නිතරම මිනිස්සු මියැදෙන මොකක්ද මේ ස්ට්‍රෝක්

නොවැම්බර් 13, 2023

ඔබ දන්නවාද අපේ රටේ ජනගහනය ඉක්මනට වයස්ගතවන මට්ටමට පැමිණ ඇතැයි කියා. දිනෙන් දින ආඝාත හෙවත් Stroke තත්ත්වය නිසා රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව වැඩි වී තිබේ.

ගෝලීය වශයෙන් බැලූ කල සෑම වසරකම අලුතින් හඳුනාගන්නා ආඝාත රෝගීන් ප්‍රමාණය මිලියන 12ක් පමණ වේ. ඒ අතරින් සියයට 53ක් ම කාන්තාවන්ය. සෑම වසරකම මිලියන 6.5 ක සංඛ්‍යාවක් ආඝාත තත්ත්වය නිසා මිය යයි. ඉන් සියයට 51ක්ම පිරිමින්ය. ලංකාවේ රජයේ රෝහල්වලට වසරකට ආඝාත රෝගීන් හැටදාහක් පමණ ප්‍රතිකාර පතා පැමිණේ. මෙය ලංකාවේ ආඝාත රෝගීන්ගේ සමස්තය නොවේ. රජයේ රෝහල්වල සිදුවන මරණ අතරින් පස්වන ස්ථානයේ සිටින්නේ ආඝාතය නිසා මියයන රෝගීන් ය.

අවුරුදු 25ට සෑම පුද්ගලයෙකුගෙන් හතර දෙනකුගෙන් එක් අයකුට ආඝාතය වැලඳීමට පුළුවනි.ශ්‍රී ලංකාවේ ජනගහනයත් සමඟින් බැලූ විට ලක්ෂ 2කට අධික ආඝාත රෝගීන් ප්‍රමාණයක් සිටියි.

ආඝාතයේ දී සිදුවන්නේ කුමක්ද?

මොළය ආශ්‍රිත රුධිරවාහිනීවල රුධිර කැටි ගැසීමක් නැත්නම් රුධිර ගැලීමක් ඇති වූ විට එම රෝග තත්ත්වය ආඝාතය යි.

අවදානම් සාධක

* අධි රුධිර පීඩනය

රුධිර පීඩනය වැඩි වී වසර කිහිපයක් තිබුණත් එහි රෝග ලක්ෂණ මතු වන්නේ පසුවයි. අධි රුධිර පීඩනය පාලනය කර නැති අයකු මේ සඳහා ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩියි.

* දියවැඩියාව

සීනි මට්ටම පාලනය නොකරන රෝගීන් අතර මෙම අවදානම වැඩිවේ. කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ විට ආඝාත තත්ත්වය කරා යෑමට ඇති ඉඩකඩ වැඩිවේ.

* එසේම අහිතකර පුරුදු වන දුම් පානය මත්පැන් භාවිතය ශාරීරික ක්‍රියාශීලි භාවය අඩුවීම සෞඛ්‍යයට අහිතකර ආහාර අධි බර හෙවත් ස්ථූලතාවය වායු දූෂණය සහ මානසික ආතතිය ආඝාත තත්ත්වය සඳහා සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල කරයි.

ආඝාත තත්ත්වය වර්ග දෙකක් යටතේ

* රුධිර කැටියක් අවහිර වීම නිසා ඇතිවන තත්ත්වය (සියයට 80ක් පමණ)

* රුධිරවාහිනියක් පුපුරා යෑම නිසා ලේ වහනය වීමෙන් ඇතිවන ආඝාත තත්ත්වය (සියයට 20ක් පමණ)

පිරිමින් අතර බහුලව දක්නට ඇත්තේ රුධිර වාහිනියක් පුපුරා යෑම නිසා ඇතිවන ආඝාත තත්ත්වයයි.

රුධිරවාහිනියක් ඇතිවීම සහ පුපුරා යෑම ක්ෂණිකව සිදු වුවත් ඒ සඳහා බලපෑම් සිදු වන්නේ ක්‍රමානුකූලවයි. රුධිරවාහිනීවල තෙල් තැන්පත්වීම ක්‍රමක්‍රමයෙන් සිදුවන්නකි.

ආඝාතය නිසා

* රැකියාව අහිමි වී යා හැකියි.

* සියයට 30ක් පමණ පූර්ණ කාලීන දුබලතාවට පත්විය හැකියි.

* සියයට 30ක් අර්ධකාලීන දුබලතාවට පත්විය හැකියි.

* තවත් සියයට 10ක් මිය යා හැකියි.

* සියයට 30ක පමණ පිරිසක් සම්පූර්ණ සුව වන තත්ත්වයේ සිටියි.

නිවාරණයේ වැදගත්කම දැන් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති. අවදානම් සාධක හඳුනා ගතහොත් ආඝාත තත්ත්වය නිවාරණය කිරීමට වෛද්‍යවරු කටයුතු කරනු ඇති.

ආඝාතය වැළැක්වීම

මෙය ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ සිදුවේ.

* ප්‍රාථමික නිවාරණය

* ද්වීතීක නිවාරණය

අවදානම් සාධක ඇති රෝගීන් හඳුනාගෙන ඔවුන්ට නිත්‍ය ප්‍රතිකාර ලබාදීම ඔස්සේ නිවාරණය සඳහා මඟ පෑදේ. මෙය ප්‍රාථමික නිවාරණයයි.

සුළු ආඝාත තත්ත්වයක් වැලඳුණු රෝගීයෙක් නැවත එවන් තත්ත්වයකට පත්වීමට ඇති අවධානම අඩු කිරීම සඳහා ප්‍රතිකාර ක්‍රමවේදයක් අනුගමනය කිරීම ද්විතීයික නිවාරණයයි.

** ආඝාත තත්ත්වයක් වැලඳුණු සෑම පුද්ගලයන් 4 දෙනකුගෙන් එක් අයකුට නැවත ආඝාත තත්ත්වයක් හට ගැනීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි වේ.

ප්‍රතිකාර

* හදිසි ප්‍රතිකාර - ප්‍රධාන රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් රෝහල්, පළාත් රෝහල්වල මෙම ප්‍රතිකාරය තිබේ.

* ආඝාතය ඇති වූ පුද්ගලයාට කරන පුනරුත්ථාපන ක්‍රමවේදයන්

FAS

F - Face - මුහුණේ එක් පසක ඇතිවන ඇදවීම

A - Arms - අත හෝ පයක ඇතිවන දුබලතාව

S - Speech - වචන උච්චාරණය කිරීමේ අපහසුව

T - Time වෙලාව නොයික්ම වීම.

මෙම මූලික රෝග ලක්ෂණ ඇති වී පැය හතර හමාරක් ගත වීමට පෙර හදිසි ප්‍රතිකාර ඒකකයකට ඇතුළු වූ විට රුධිර කැටි දිය කිරීම සඳහා වන එන්නත ලබාදේ.

ඔබ ඇතුළු විය යුත්තේ CT ස්කෑන් යන්ත්‍රයක් ඇති රෝහලකටයි. රෝගියාට එම තත්ත්වය ඇති වූයේ ඇයිදැයි යන කාරණය හඳුනාගත හැකි වන්නේ CT ස්කෑන් යන්ත්‍රය ආධාරයෙනි.

ආඝාත රෝග ලක්ෂණ ඇති වූ විට පවුලේ වෛද්‍යවරයා ළඟට නොගොස් ප්‍රධාන රෝහලකට පැමිණීම අත්‍යවශ්‍ය කාරණයකි.

සුව දිවි මධ්‍යස්ථාන

ලංකාව පුරා සුවදිවි මධ්‍යස්ථාන 800ක් පමණ ක්‍රියාත්මක වේ.

වයස අවුරුදු 35ට වැඩි සියලුම දෙනා ලංකාව පුරා නොමිලේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතනවල පැවැත්වෙන මෙම සුවදිවි මධ්‍යස්ථාන(Healthy Life Centers) වෙත පිය නඟන්න. රුධිර පීඩනය, රුධිරයේ ඇති සීනි ප්‍රමාණය, කොලෙස්ට්‍රෝල්ප්‍රමාණය, BMI අගය හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය ආදිය මැන ගැනීමට මෙන්ම වෛද්‍ය උපදෙස්, සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට වෛද්‍යවරුන් හෙද නිලධාරීන් මෙහි සිටී.

වයස, ස්ත්‍රී පුරුෂ භාවය, රුධිර පීඩන තත්ත්වය, රුධිරයේ සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම, BMI අගය අනුව ඉදිරි වසර දහය ඇතුළත ආඝාත තත්ත්වයක් ඇතිවේද යන්න පිළිබඳ නිගමනයකට එළැඹීමට මේ සුවදිවි මධ්‍යස්ථානවලට පුළුවනි. ඒ සඳහා ඔවුන් රෝගීයාගෙන් රෝගීයාට රෝස සහ නිල් පැහැති පෞද්ගලික සෞඛ්‍යමය පොතක් පවත්වාගෙන යයි. අවදානම කුමක්දැයි සොයා ගැනීමට, බෝ නොවන රෝග වලට ඔබ ගොදුරු ව ඇත්දැයි කල් ඇතිව හඳුනා ගන්න. නිරතුරුවම නිවැරැදි ජීවන රටාවකට හුරුවන්න.

 

 

උපදෙස් :

ශ්‍රීලංකා ආඝාත සංගමයේ සභාපති

ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

හර්ෂ ගුණසේකර සහ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන

අධ්‍යක්ෂ කාර්යාලයේ විශේෂඥ වෛද්‍ය

ෂෙරින් බාලසිංහ