පියවර තැබිය යුතුම පියයුරු සායන

ඔක්තෝබර් 9, 2023

සැලළිහිණි සංදේශ රචකයා ලලනාවන්ගේ පියයුරු උපමා කළේ හංසයන්ටයි. ළගන්නා සුලු ළැම කාන්තාවන්ට ආඩම්බරයකි. එහෙත් පියයුරු සම්බන්ධයෙන් කාන්තාවන් යම් යම් අපහසුතාවන්ට රෝගී තත්ත්වයන්ට මුහුණ පාන්නේ අවාසනාවන්ත අන්දමිනි. ලැජ්ජාව නිසාම බොහෝදෙනා මේවා සඟවන්නට උත්සාහ ගනී. එහි ඊළඟ පියවර වන්නේ අසාධ්‍ය තත්ත්වයට පත් වීමයි. මේ අතුරෙන් පියයුරු පිළිකාව මුල් තැන්හි ලා සිටි සිටියි.

මේ ඔක්තෝබරය පියයුරු පිළිකා වැළැක්වීමේ මාසය යි. නැතහොත් පියයුරු පිළිකා වැළැක්වීම පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසයයි. පියයුරු ආශ්‍රිත ගැටලු සඟවාගෙන ලැජ්ජාවට පත්ව සිටිනු වෙනුවට ලංකාව පුරාම ප්‍රධාන පෙළේ රජයේ රෝහල් රැසකම පැවැත්වෙන පියයුරු සායන සඳහා සහභාගි වීමට අවස්ථාව තිබේ.

 

පියයුරු සායන හෙවත් breast clinic වෙත යොමු වන්නේ කොහොමද?

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම පියයුරු සායන ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්වල සිට දිස්ත්‍රික් රෝහල්, ප්‍රාදේශීය රෝහල්, මූලික රෝහල් දක්වාම ක්‍රියාත්මක වේ.

උදාහරණයක් ලෙස බස්නාහිර පළාත ගතහොත් මෙහි රෝහල් රැසක පියයුරු සායන පැවැත්වේ. මීටත් අමතරව පිළිකා හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන දිස්ත්‍රික් කිහිපයකම ක්‍රියාත්මක වේ.

පියයුරු සායනයේ ඉලක්කගත කණ්ඩායම් කවුරුන්ද?

පියයුරු සම්බන්ධයෙන් යම් සැක සහිත අවස්ථාවක් ඇත්නම් එවැන්නියකට පියයුරු සායනයක් වෙත යොමුවීමේ අවස්ථාව තිබේ. නිවෙසටම යන එන ඔබේ හිතැත්තිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියයි. ඇයව මුණ ගැසෙන්න. ඇයට නො වළහා ඔබේ ගැටලුව පවසා සිටින්න. මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනිය හෝ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ හෙද නිලධාරිනියන් හමුවන්න. එහිදී ඔබේ පියයුර පරික්ෂා කරගන්න. පියයුර සාමාන්‍ය තත්ත්වයේ එකක් නොවේ නම් ඔබව පියයුරු සායනයක් වෙත යොමු කරයි. යොමුකිරීමක් ඔස්සේ පැමිණීම පහසු වුවත් ඇතැම් රෝහල්වල සෘජුවම පියයුරු සායනය හා සම්බන්ධවීමේ අවස්ථාව ද තිබේ.

 

පියයුරු සායනයකදී වන්නේ මොනවාද?

පියයුරු සායනය යන්න අලුත් වචනයක් හෝ අලුත් කටයුත්තක් නොවේ. කාලයක පටන්ම රජයේ රෝහල්වල පියයුරු සායන ක්‍රියාත්මක වුවත් ඊට යොමු වීම සම්බන්ධයෙන් කාන්තාව තුළ ඇත්තේ අඩු දැනුම්වත් බවකි. ප්‍රධාන පෙළේ රජයේ රෝහල්වල ක්‍රියාත්මක වන පියයුරු සායන පෞද්ගලික රෝහල්වල පියයුරු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් හමු වනවාටත් වඩා ඉතා ඉක්මනින් ඒ ආශ්‍රිත ගැටලු ඇත්නම් ඊට අවශ්‍ය විසඳුම් සපයයි. එහෙත් බොහෝදෙනා රජයේ රෝහල්වල සායන කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබයි. කොළඹ ජාතික රෝහලේ අලුත්ම ගොඩනැගිල්ලේ 3වන මහලේ 17 වන කාමරයේ ක්‍රියාත්මක වන පියයුරු සායනය උදාහරණයකට ගතහොත් ඒ සඳහා යොමු කිරීමකින් තොරව සෘජුවම සම්බන්ධ වීමේ අවස්ථාව කාන්තාවන් සතු වේ. ඒ සඳහා බාහිර රෝගී අංශයට හෝ පැමිණිය යුතු නැත.

රෝගීන් වැඩිම ගණනක් සහභාගී වන කොළඹ ජාතික රෝහලේ ප්‍රධානම පියයුරු සායනය ක්‍රියාත්මක වන්නේ බ්‍රහස්පතින්දා දිනයේ දී ය. පෙරවරු 8 වන විට පියයුරු සායනය ඇරැඹෙන අතර ඒ වන විට පැමිණ ලියාපදිංචි වී සිටින සියලුම රෝගීන් එදිනට පරික්ෂා කෙරේ. මේ සායනය සඳහා අලුත්ම රෝගීන් 50ක් 60ක් සතිපතා සම්බන්ධ වේ. අලුතින්ම පැමිණෙන රෝගීන් පළමු හමුවේ දීම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ පරීක්ෂාවට ලක් කෙරේ. එහිදී ක්ෂණිකව ඊළඟ පියවරයන් කරා යායුතු රෝගීන් සහ සාමාන්‍ය රෝගීන් ලෙස වර්ගීකරණය කරයි. ක්ෂණිකව ඊළග පියවරයන් කරා යා යුතු රෝගීන් ලෙස අර්ථ ගන්වන්නේ පියයුරු පිළිකාවක් ඇති බවට හඳුනා ගන්නා අයයි. මෙසේ හඳුනා ගන්නා රෝගීන් පොරොත්තු ලේඛනවල සිටිය යුතු නැත.

පියයුරු සම්බන්ධ ගැටලු ගැටලුවක දී විශේෂයෙන්ම පියයුරු පිළිකාවක දී එය සොයා ගැනීම සඳහා පියවර 3 ක් (Triple Assesment) අනුගමනය කරයි. පළමුව වෛද්‍යවරයා පරීක්ෂා කරයි. දෙවනුව සායනිකව පරීක්ෂාකරයි.⁣ තෙවනුව ඒ ආශ්‍රිත පටක කොටස් (biopsy) පරීක්ෂාකොට ඉන් ඉදිරියට කළ යුත්තේ කුමක්දැයි නිර්ණයකට එළැඹේ.

පියයුරු සායනයේදී විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා අතින් පරීක්ෂාකොට පිළිකාවක් ඇතැයි හඳුනා ගතහොත් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාව, මැමෝග්‍රෑෆි පරීක්ෂාව, biopsy පරීක්ෂාව යන සියලුම දෑ එදිනම සිදු කරයි. දිනකට අලුත්ම රෝගීන් 50ක් 60ක් පැමිණියත් ඉහත කී පරීක්ෂණයන් අවශ්‍යවන්නේ හයදෙනකුට හත්දෙනකුට විය හැකියි.

බ්‍රහස්පතින්දා දිනයේ පියයුරු සායනයට පැමිණ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා අතින් පරීක්ෂාකොට පිළිකාවක් ඇතැයි සැක පහළ කිරීමෙන් පසු ඉහත කී පරීක්ෂණයන්ට යොමුකරයි. ඊළඟ සතියේ බදාදා දිනයේදී ඒ සඳහා වූ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් රැස් වේ. මෙහි පියයුරු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු, පිළිකා විශේෂඥ වෛද්‍යවරු,විකීරණවේදීන් සම්බන්ධ වේ. පියයුරු පිළිකා පිළිබඳ විශේෂඥ ⁣වෛද්‍ය සංගමය මෙය සජීවී සාකච්ඡාවක් ලෙස පවත්වයි.ඒ සඳහා රට පුරාම සිටින පියයුරු පිළිකා සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට සම්බන්ධ විය හැකි වේ. මෙහිදී පියයුරු පිළිකා සම්බන්ධ රෝගීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට පියයුරු පිළිකා සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරුන්ට අවස්ථාව ලැබේ.

එහිදී පළමුව ශල්‍යකර්මයක් සිදු කරනවාද නැතහොත් කීමෝ ප්‍රතිකාර ලබා දී දෙවනුව ශල්‍යකර්මය සිදු කරනවාද, කිසිවක් කළ නොහැකි තත්ත්වයේ පවතී ද, ශල්‍යකර්මයක් කරනවා නම් සම්පූර්ණයෙන්ම පියයුර ඉවත් කරන්නේ ද, කොටසක් ඉවත් කරන්නේ ද, සම්පූර්ණ පියයුර ඉවත් කරන්නේ නම් පියයුරක් සාදා සම්බන්ධ කරනවාද... යන කරුණු කාරණා කතිකා කරගැනේ. එම සතියේම සිකුරාදා හෝ ඊට පසු සතියේ අඟහරුවාදා වන විට ශල්‍යකර්මයක් කිරීමට සාකච්ඡා වූයේ නම් එය සිදු කෙරේ. මේ සියලු දේ සඳහා ගත වන්නේ සති දෙකක් හෝ තුනක කාලයක් පමණි. කොළඹ ජාතික රෝහලේ පියයුරු සායනය මෙලෙස ක්‍රියාත්මක වද්දී කාන්තාවන් දැනුම්වත් බවින් අඩු නිසා මෙවැනි අමිල අවස්ථාවන් මග හැර ගනියි.

පියයුරු සායනයන් වෙත යොමුවන්න. මුල් අවස්ථාවේදීම පියයුරු පිළිකා ඇත්නම් ඒවා හඳුනා ගන්න.

 

උපදෙස් :

පියයුරු පිළිකා සම්බන්ධ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් ද සිල්වා