HIV වළක්වමු ඒඩ්ස් තුරන් කරමු

දෙසැම්බර් 18, 2023

 HIV සහ ඒඩ්ස් පිළිබඳ ඔබ දැනුම්වත්ව සිටිය යුතුයි. මේ HIV වැළැක්වීමේ මාසයයි. මේ ප්‍රශ්න උත්තර ඒ සඳහා අත්වැලක් වනු නොඅනුමානයි.

 

HIV ආසාදනයවන ප්‍රධාන ආකාර මොනවාද?

* ආසාදිතයකු සමග පවත්වන කවර ආකාරයක හෝ අනාරක්ෂිත ලිංගික ඇසුරින්

* ආසාදිත රුධිරය සිරුරේ රුධිර ප්‍රවාහයට එක්වීමෙන්

* HIV ආසාදිත රුධිරය රුධිර පාරවිලයනය මඟින්

* විෂබීජාණුහරණය නොකළ එන්නත් කටු මගින් සහ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයේදී මත්ද්‍රව්‍ය විදගැනීම සඳහා එකම එන්නත් කටුව බොහෝ දෙනා භාවිත කිරීම මගින්

* දතක් ගැලවීම වැනි දේකට නිසි ලෙස විෂබීජාණුහරණය නොකළ උපකරණ පාවිච්චි කිරීම වැනි අවස්ථා මඟින් ආසාදනය වීමේ අවදානමක් පවතී.

* ආසාදිත වූ මවකගෙන් දරුවාට

ගර්භිණී අවස්ථාවේදී හෝ ප්‍රසූති අවස්ථාවේදී හෝ මවු කිරි දීමේදී දරුවා ආසාදනයට ලක්විය හැකියි. එහි ප්‍රවණතාව (එනම් ආසාදනයට ලක් වීමේ හැකියාව) සියයට 30ත්50 ත්අතර වේ.

** සාමාන්‍ය ජීවිතයේ අප මුහුණ දෙන අවස්ථා අතරින් HIV ආසාදනය වීමේ අවදානමක් නොමැති අවස්ථා මොනවාද?

* සිප වැලඳ ගැනීම

* අතට අතදීම

* ස්පර්ශය

* කැස්ස හා කිවිසුම්

* කෙළ ගැසීම

* ආහාරපාන

* දුරකතනය

* නානකාමර, පිහිනුම් තටාක භාවිතය, වැසිකිළි භාවිතය

* දහඩිය

* පිඟන්, දීසි කෝප්ප, වීදුරු භාණ්ඩ භාවිතය

* මදුරුවන් වැනි කෘමීන් දෂ්ට කිරීම

මඟින් තවත් කෙනකුට HIV ආසාදනය නොවේ.

** HIV හා ඒඩ්ස් ආසාදනය වීම වැළැක්වීමට ප්‍රතිශක්ති එන්නත් තිබේද?

නැත

** HIV ආසාදිතයකු හඳුනාගත් වහාම එම පුද්ගලයා සමාජයෙන් වෙන් නොකළ යුත්තේ මන්ද?

HIV ආසාදිත පුද්ගලයාට මිනිසකු වශයෙන් ලද හැකි අයිතිවාසිකම් ලබා ගැනීමට අයිතියක් ඇත. ඒ නිසා ඔහු/ඇය කොන් කිරීම නීතියෙන් කළ නොහැකි වූවක් මෙන් ම, රෝගී පුද්ගලයකු වෙත සමාජය විසින් දැක්විය යුත්තේ පිළිකුලක් නොව කරුණාවකි. මෙය HIV ආසාදිත කෙනකු සඳහා වුවද සාධාරණය.

කොන් කිරීම නිසා රෝග තත්ත්වය වසන් කිරීමට ඔවුන් පෙලඹීම රෝගය අන් අයට බෝ වීමේ හැකියාව වැඩි කරයි. අනෙක් අතට ලිංගික ආශ්‍රයකින් තොරව ඔහු/ ඇය ඇසුරු කිරීමෙන් ආසාදනය HIV නොවේ.

** ආසාදිත පුද්ගලයකුගේ රුධිර වහනය වන තුවාලයක්, ආසාදිත නොවන පුද්ගලයකුගේ තුවාලයක් සමඟ ගැටීමෙන් එම පුද්ගලයා ආසාදිතයකු බවට පත්විය හැකිද?

හැකියි. එහෙයින් තවත් අයකුගේ රුධිරය තැවරෙන ආකාරයේ සෑම අවස්ථාවකදීම අත් ආවරණ පැලඳ සිටීම යෝග්‍යයි.

යම් කෙනෙකුට HIV ආසාදනය වීමෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

වයිරසය සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ජීවත් වන්නේ මනුෂ්‍ය රුධිරයේ, ශුක්‍ර තරලවල සහ යෝනි ශ්‍රාවයේ යි. එම නිසා එම තරල හුවමාරු වීමෙන් කෙනකු ආසාදිත තත්ත්වයට පත්විය හැකියි. එසේ හුවමාරු වීමෙන් වැළකීමට නම්,

* අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලින් වැළකිය යුතුයි.

* ලිංගික හැසිරීම් ආසාදිතයකු නොවන විශ්වාසවන්ත එක් සහකරුවකුට පමණක් සීමා කළ යුතුයි.

* නොහඳුනන අය හා වාණිජ ලෙස ලිංගික සේවා සැපයීමේ යෙදෙන අය සමඟ ලිංගිකව හැසිරීම්වලින් වැළකිය යුතුයි.

* සෑම ආකාරයකම අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලදී කොණ්ඩමයක් නිවැරදිව පාවිච්චි කළ යුතුයි.

* ලේ පරීක්ෂා කරන අවස්ථාවක හා එන්නත් ලබාගන්නා විට නිසි ලෙස විසබීජාණුහරණය කරන ලද උපකරණ හෝ එක් වරක් පාවිච්චි කර ඉවත දැමිය හැකි උපකරණ භාවිත කළ යුතුයි. මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම සඳහා එකම එන්නත් කටුවක් කීප දෙනෙකු හවුලේ පාවිච්චි කිරීම නොකළ යුතුයි.

* රුධිර පාරවිලනයේදී HIV පරීක්ෂණය සිදු කරන ලද රුධිරය පමණක් ලබාදීම කළ යුතුයි.

කෙනෙකුට HIV ආසාදිත යැයි දැනගන්නේ කෙසේද?

HIV වයිරසය ආසාදනය වීමේ අවදානම් සහිත අවස්ථාවකට මුහුණ දුන් කෙනකු ඊට මාස මාස තුනකට පසු රුධිර පරීක්ෂණයක් කිරීම මඟින් තමන් ආසාදිත තත්ත්වයකට පත්ව ඇත්දැයි දැනගත හැකියි.

මේ සඳහා රජයේ රෝහල්වල අනුබද්ධිත සියලුම ලිංගාශ්‍රිත රෝග සායනවලින් ඔබට නොමිලේ රහසේ භාවය ආරක්ෂාවන ආකාරයට මෙ⁣ම පරීක්ෂණය සිදු කළ හැකියි.

* දුටු පමණින් කෙනකු HIV ආසාදිතයකු යැයි අපට කිව හැකිද?

එසේ කිව නොහැකියි. HIV ආසාදනයට ලක්වූ මුල් අවස්ථාවේදී සුළු පිරිසකට රෝග ලක්ෂණ පහළ වේ. නමුත් තවත් සමහරු ආසාදිත තත්ත්වයට පත්ව වසර 15ක් හෝ ඊටත් වැඩි කාලයක් පමණ ගතවන තෙක් රෝග ලක්ෂණ රහිතව ජීවත් වෙති. ආසාදිතයින් බොහෝ දෙනෙකුගෙන් එවැනි රෝග ලක්ෂණ දැක ගත නොහැකි නිසා ඔවුන් දුටු පමණින් හෝ ඇසුරු කළ පමණින් ඔවුන් ආසාදිතයින් යැයි අපට කිව නොහැකියි.

HIV ආසාදනය වන සෑම විටකම මාරාන්තික තත්ත්වයක් ඇති කරයි ද?

නැත. HIV යනු ආසාදිත තත්ත්වයකි. ඊට ප්‍රතිකාර කළ හැකියි. ආසාදිත අයට එවැනි ප්‍රතිකාර කිරීමෙන් වඩාත් ඵලදායි ලෙස සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කලක් ජීවත්වීමට හැකියාව ලැබේ. එහෙයින් ආසාදනයක් කෙනෙකුට ඇතැයි සැකයක් ඇති විට රුධිර පරීක්ෂණයකින් එය තහවුරු කර ගැනීමත් ඉතා වැදගත් ය.

** HIV ආසාදිතයෙකු ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයක් නොලදහොත් ඒඩ්ස් තත්ත්වයට පත්වීමට කොපමණ කලක් ගතවේද? සාමාන්‍යයෙන් අවුරුදු 8ත්10ත් අතර කාලයක් ගතවේ. මෙම කාලය විවිධ හේතු මත වෙනස් විය හැකියි. රුධිර පාරවිලයනය නිසා ආසාදනයට පත්වන කෙනකු ඒඩ්ස් තත්ත්වයට පත්වීමට ගතවන කාලය අඩුය. එසේ වයස්ගත වූ කෙනකු HIV ආසාදිතයකු වූ විටද කෙනෙකු ආසාදිතයකු වූ විටද ඉක්මනින් ඒඩ්ස් පත්වේ. කුඩා දරුවන්ගේද ආසාදනයේ සිට ඒඩ්ස් තත්ත්වයට පත්වීමේ කාලය අඩුය.

** HIV ආසාදිතයකු හා ඒඩ්ස් රෝගියකු අතර වෙනස කුමක්ද?

HIV ආසාදිතයකු යනු HIV වයිරසය ශරීරගත වූ පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයකු බාහිර වශයෙන් හඳුනා ගැනීමට නොහැකියි. ඒ සඳහා රුධිර පරීක්ෂාවක් කර ගත යුතුය. එවැනි ආසාදිතයකුට ඉක්මනින්ම ප්‍රතිකාර ලබාදීමෙන් එය පාලනය කරගත හැකියි. එනම් ඒඩ්ස් තත්ත්වයට පත්වීම, ප්‍රමාද කිරීම හෝ වළක්වා ගැනීමයි.

ඒඩ්ස් තත්ත්වයට පත්වීම යනු HIV වයිරසයේ බලපෑම මත ප්‍රතිශක්ති පද්ධතිය බොහෝ දුරට විනාශ වී යෑමයි. එවැනි පුද්ගලයකුගේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දිගු කලක් (මාසයකට වඩා) පවතින උණ සහ පාචනය, සිරුරේ බර සීග්‍රයෙන් අඩුවීම ආදිය දැක්විය හැකියි. ඊට අමතරව අධික ලෙස දහඩිය දැමීම, විවිධ චර්ම රෝග, හතිය, කැස්ස, ඇඟපත වේදනාව වේ. HIV ආසාදිතයකු නිසි ප්‍රතිකාර සඳහා කලට වලාවට යොමු වුවහොත් සාමාන්‍ය පරිදි තම ජීවිත කාලය ගත කිරීමට හැකියාව ලැබේ. එහෙක් ඒඩ්ස් තත්ත්වයට පත්වූ පසුව කෙනකුගේ ජීවිත කාලය වසරකට දෙකකට පමණ සීමා වේ.

 

විශේෂ ස්තූතිය:

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට