ඔබ කරන්නෙත් සිරුරට අහිතකර විලාසිතා ද?

මොහොතක් හිතන්න
ඔක්තෝබර් 23, 2023

 

විලාසිතා....විලාසිතා....මනබඳිනා විලාසිතා. කවුරු කොහොම කිවුවත්

විලාසිතා කරන්න අපිත් ආසයි.

"පිටින් පේන මනුස්සයා නෙවෙයි ඇතුළේ ඉන්න කෙනයි වටින්නේ" වගෙ කතන්දර කොච්චර කිවුවත් පිටින් ඉන්න කෙනාව ගණන් ගන්න තමයි අපි ජීවත් වෙන සමාජය පෙළඹෙන්නේ.

ඉතින් ලස්සනට ඉන්න හිතාගෙන කාන්තා ඔබ කරන විලාසිතා සමහරවිට සිරුරට අහිතකර විදිහට බලපානවා වෙන්න පුළුවන්. විලාසිතා කරන එක අද කාලේ අවශ්‍යතාවක්. හැබැයි ඒකෙන් බලපෑම් ඇති කරගන්න එකත් අවශ්‍ය ද?

මේ ලිපිය බලලම ඒ ගැන තීරණය කරන්නකෝ.

 

 

1. අඩි උස සපත්තු

ඉස්සර කාලේ මංගල උත්සවයකට වගෙ දාපු උස සපත්තු දැන් දැන් මඟතොටෙත් යුවතියන් දාගෙන යනවා දකින්න ලැබෙනවා. මේවායින් ශරීරයේ අසමතුලිත බවක් හටගෙන වළලුකර පෙරළෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් භාවිතය නිසා කොන්දෙ කැක්කුම් සහ බෙල්ලේ කැක්කුම්වලින් නොනැවතී ආතරයිටිස් වගේ රෝග දක්වා මේ අමාරුව පැතිරෙනවා. කොඳු ඇට පේළිය සම්පූර්ණ විකෘතියක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දිගු කාලයක් පවතින ආකාරයේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අඩු උස පාවහන් පලඳින එක නවත්වනවාට වඩා ඉදිරිපස නිරාවරණ වුණ සපත්තු පැලඳීම, දිගු වෙලාවක් එක දිගට නොදා සිටීම, පහසු අඩියක් තෝරාගැනීම වගේ දේවල් කරන්න පුළුවනි.

 

 

2. හිර ඩෙනිම

ලේසියට පහසුවට ඇඳපු ඩෙනිම ටිකක් හිර වෙලා. පැන්සල් කොටේ වගේ ආවම වුණේ ඩෙනිම අඳින්නත් මාර මහන්සියක් දරන්න වුණ එක. දැන් දැන් කකුලෙන් උඩට දාගන්නත් අමාරුයි. හැබැයි ඇන්දම හරි ලස්සනයි. ඇඟේ හැඩේ තිබ්බටත් වඩා හොඳට පේනවා. හැබැයි ඉතින් ඒකෙන් ලේ ගමනාගමනය අඩු වෙනවා. ඇඳලා ඇඳලා පුරුදු වුණාට පස්සේ අන්තිමේ ගානක්වත් නෑ ඇඳල ද නැද්ද කියලවත්. කකුල් නැතිවෙන්න හිරි වැටෙනවා.

 

 

3. වර්ණක ස්පර්ශ කාච

සාමාන්‍යයෙන් ස්පර්ශ කාචයක් එහෙමත් නැතිනම් කන්ටැක්ට් ලෙන්ස් ඇස තුළට කෙළින්ම ඇතුළත් කරනවා. කණ්ණාඩි දාන්න අකමැති නම් කාචයක් දාන එකයි ලේසි වැඩේ. දැන් විලාසිතාවක් වෙලා. පාට පාට අරුමෝසම් එක්ක ආවත් හරි වර්ණක ස්පර්ශ කාච භාවිතයේ දී ප්‍රවේසම් වෙන්න ඕනි. ස්පර්ශ වර්ගය අනුව කාච වෙනස් වෙනවා. මේවා මාරු කරන්න ඕනි. එහෙම නැත්නම් ඇසේ ආසාදන තත්ත්ව ඇති වෙලා ඇස නොපෙනී යන්නත් පුළුවන්. ඔක්සිජන් කෙළින්ම ඇහැත් එක්ක සම්බන්ධයක් නැති නිසා ආසාදන තත්ත්ව ඇති වෙන්න පුළුවන්.

 

 

4. කෙරටීන් සත්කාරය

කොණ්ඩේ පිළිවෙළක් කරගන්න හිතාන කෙරටීන් සත්කාරෙ ගන්නවා වගේ නෙවෙයි ඉතින් කරදර පටන් ගත්තම. මෙතැනදී භාවිත කරන CHO වායුව නිසා තමයි මේවා සිදුවන්නේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග, ආසාදන වගේම වැඩි කාලයක් මේක කරන්න ගත්තම පිළිකා තත්ත්වයක් වුණත් ඇතිවෙන්න පුළුවන්.

 

 

5. බිලීචිං අඩංගු ක්‍රීම් වර්ග

 

ලස්සන වෙන්න හිතාන ගාන ක්‍රීම් එක රසදිය බැරල් එකකින් නාවලා තියෙනවා නම් ලස්සන වෙන එක පැත්තක තියෙද්දී ඔබට හිතාගන්න බැරි විදිහට හමට හානි වෙලා තියේවි. රසදියවලින් කරන්නේ හමේ ස්වාභාවිකවම නිර්මාණය කෙරෙන මෙලනින් ප්‍රමාණය අඩු කරන එකයි. එතකොට ඉතින් බලාගෙන ඉඳිද්දී සුදු වෙනවා තමයි. හැබැයි වකුගඩු වගේම සමස්ත ස්නායු පද්ධතියට හානි වෙන්න පුළුවන්.

 

 

6. සිරුර විදීම

 

කරාබු දාන එක සම්බන්ධයෙන් කෙල්ලන්ට තිබ්බ තැන උදුරාගෙන දැන් කොයි කවුරුත් කන් විදින්න පුරුදු වෙලා. එතනින් නොනැවතී මුළු ශරීරය පුරාම විදගෙන එක එක සර්ව පිත්තල කෑලි එල්ලගන්න එක තමයි දැන් ට්‍රෙන්ඩ් එක. එක්තරා පරීක්ෂණයකට අනුව ශරීරයේ 20%ක් පමණ බැක්ටීරියා ආසාදනවලට හේතු වෙන්නේ මේ විදපු තැන්.

 

7. ලොකු බෑග්

 

හෑන්ඩ් බෑග් එකට එහා ගිය ලොකු ලොකු මාදිලියේ බෑග් දැන් ගන්න තියනවා. ඇත්තටම බඩු ගොඩක් දාගෙන යන්න අවශ්‍ය නම් ඒකට සරිලන බැක්පැක් එකක් වගේ ගන්න වෙනවා. සයිඩ් එකෙන් එල්ලන ලොකුම ලොකු බෑග් දාගෙන බෑ මේක කරන්න. කොන්දේ කැක්කුම්, අතපය කැක්කුම් අනිවාර්යයි.