අලුත් අවුරුද්දේ ඇඟ සිසිල් කරන විස්මිත ප්‍රතිකාර

ජනවාරි 8, 2024

 

උපදෙස් :

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය

එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය

 

දාහයට වඩා සිසිල මොනතරම් සුවදායිද? දාහයෙන් දැවෙන සිතක් වෙනුවට සිසිලසෙන් නැහැවෙන සිතක් ළඟා කරගන්නට ගත සුවපත් කර ගන්නේ කොහොමද ? හා හා පුරා කියමින් තරුණි දීඝායු ඔබට සමීප කරවන්නට සිතුණේ සිරුරේ දාහය, දැවිල්ල, උෂ්ණය පිළිබඳ කතාබහකට ඉඩහසර ලබා දෙමිනි.

කෙනකුට හිතේවි අයියෝ ඕකත් ලෙඩක්ද? ඕක ගනන් ගන්න ඕන දෙයක්ද? .... ආදී වශයෙන්. එහෙත් සිරුරේ දාහය දැවිල්ල ඇති කෙනා හැර අන් අය මේ තත්ත්වය නිසා වන විඳවීම පිළිබඳ එතරම් නොතකයි. ආයුර්වේදයට අනුව මෙය සුව කළ හැකි තත්ත්වයකි. වළක්වාලිය හැකි තත්ත්වයකි.

සිරුරේ දැවිල්ල රෝගයක්ම නොවුණත් රෝග කිහිපයකටම බලපාන රෝග ලක්ෂණයක් විය හැකියි.

 

ඖෂධ

පිත සමනය කරන ප්‍රධානම ඖෂධය කොත්තමල්ලි ය. මීට අමතරව සැවැන්දරා, ඉරමුසු, රසකිඳ, නෙල්ලි සිරුරේ දාහය නිවන ඖෂධ ලෙස ක්‍රියා කරයි.

 

ආහාර පාන හා විහරණ රටා

* රඹුටන්, දූරියන්, මැංගුස් වැනි උෂ්ණාධික පලතුරු වැඩි ප්‍රමාණයක් ගැනීම සුදුසු නොවේ.

* තද ඇඹුල් රස දේවල් තවත් කෙනකුට අහිතකර වේ. මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

* මුං ඇට සිසිල ගෙන දෙන්නකි. එය තම්බා ආහාරයට ගැනීම, කිරිබත් ලෙස, කැඳ ලෙස සකස් කළ හැකියි.

* සිසිල් ජලය පානය හා සිසිල් ජලය ස්නානය පිත්ත රෝගීන්ට සුදුසු වේ.

* උෂ්ණාධික දේවල් හැරුණු කොට අනෙක් ඕනෑම පලතුරුවලින් සාදා ගන්නා පලතුරු යුෂ ගුණදායකයි.

* ජලය බහුල පැණි කොමඩු, කැකිරි, පිපිඤ්ඤා කෑමට සුදුසුයි.

* මොවුන් තද අව්වේ යෑම සුදුසු නැත. එසේ ගමන් බිමන් යන්නේ නම් ඊට කුඩ, තොප්පි, සන්ස් ක්‍රීම් භාවිතය වැනි විකල්ප ක්‍රම භාවිත කළ යුතුවේ.

ඔබ ඉන්නේ උෂ්ණාධික පෙදෙසකද? එහෙමත් නැත්නම් සීතල පෙදෙසක ද?

මේ සඳහා හේතු කිහිපයක් ම බලපායි. ඉතාම සරල හේතුවක් නම් තමා ජීවත්වන්නේ උෂ්ණාධික පෙදෙසක ද එසේත් නැත්නම් සීතල පෙදෙසක ද යන්නයි. නුවරඑළිය, මහනුවර වැනි පෙදෙසක උපන් දා පටන් සිටි අයකුට හම්බන්තොට වැනි පෙ⁣දෙසක ඉන්නට සිදු වුවහොත් ඒ කෙනාට ඇතිවන දැවිල්ල දාහය දරා ගත නොහැකි මට්ටමේ එකක් වීමට පුළුවනි. එවැනි ප්‍රදේශවලම ජීවත්වන කෙනකුට එය එතරම් ගනන් ගත යුතු සිරුරට කිසිසේත්ම නොදැනෙන එකක් විය හැකියි.

ආර්තවයේ ගැටලු ඇත්ද?

යුවතියන්ට ඇතිවන මෙම දාහය ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් නමැති ස්ත්‍රී ලක්ෂණ විදහාපාන හෝර්⁣මෝන අසමතුලිතතාවක් කරා මඟ පාදයි. ඇඟ උණු කරවා යෑම මෙන්ම ආර්තවය අක්‍රමවත් වේ. රුධිරය වැඩියෙන් පිටවේ. ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇතිවන මෙවැනි තත්ත්වයන් සාමාන්‍ය පිළිසිඳ ගැනීමක් මඟ හරවාලයි.

ආර්තවහරණයේදී කෙනකුට දැවිල්ලක් ඇති කරවන මට්ටමටම සිරුරේ දාහය ඇති කරයි. නින්දට පවා බාධා පමුණුවාලයි.

දාහය අධික වූ විට ස්නායු දුර්වල වේ. දියවැඩියාව හෙවත් මධුමේහය තත්ත්වයේ ප්‍රධානම ලක්ෂණයක් වන්නේ කුඩා ස්නායු විනාශ වීමයි. මෙහිදී යටි පතුල්වල ඉවසිය නොහැකි දැවිල්ලක් ඇතිවේ.

කෑම බීමවලට අසාත්මිකතාවක් ඇත්ද?

මෙය අපට දැනෙන සංවේදනයකි. ඇතැමෙකුට මේ තත්ත්වය දැනෙනුයේ කෑම වර්ගවලිනි. ඒ අසාත්මිකතාවක් ලෙසිනි. සාමාන්‍ය ව්‍යවහාරයේ මේවා ඌෂ්ණ කෑම ලෙස හඳුන්වයි. බල මාළු, කෙලවල්ලෝ වැනි සැර මාළු වර්ග, තක්කාලි, අන්නාසි වැනි එළවළු,පලතුරු වර්ග, අච්චාරු , අබ වැනි උෂ්ණ ගුණයෙන් යුතු ආහාර ආයුර්වේදයේ දැක්වෙන්නේ විදාහි ආහාර ලෙසයි.

දාහය ඇත්තේ පිත්ත ප්‍රකෘතිය ඇති අයටද?

සිරුරේ දාහය ඇති කරන්නේ පිත්ත ප්‍රකෘතිය ඇති අයටයි. ඔවුන් බොහෝ දුරට කියා සිටිනුයේ ඇඟ රස්නෙයි කියාය. මෙවැන්නන්ට ආයුර්වේදයේ ලබා දෙන්නේ පිත්ත සමන ඖෂධයි, ඔවුන් ගත යුත්තේ පිත සමනය කරන ආහාර හා විහරණ රටාවකි.

උදාහරණයක් ලෙස සිරුර දැවිල්ල වන්නේ දියවැඩියාව නිසා නම් දියවැඩියාව සඳහා වන ප්‍රතිකාර ලබා දීමෙන් ඉන් ඇතිවන අතුරු ආබාධ සියල්ල ද දුරුවී යයි. පිත සමනය වෙයි.