වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මානසික ගැටලු
කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවයන් හමුවේ බොහෝවිට කිසිදු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වේ. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.
ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.
අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
සැමියා සමඟ කතා බහ අවසන් වන්නේ රණ්ඩුවකින්
ප්‍රශ්නය
31 හැවිරිදි මා දෙදරු මවක්. සැමියා වැඩි කතාබහක් ඇති අයකු නොවේ. කතා කළත් පිළිතුරු ලබා දෙන්නේ නොරිස්සුමෙන්. ඔහුගේ ඒ හැසිරීමෙන් පෙනෙන්නේ ඔහු මා වදයක් ලෙස සලකන බවයි. මේ ගැටලුව නිසා පවුලේ ගත යුතු ඇතැම් තීරණ පිළිබඳ ඔහු සමඟ සාකච්ඡා කොට තීරණයකට එළැඹීමට අපහසුයි. තරහාකරුවන් ලෙස මෙසේ නිවෙසේ විසීම මා හට අපහසුවක් ගෙන දෙන්නකි.
කතා බහ කරන විට ඔහුගේ නොරිස්සුම් සහගත පිළිතුරු නිසා ඒ කතා බහ අවසන් වන්නේ රණ්ඩුවකිනි. ඔහුගේ මේ හැසිරීමට මා කළ යුත්තේ කුමක් ද?
බහින්බස්වීම් දුර දිග යන්නේ ඇයි?
මහනුවර - අනෝජා
පිළිතුර
බොහෝ බහින්බස් වීම් දුර දිග යන්නේ අකාරුණික බව නිසයි. දෙදෙනකු අතර ඇතිවන වාදයක් සාර්ථකව නිම කළ හැක්කේ දෙදෙනාම තර්කානුකූලව කරුණු දිග හැර දැක්වූ විටයි. තමාට අදාළ කරුණු පිළිබඳ පැවසීමෙන් බොහෝ බහින්බස් වීම් ඉක්මනින්ම කෙළවරකර ගත හැකියි. නමුත් බොහෝ වාදයන් දිනන්නට උත්සාහ කරන්නේ අනෙකාව අපහාසයට ලක් කරමින් හෝ තර්ජනාත්මකව බිය ගැන්වීමෙනුයි. ඉතින් බහින්බස් වීම් අසුන්දර ලෙස දුර දිග යාම අහන්නත් දෙයක් ද?
සිතේ ඇති දේ කෙළින් නොපවසා වෙනත් මාතෘකා ඔස්සේ තරහව පිටකිරීම බොහෝ ගැටුම්වලට හේතුවයි. සෑමවිටම ඔබ මෘදු වචන කතා කරන්න. ඔහුගේ කෝපයට හේතුව ආදරයෙන් විමසන්න. හදිසියේ හෝ ඔබ දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිවුවහොත් මඳ වෙලාවක් ගතවන විට නැවත හරි සිහියට පැමිණෙන්න. ඔබ මෙතරම් දබර කරන්නේ දබර කළ යුතු කාරණාවකට දැයි ඔබෙන්ම අසන්න. සැමියා වැඩි කතා බහක් නැති අයකු නම්, ඔහු වඩා ප්‍රිය කරන මාතෘකාවක් ගැන ඔහුත් සමඟ කතා කරන්න. එවිට ඔහු වඩා උනන්දුවෙන් ඒ පිළිබඳ ඔබත් සමඟ කතා කරාවි. එවැනි පුංචි පුංචි දේවල්වලින් සැමියාගේ අවධානය, ආදරය දිනා ගන්න පුළුවන් බව ඔබට වැටහේවි.
-------------------------------
විභාග ළං වෙද්දී වෙව්ලලා උණ ගන්නවා
ප්‍රශ්නය
මා පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න 28 හැවිරිදි තරුණියකි. අධ්‍යාපනය ලබන අතර නෑදෑ ගෙදරක නතර වී පෞද්ගලික ආයතනයක තාවකාලිකව රැකියාවක ද නිරත වෙමි. කුඩා වියේ සිටම මා පොඩි දේටත් හරිම ඉක්මනින් බය වෙනවා. මට යහළුවොත් ගොඩක් නැහැ. විශ්වවිද්‍යාලයේත්, මම වැඩ කරන ආයතනයේත් යහළුවෝ කවුරුත් නැහැ. පුංචි කාලේ නම් යාළුවෝ හිටියා. මා සාමාන්‍ය පෙනුම තියෙන රුවැත්තියක්. ඒත් මේ වෙනකල් කිසිම පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ගොඩනඟාගෙන නැහැ. යාළුවෝ ආශ්‍රය කරන්න බයයි. ඒ නිසා කවුරු එක්කවත් බලෙන් කතා කරන්න යන්නේ නැහැ. පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා. ඒත් හැමදාම මට මෙහෙම ඉන්න බැහැ කියලා දන්නවා. මාව බන්දලා දෙන්න මේ දවස්වල ගෙදර අය කෙනෙක් හොයනවා. ඒත් කසාද බඳින්නත් බයයි. ලබන මාසයේ මට විභාගයකට මුහුණ දෙන්නත් තියෙනවා. විභාගයට මුහුණ දෙන්න තියෙන බය නිසා පාඩම් වැඩ මුකුත්ම කරන්න හිතෙන්නේ නැහැ. පාසල් යද්දීත් විභාග තියෙන දවස්වලට මට අනිවාර්යෙන්ම මොකක් හරි අසනීපයක් හැදෙනවා. සමහර දවස්වලට විභාගයට කලින් දවසේ වෙව්ලලා උණක් හැදෙනවා. මට මේ දේවල් පාලනය කරගන්න අමාරුයි. මගේ තනියට කවුරුත් නැහැ. මේවට තනියම මුහුණ දෙන්නත් බැහැ.
මේ නිසා මම ලොකු පීඩනයක ඉන්නේ. මේ තත්ත්වය වළක්වා ගන්න මා කුමක් කළ යුතුද?
චතුරිකා - දෙබරවැව
පිළිතුර
තමන් පිළිබඳ ධනාත්මක චිත්තනයක සිටිය යුතුයි. ඍණාත්මක ආකල්ප බැහැරකර මනස ධනාත්මක ආකල්පවලින් පුරවා ගැනීමට ඔබට විධිමත් සහායක් අවශ්‍ය වෙනවා. ඔබ යොමුකර ඇති ප්‍රශ්නයේ සඳහන් ආකාරයට ඔබට කාංසාව වැනි තත්ත්වයක් ඇත් දැයි පරීක්ෂාකර ගැනීමට මනෝවෛද්‍යවරයකු හමුවීම සුදුසුයි. ඔබගේ හැකියාවන් පිළිබඳ මෙහි කිසිදු සඳහනක් නොමැති බැවින් ඔබේ හැකියාවලින් ඉදිරියට යා හැකි ආකාරය පිළිබඳ උපදෙසක් ලබා දීමට නොහැකියි. සංගීතයට කැමැති අයකුට තමන් කැමැති වාදන, ගායන ශ්‍රවණයට, ගීත ගායනයට, වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමට පුළුවනි. එලෙසින් තමන්ට ඇති හැකියා හා විශේෂතා හඳුනාගෙන ඒවා දියුණුකර ගැනීමට උත්සාහ දැරීමෙන් කාංසාව වැනි තත්ත්වය පහසුවෙන් මඟහරවා ගැනීමට පුළුවන්. ඒ වගේම මනෝ උපදේශකවරයකු මුණගැසී තමන් පිළිබඳ හිතන විදිහ එනම් ස්වයං තක්සේරුව වැඩිකර ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කිරීම සුදුසුයි.
--------------------------
ගමනක් යන්න හදන විට දහඩියෙන් නෑවෙනවා
ප්‍රශ්නය
මම 21 හැවිරිදි තරුණියක්මි. ගමනක් යෑමට පිටත් වන විට සහ කෙනකු ඉදිරියේ කතා කිරීමේදී මගේ අත්, කකුල් සහ කිහිලි ආදියට දහඩිය දමයි. කිහිලිවලට අධික ලෙස දහඩිය දමන නිසා ඇඳුම් තෝරා ගැනීම පවා මහත් වදයක් වී ඇත.
එමෙන්ම මා වැඩක් කරන විට එය ඉක්මනින් නිමාකර ගත නොහැකි වෙතැයි බියක් ඇති වේ. මා වැඩි කැමැත්තක් දක්වන්නේ තනිවම කාලය ගත කිරීමටයි. මා කෙනකු සමඟ කතා කළ පසු ඔහු හෝ ඇය මා ගැන කෙසේ සිතුවා ද දන්නේ නැහැ කියා හිතේ චකිතයක් ඇති වේ.
මා කෙදිනක හෝ විවාහ වූ විට ජීවිතයේ වගකීම් දරා ගැනීමට නොහැකි වෙතැයි බියක් ද හිතේ පවතී. එම නිසා මා විවාහ වීමට ද අකැමැතිය. මට ඇත්තේ මානසික රෝගයක් කියා විටෙක සිතෙයි.
රඹුක්කන - රේඛා
පිළිතුර
සඳහන්කර ඇති කරුණුවලින් පැහැදිලි වන්නේ ඔබ සමාජ භීතිකාවකින් පෙළෙන බවය.
ඔබ පුද්ගලයන් හමුවීම, සමාජය ඉදිරියට යෑම ආදියට පසුබට වන්නේ ඒ නිසාය.
මෙවැනි සමාජ භීතිකාවක් ඇති වන්නේ සමාජ කුසලතා අඩු නිසාය. එම නිසා ඒ අය වැඩි වැඩියෙන් එම කුසලතා වර්ධනය කරගත යුතුය.
තමා තමන්ට නීති රීති පනවා නොගෙන සිත චංචල වුවද තමන් අපහසුතාවට පත්වන දේ වැඩි වැඩියෙන් කළ යුතුයි.
එසේ වැඩි වැඩියෙන් සමාජය ඉදිරියට යන විට සමාජයට බිය ස්වභාවය හෙවත් සමාජ භීතිකාව අඩුවනු ඇත.
වැඩියෙන් දහඩිය දමන්නේ ද එම තැති ගැන්ම වැඩි නිසාය.
කාමරයකට වී තනිවම සිටින විට සමාජ භීතිකාව වැඩිවෙනවා මිස අඩු වන්නේ නැත.
මේ සමඟම ආතතිය ද ඇති වේ. ජීවිතය එපාවන ස්වභාවයක් පවතින්නේ ඒ නිසාය. තමන් විසින්ම හදාගත් රාමුවක හිර නොවී එළියට පහළියට යන්න. හැම දෙනාම ඇසුරු කරන්න. මේ තත්ත්වය එලෙස සමනය කරගත නොහැකි නම් මනෝවෛද්‍ය සායනයකට යන්න. උපදේශනයක් ලබාගන්න.
උපදෙස්
විශේෂඥ මනෝ වෛද්‍ය
රූමි රූබන්