ අවශ්‍යතාවක් නොමැත. අවශ්‍යතාවය අනුව අවිවාහක උදවිය අඩු වයස් යුවතියන් සඳහා වෙනත් ක්‍රමවේද භාවිත කරයි. ඒ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, MRI පරීක්ෂණ වැනි දෑය.

එන්ඩොමෙට්‍රියම හෙවත් ගර්භාෂ බිත්ති ආශ්‍රිතව හටගන්නා පිළිකාවලදී Womb wash කිරීම මඟින් ගන්නා පටකවලින් බොහෝමයක් තතු අනාවරණය කරගත හැකි වේ.

ගර්භාශයේ පටක පිළිබඳ සායනික තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා womb wash කිරීමේ ක්‍රමවේදය සිදුකළත්, දැන් බොහෝවිට ඒ පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමටත් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව වැඩි වශයෙන් යොදා ගැනීමට වෛද්‍යවරුන් තීරණය කරයි. ගර්භාෂ පටක තුනී වීම පිළිබඳ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය හරහා බොහෝ කරුණු අනාවරණය කරගත හැකි වේ.

පටක පරීක්ෂා කිරීම සඳහාත් womb wash වෙනුවට තුනී උපකරණයක් යෝනි මාර්ගය ඔස්සේ යවා විවිධ කරුණු අනාවරණය කර ගනී. නීති විරෝධී ලෙස ගබ්සාවන් සිදුකරන ස්ථානවල ඇතැම්විට ගබ්සාවත් සමඟින් Womb wash කරනවා විය හැකියි. මුදල් හම්බ කර ගැනීමේ චේතනාවෙන් මෙය සිදුවේ.

 

උපදෙස් :

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

මහාචාර්ය රුක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ