දියණියට අසාමාන්‍ය ආශාවක්

පෙබරවාරි 19, 2024

 

කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවයන් හමුවේ බොහෝ විට කිසිදු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වේ. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.

ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.

අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

 

ප්‍රශ්නය

 

මා එක්දරු මවක්. මාත් සැමියාත් උසස් රැකියාවල නිරත වෙන වැදගත් පවුල් පරිසරයක් සහිත අය වේ. අපේ එකම දියණියට තවම වයස අවුරුදු 15 පසුවූවා පමණයි. ඇය තම වයසට නොගැළපෙන දේවලට යොමුව සිටියි. ඇයගේ දුරකථනයේ ඇසැබි වීඩියෝ තිබිණි. ඒ වගේම ඇය පුද්ගලයෙකු සමඟ ලිංගික සබඳතා පැවැත් වූ බවට සඳහන්වන කෙටි පණිවිඩ කිහිපයක් හුවමාරු වී තිබිණ. ඇගේ මේ හැසිරීම ගැන අප මහත් කම්පාවට පත්ව සිටී. අප කළ යුත්තේ කුමක් ද?

 

පිළිතුර

නව යොවුන් වියේදී ඇතිවන ආශාවන් වැඩිය. මෙම ආශාවන් අතර ලිංගික ආශාවන් ද වැඩි බව පැහැදිලි කරුණකි. මේ නිසා යොවුන් ආදරයට පැටලෙන පිරිස වැඩිය.

අවුරුදු 16 යනු හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ වඩාත් අධිකව පිබිදීමක් සිදු වන කාලයයි. මේ කාලයේදී ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේම ද්වීතීයක ලිංගික ලක්ෂණ පහළ වේ. සාමාන්‍යයෙන් ලිංගිකත්වය පිළිබඳ හැඟීම් යටපත් කරගෙන හිඳීම මිනිස් ස්වභාවයයි. එහෙත් සමහර අයට ඉතා අඩු වයසෙන්, පාලනයකර ගැනීමට අපහසු තරමට අනුරාගී හැඟීම් ඇතිවේ. එසේ වන්නේ අධික හෝර්මෝන ක්‍රියාකාරීත්වයක බලපෑම නිසාය. මෙසේ ඔබේ දියණිය අසාමාන්‍ය ලෙස තම හැඟීම්වලට ඉඩ දී සබඳතාවල පැටලෙන්නේ නම් ඊට දඬුවම් කිරීම නොව වෛද්‍ය උපදෙස් ගත යුතුයි. එවැනි දරුවෙකුව අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වීම ඉතාම අවශ්‍යයි.

ලිංගික හෝර්මෝන ශ්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථියේ පිළිකාවක් හෝ ගෙඩියක් හටගත්තොත් එම ග්‍රන්ථියෙන් වැඩිපුර හොර්මෝන ශ්‍රාවය වේ. මේ නිසාද එවැනි රෝගියකුට නොදැනුවත්වම අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවන් ඇති වේ. එවිට රෝගියා නොදැනුවත්වම ඒ සම්බන්ධ හැසිරීම් පළ කරයි. ඒ නිසා ඔවුන් හෝ ඕනෑම වයසක කෙනෙකු අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවන්ගෙන් පෙළේ නම් හෝර්මෝන පරීක්ෂණයක්කර බැලීම ඉතාම වැදගත්ය.

එහෙත් මෙම පරීක්ෂණයෙන් පසු කෙනකුට අධික ලිංගික ආශාවන්ට හේතුව රෝගී තත්ත්වයක් නොවේ නම් එම දැරිය මානසික වෛද්‍යවරයකුට පෙන්වීම ඉතාම සුදුසුය. විශාදය සහ මේනියාව නම් මානසික රෝගය ඇති අය තුළ ද අධික ලිංගික ආශාවන් දක්නට ඇත.

සාමාන්‍යයෙන් කාන්තාවකට අධික ලිංගික ආශාවන් සහ හැසිරීම් ඇති වීමට හේතුව නිම්ෆොමේනියා නම් රෝගයයි. ඒ නිසා ඔබේ දියණියගේ හැසිරීමට හේතුව මෙවැනි රෝගයක් විය හැකිය.

ඔබ මවක් ලෙස දියණිය පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න. ඇයට මවක්, මිතුරියක් ලෙස සිටිමින් උපදෙස් ලබා දී යහමගට ගන්න.