වළකමු පියයුරු පිළිකා අනතුරු

ඔක්තෝබර් 9, 2023

 

වසරකට අපේ රටේ කාන්තාවන් 5000ක් අලුත් පියයුරු පිළිකා රෝගීන් ගොඩට එක්වන බව ඔබ දන්නවා ද?

තම රූපශ්‍රීයට අනගි බවක් ගෙන ආ පුන් පියයුරු යුගල රෝගී තත්ත්වයකට පත්වීම කෙසේ නම් දරා ගන්නද? මුළු ලෝකයේම කාන්තාවන් අතර වැඩිපුරම දක්නට ලැබෙන පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි.

 

ඒ නිසාම ගැහැනු පිරිමි භේදයකින් තොරව ඒ පිළිබඳ මනා දැනුම්වත් බවක් ලබා සිටීම අත්‍යවශ්‍ය වූවකි. පියයුරු පිළිකාවේදී වඩාත්ම වැදගත් වන්නේ කල්තියා හඳුනා ගැනීමයි.

අපේ රටේ දත්තවලට අනුව පියයුරු පිළිකා රෝගීන් ගොන්න අතරට වසරකට කාන්තාවන් 3000ක් 4000ක් අතර රෝගීන් පිරිසක් අලුත් රෝගීන් ලෙස එක්වේ. එය පසුගිය වසරේදී 5000ක් දක්වාම ඉහළ ගොස් තිබේ. ඒ අනුව අපේ රට පියයුරු පිළිකාව වර්ධනය වන පැත්තට ඇති බර වැඩිය.

තවමත් බොහොමයක් කාන්තාවන් පියයුරෙහි යම් වෙනසක් දැනුණත් මූලික අවධියේදී වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට දක්වන්නේ මැළිකමකි. මුල් අවස්ථාවේදී දක්වන මේ මැළිකම නිසාම පියයුරු පිළිකාව නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට වන කාන්තාවන් ගණන ද එන්න එන්නම වැඩිව තිබේ.

රෝග ලක්ෂණ

* මූලිකම ලක්ෂණය ලෙස බොහෝවිට දක්නට ලැ⁣බෙන්නේ පියයුරෙහි ගැටිත්තක් තිබීමයි. මීට අමතරව පියයුරෙහි ඇතිවන ඕනෑම වෙනසක්

* පියයුරෙහි සමේ ඇතිවන වෙනස්කමක්, එනම් සම ඝණ වීමක්, දොඩම් ලෙල්ලක ස්වභාවයක්, සම ගිලා බැසීමක්, සමේ පැහැයේ වෙනසක්.

* තනපුඩුවේ අලුතින් ඇතිවන වෙනසක්, තුවාලයක්, ශ්‍රාවයක් ගැලීම

* කලාතුරකින් පියයුරෙහි එක් තැනකින් දිගින් දිගටම හට ගන්නා වේදනාවක්

පියයුරෙහි අලුතින් ඇතිවන වෙනසක් ඇතොත් වහාම වෛද්‍යවරයකු හමුවට යෑම අවධාරණය කළ යුතු කරුණකි. එවිට පියයුරු පිළිකාවක රෝග ලක්ෂණයක් ද සාමාන්‍ය තත්ත්වයක් ද යන්න සැකහැර දැනගත හැකියි.

කලින් හඳුනා ගැනීම

පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීම සඳහා ලෝකයේ සෑම රටක්ම පාහේ අනුගමනය කරන ක්‍රමවේදයන් 3ක් පවතී. එනම්

* ස්වයං පියයුරු පරීක්ෂාව

* වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීම(Clinical Breast Examination)

* ස්ක්‍රීනිං මැමෝග්‍රෑෆි පරීක්ෂණයි.

ලංකාව වැනි රටකට වඩාත් සුදුසු වන්නේ ස්වයං පියයුරු පරීක්ෂාවයි. ඒ අනුව අවුරුදු 20ට වැඩි සියලුම කාන්තාවන් ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා යොමුවිය හැකි අය බව නිර්දේශ කෙරේ. මාසික ඔසප්වීම සිදුවන කාන්තාවන් ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා මසකට වරක් එකම දිනයක් වෙන්කරගත යුතු අතර එය ඔසප් වීම සිදුවී සතියකට පසු දිනයක් වීම වඩාත් සුදුසු වේවි. ඒ ඔසප් වෙද්දී ඇතැම් කාන්තාවන්ට කොහොමටත් පියයුරෙහි යම්යම් වෙනස්කම්, රිදීම් ඇතිවන නිසාය. ඒ කාලය ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා සුදුසු නොවේ.

ආර්තවහරණය සිදුවූ කාන්තාවන්ට මාසයේ ඕනෑම දවසක් ඒ සඳහා තෝරාගත හැකියි.

නාන කාමරයේ හෝ තමාට පුද්ගලික වූ තැනක කණ්ණාඩියක් ඉදිරිපස සිට පියයුර හොඳින් නිරීක්ෂණය කරන්න. දැන් ඉහළ සිට රවුමට තමාගේ ඇඟිලිවලින් පියයුර පිරිමදින්න. එවිට ගැටිත්තක්, ඝණ ගතියක් ඇත්නම් අතට දැනේවී. මෙහිදී පියයුර පිළිබඳ තමාට මනා අවබෝධයක් ලැබේවි. මේ Look & Feel අවස්ථාව යි. යම් වෙනසක් එ⁣න්නේ නම් මූලික අවධියේදීම එය හඳුනාගත හැකිවේ. දැන් ඔබට වෛද්‍යවරයකු හමුවී ඒ් පිළිබඳ ⁣කරුණු කාරණා තෝරා ගත හැකිවේ. වයස අවුරුදු 40ෙකට වැඩි කාන්තාවක් වසරකට වරක් හෝ පියයුරු වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීම වැදගත්. එසේ කිරීමට මැලිවන්නේ නම් අඩුම තරමේ ස්වයං පරීක්ෂාවේ දී යම් වෙනසක් දැනේ නම් වෛද්‍ය පරීක්ෂාවකට ලක්වීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා 'සුවනාරි' සේවාවට, පියයුරු සායනයකට සම්බන්ධ විය හැකියි.

වයස අවුරුදු ⁣40ට වැඩි කාන්තාවන් වසර 2කට වරක් මැමොග්‍රැෆි පරීක්ෂණයක් කරා යොමු වීම වෛද්‍ය නිර්දේශයයි. අතට හසු වීමටත් පෙර පියයුරෙහි ඇතිවන කුමන ම හෝ වෙනසක් මැමොග්‍රැෆි පරීක්ෂණයට හසුවේ. මේ කුඩා ප්‍රතිකර්මයකින් වුව එනම් ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පමණක් ඉතාම ඉක්මනින් සුව කළ හැකි අවස්ථාවකි. මැමොග්‍රැෆි පරීක්ෂණයේදී යම් සැක සහිත අවස්ථාවක් නිරීක්ෂණය වූයේ නම් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවක් ද සිදු කෙරේ.

පියයුරු පිළිකාව සම්බන්ධයෙන් ඇති මිත්‍යා මත

* සම්පූර්ණ පියයුර ම ඉවත් කරතැයි බියෙන් වෛද්‍ය පරීක්ෂාවකට ලක් නොවී සිටීම

වත්මනේ බොහෝවිට සිදුවන්නේ පියයුරෙන් කොටසක් ඉවත් කිරීමයි. සම්පූර්ණ පියයුරම ඉවත් කිරීමේ අවශ්‍යතාවක් ද නොමැත.අවශ්‍ය නම් පියයුර නැවත සකසා දීමටත් නවීන වෛද්‍ය විද්‍යාවට හැකිව තිබේ.

* පවුලේ ඉතිහාසයක් ඇත්නම් අනිවාර්යයෙන් ම පියයුරු පිළිකාවක් හට ගනීවී යැයි සිතීම.

මේ සඳහා යම් ඉඩකඩක් පැවතුණත් එය අනිවාර්යයෙන් සිදු වේ යැයි සිතිය නොහැකියි. නමුත් පවුලේ කිසිවකුට නොහුදුණු පමණින් තමාට පියයුරු පිළිකාවක් නොවැල⁣ඳෙතැයි සිතීම මිත්‍යාවකි. පියයුරු පිළිකාව වැලඳුණු අයගෙන් සියයට 70 ක්ම පවුල් ඉතිහාසයේ එවැන්නක් නොමැකි අයයි.

* පිරිමින් තමාට පියයුරු පිළිකාව නොවැල⁣ඳෙතැයි සිතුවත් සියයට 1 ක් පමණ පිරිමින්ට ද පියයුරු පිළිකාව වැලඳිය හැකියි.

* කාන්තාවක් වීම

*වයස අවුරුදු 40 ට වැඩිවීම වයසින් වැඩිවත්ම පියයුරු පිළිකාව වැලඳීමට ඇති ඉඩකඉඩ ද වැඩිවේ.

*ආර්තවහරණයෙන් පසු නිතරම හෝමෝන පෙති භාවිත කිරීම. Hormone Replacement Theropy එකක් ලෙස වෛද්‍යවරයා මේ පෙති නිර්දේශ කළත්, වෛද්‍ය නිර්⁣දේශයකින් තොරව දිගින් දිගටම ගැනීම සුදුසු නොවේ. මේ පෙති ගන්නා අය පියයුරෙහි වෙනස්කම් පිළිබඳ වඩාත් සැලකිල්ලෙන් සිටිය යුතුයි.

* සිගරට් බීම, මත්පැන් පානය

* බරින් වැඩි වීම

* ව්‍යායාම නොකිරීම

* මේදය සහ ප්‍රෝටීන වැඩිපුර අඩංගු ආහාර නිතරම ගැනීම. මෙවන් ආහාර රටාවක් ඕනෑම පිළිකාවක් සඳහා අත වනාවී. කෑමෙන් බීමෙන් ප්‍රවේශම් වීම පිළිකාවක් කරා යෑමට ඇති ඉඩකඩ අවම කරාවී. පියයුරු පිළිකාව සෑදීම අවම කරගත හැකි ක්‍රමවේදයන් අතර මවුකිරි දීම ප්‍රධාන වේ.

පිළිකාවේ විවිධ අවධීන්

පියයුරු පිළිිකාව අවධීන් හතරක් යටතේ දිගහැරේ. 1, 2, 3, 4 යන අවධීන්වලින් 3 හා 4 යන අවධීන් පිළිකාව පැතිරුණු අවධීන් වේ. ලංකාවේ වැඩිපුරම දක්නට ඇත්තේ 2 හා 3 යන අවධීන්වල සිටින කාන්තාවන් ය. 4 වන අවධියේ සිටින අයද සිටී. පළමු අවධියේ සිටින අය නම් ඇත්තේම නැති තරම් ය.

පියයුරු පිළිකාවක් තිබී ශල්‍යකර්මයකින් කොටසක් හෝ ඉවත් කළ අය⁣ට සහනයක් වීම⁣ට බ්‍රෙස්ට් කුෂන් එකට හැකිවී තිබේ. ශල්‍යකර්මයකින් පසු අත සහ පියයුර එකිනෙක ගැටීමෙන් වන අපහසුතා මඟ හැරීමට මෙය අනගි විකල්පයකි.නිදා ගැනීමේදී මෙවැනි රෝගීන්ට වන සියලු අපහසුතා මඟ හැරීමට ද මෙය මනා පිටුවහලකි. Zonta club වෙතින් මෙම බ්‍රෙස්ට් කුෂන් එක සැත්කම කළ රෝගීන්ට ලබා දෙන්නේ නොමිලයේය. සැත්කම කළ සියලුම රෝගීන්ට බ්‍රෙස්ට් කුෂන් එකක් නොමිලයේ ලබා දීම සම්බන්ධයෙන් zonta club වෙත ස්තූති කළ යුතුමයි. රෝගීන්ට කායිකව මෙන්ම මානසිකව ද එය පහසුවක් ගෙන දෙයි.

 

උපදෙස් : 
කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය 
කාංචනා විජේසිංහ