Doctor door

මැයි 13, 2024

 

මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එලෙස පවුල් ජීවිතයේ ගැටලු, දරුවන්ගේ ගැටලු, මානසික ගැටලු, ලිංගික ගැටලු සහ අඹු සැමි ගැටලු ආදී විවිධාකාර වූ ගැටලුවලට නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි ගැටලුවලට විසඳුම් ලබා දෙන්න හොඳ උපදේශකයකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. සිතේ තියෙන කාටවත්ම කියාගත නොහැකිව ජීවිතකාලය පුරාවටම සිතින් තැවි තැවි ඉන්න, පවුලෙන් ගිලිහුණු සතුට සමාදානය නැවත රැගෙන එන්න තරුණී නිරතුරුවම ඔබට සහයක් වනු ඇත. ලියන්න ඔබේ හද දවන ගැටලුව තරුණීට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු. අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්.

කොළඹ - 10.

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

රැකියාව නිසා ආතතියෙන්

 

ප්‍රශ්නය

40 හැවිරිදි මා සිව් දරු මවක්. මා රැකියාව කරන්නේ අතිශය කාර්යබහුල පෞද්ගලික ආයතනයකයි. එය නියමිත වෙලාවට ආහාර ටිකවත් ගන්න වෙලාවක් නැති රැකියාවක්. සමහර දිනවල ඔෆිස් එකේ වැඩ ගෙදරට ගෙන ඒමටත් සිදු වේ. මේ නිසා දරුවන්ගේ වැඩ කටයුතුත් නිසි ලෙස ඉටුකර ගත නොහැකිය. මේ නිසා මා සිටින්නේ දැඩි පීඩනයකයි.

 

පිළිතුර

මෙය වර්තමානයේ බොහෝ දෙනා අතර පවතින තත්ත්වයක්. නමුත් තමන්ගේ නිදහස නැතිවෙන මූලික අවශ්‍යතාවත් නිදහසේ ඉටුකරගත නොහැකි රැකියාවක් ඔබ කරනවා නම් ඒ ගැන දෙවරක් සිතා බලන්න. අප රැකියාවක් කරන්නේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට ආදායම් මාර්ගයක් ලෙසයි. ජීවිතය කියන්නේ රැකියාවම නොවෙයි. ඔබ දරු සිව් දෙනකුගේ මවක් නිසා පවතින ආර්ථිකයට රැකියාවක් කිරීම අවශ්‍යය නිසා විය හැකියි එම රැකියාවට තවදුරටත් යන්නේ.

ඒ නිසා ඒ රැකියාව ඔබට අත්‍යවශ්‍යමයි කියන කරුණයි හැඟී යන්නේ. නමුත් රැකියා ආතතිය අඩුකර ගැනීමට යම් යම් දේ කළ හැකියි.

 

රැකියා ස්ථානය කියන්නේ ඔබ දවසේ වැඩි කාලයක් ගෙවන ස්ථානයයි. හොඳින් දවස ගෙවන්නට නම් ඔබට ධනාත්මක අදහස් හා චින්තනයන් අවශ්‍යයි. ඒ සඳහා ඔබ රැකියා ස්ථානය තුළ දී ඔබව දිරිමත් කරන පුද්ගලයින් සමඟ එක්ව සිටිය යුතුයි. සුබවාදී හා ධනාත්මක පුද්ගලයන් සෑම විටම ඇසුරු කරන්න. ඔවුන් සමඟ ඵලදායී සම්බන්ධතා ගොඩනඟා ගන්න. එය ඔබට හා ඔබගේ අනාගතයට ඉවහල් වේවි.

අධික වෙහෙස වී වැඩ කිරීම ඔබේ මනසට හා ගතට පීඩාකාරී වන්නට පුළුවන්. එබැවින් ඔබ රැකියාවේ නිරතවන අතරතුර වෙහෙසකාරී බවක් දැනෙනවා නම් ඔබගේ ආයතනයේ පරිසරය අනුව සරල නිදහසකට හුරුවන්න. තමන් සිටින තැන වෙනස් කිරීම, වැඩ අතරතුර තේ එකක් පානය කිරීම මඟින් වෙහෙසකාරී ගතිය නැතිකර ගැනීම ,ප්‍රබෝධමත් දෙයක් වෙත සිත යොමු කිරීම වැනි සරල ක්‍රමයන් අනුගමනය කරන්න.

ඔබට වඩාත් සමීපතමයන් වන්නේ ඔබගේ පවුලේ සාමාජිකයන්. තම එදිනෙදා වැඩකටයුතු තමන්ගේ සමීපතමයන් සමඟ බෙදා හදා ගන්නට හැකිනම් එය ඉතා මානසික සහනයකි. එම නිසාම මව,පියා, බිරිය,සැමියා, දූ දරුවන් සමඟ හැකි සෑම විටම සමීප සබඳතා පවත්වාගන්න. රැකියා ආතතියට වගේම ඔබට ඇතිවන වෙනත් ප්‍රශ්නයක් තෝරා බේරා ගැනීමට ද එය කදිම ක්‍රමයකි.

ඔබ රැකියාවේ නිරතවන ගමන්ම තව ඔබට කළ හැකි දේ ගැන සිතා බලන්න. බොහෝ පුද්ගලයින් තමන් තරුණ කාලයේ ආරම්භ කළ රස්සාවේ මුළු ජීවිත කාලයේම නිරත වෙලා විශ්‍රාම ලබයි. එහෙත් එයින් ඔබ්බට ඔබට කළ හැකි බොහෝ දේ ඇත. ඔබට තිබෙන හැකියාවන් ගැන සිතා බලන්න. ඒ හැකියාවන් ඔපමට්ටම්කර ගන්න. ඔබ කළ යුත්තේ මොනවද යන්න රැකියාව කරන අතරතුර ම සොයා බලන්න. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් කුසලතා සපුරා ගනිමින් අලුත් හෙටක් ආරම්භ කිරීමට අවධානය යොමු කරන්න. රැකියාවට වෘත්තියට අදාළව යාවත්කාලීන වන්න.

රැකියාවේ තිබෙන ගැටලු හා රැකියාව සමඟ ඔබේ ජීවිතේට ඇතිව ඇති ගැටලුු ඔබ ගෙදර ආ පසු කල්පනා කරන්නට යන්නට එපා. එසේ වුවහොත් ඔබ මුළු දවසම ගතකර ඇත්තේ ආතතියෙන්. එය දවස අවසානයේ රැකියා ස්ථානයෙන් ආතතියෙන් නිදහස් වීමට දැඩි බාධාවකි . ඔබ නි‍ෙවසට ආපසු ඔබේ සමීපතමයින් සමඟ ගෘහස්ථ කටයුතුවල යෙදෙන්න. ඔබේ දූ දරුවන්, මව,පියා ,සැමියා, බිරිඳ සමඟ කාලය ගත කරන්න. එසේ නැතිවුවහොත් පවුල් ජීවිතයේ ගැටලු සහ ඔබට මුහුණ දෙන්නට අත්විදින්නට වන ගැටලු වැඩිවන්නට පුළුවන්. එම නිසාම නි‍ෙවසට ආපසුරැකියා ස්ථානය ගැන නොසිතා පවුලේ අය හෝ තම සමීපතමයින්ට ලංව සතුටින් කාලය ගත කරන්න. එයින් ඔබට පසුවදා රැකියාවට යාමේදීත් නව ප්‍රබෝධයක් දැනේවි.

මෙවැනි සරල ක්‍රියාකාරකම් වලින් ඔබේ මනසේ ඇති රැකියා ආතතිය හීන කරවන්නට පුළුවන්.එම නිසාම වැදගත් වන්නේ ආකල්ප හා චර්යා හැඩගස්වා ගෙන රැකියා ආතතියට සාර්ථකව මුහුණ දීමයි.

 

 

උපදෙස් -

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ

විශේෂඥ මනෝ වෛද්‍ය

රුමි රූබන්

-----------------

ලිංගිකව එක්වීමේදී වේදනාවක්

ප්‍රශ්නය

 

වයස අවුරුදු 26ක් වන මා විවාහ වී මාස 6ක් ගත වී ඇත. පළමු ලිංගික එකතු වීමේ සිට මේ දක්වාම එය මට දැඩි වේදනා ගෙන දෙන්නක් විය. වේදනාව නිසා මට ඉන් කිසි සතුටක් නොලැබේ. නමුත් ඔහු ගැන සිතන විට මා හට අනුකම්පාවක් දැනෙයි. ඒ නිසයි මා වේදනාව ගැන නොසිතාම ඔහු සමඟ ලිංගිකව එකතු වෙනවා. මේකට කුමක් හෝ විසඳුමක් තිබේ ද? ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

 

පිළිතුර

 

සමහර අවස්ථාවලදී  ලිංගිකව එකතු වීමේදී හෝ යෝනි මාර්ගයට යමක් ඇතුල් කිරීමේදී කාන්තාවට වේදනාවක් දැනීම අත්දකින්නට පුළුවන්. එයට කායික මෙන්ම මානසික  හේතු ද බලපානවා. එනිසා තත්ත්වය උද්ගත වූ වහාම මේ සඳහා පිළියම් සෙවිය යුතු යි.

වේදනාව හඳුනා ගන්නා ක්‍රම කිහිපයක් තිබෙනවා.ඇතුල් කිරීමේ මූලික අදියරේදීම වේදනාවක් දැනීම, සෑම ඇතුල් කිරීමකදීම වේදනාවක් දැනීම, සංසර්ගයේ යෙදෙන විට වේදනාවක් දැනීම, සංසර්ගයෙන් පසු පැය කිහිපයක් ගතවන තුරු ම වේදනාවක්, දැවිල්ලක් දැනීම ඒ එම ක්‍රම කිහිපයයි.

 

ලිංගිකව එකතු වීමේදී කාන්තාවට වේදනාවක් දැනීමට විවිධ හේතු බලපෑ හැකිය. මේ සඳහා කායික හේතු මෙන් ම මානසික හේතු ද බලපාන්නට පුළුවන්. ඊට අමතරව වෛද්‍ය විද්‍යාත්මක හේතු රාශියක් මේ සඳහා බලපාන්නට පුළුවන්. වැජිනිස්මස් රෝගය කියන්නෙත් එවැනි තත්ත්වයක්. මෙය බොහොම සාමාන්‍ය තත්ත්වයක්. යෝනි මාර්ගය අවට මාංශපේශි තද වීමත්, එමගින් සංසර්ගය වේදනාකාරී වීමත් මෙහිදී ඇති වෙනවා. වේදනාවට පත් වෙතැයි බිය වීම, ලිංගික ක්‍රියාවලිය පිළිබඳ අයහපත් මතකයක් හෝ වෙනත් සාංකාමය මානසික තත්ත්වයක් මීට බොහෝ විට හේතු වෙනවා. සබඳතාව පිළිබඳ විසඳා නොගත් ගැටලු හෝ එවැනි ගැටලු තිබීමත් මේ සඳහා බලපාන්නට පුළුවන්. එම මානසික හේතූන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වනවා

ඊට අමතරව යෝනි මාර්ගයේ ඇති ආසාදනද බලපෑ හැකිය. කාන්තාවන්ට මූත්‍රා ආසාදන හෝ බැක්ටීරියා ආසාදන වැලඳීම සුලබ කාරණාවක්. එය හේතුවක් වන්නට පුළුවන්. එමෙන් ම පිළිකා තත්ත්වයන් හේතු වන්නට පුළුවන්.

විවිධ බෙහෙත් වර්ග සහ කායික හේතු මත යෝනි මාර්ගය වියළීමට හැකියාව තිබෙනවා. වියළි යෝනි මාර්ගයක් පැවතීම ලිංගිකව එකතු වීමේදී වේදනාවට පත් වීමට හේතුවක් වෙනවා.

ආර්තවහරණයත් එක් හේතුවකි.

 

ආර්තවහරණයේදී හෝමෝන වෙනස්වීම නිසා යෝනි මාර්ගය වියළීමේ හැකියාව වැඩියි. එමෙන් ම ලිංගික එක් වීම් සඳහා ඇති කැමැත්ත පවා වෙනස් වෙන්නට පුළුවන්. එ නිසා මාංශපේශි තද වීමට ලක්ව මෙම තත්ත්වය අැතිවන්නට පුළුවන්.

කාන්තා ප්‍රජනන පද්ධතියේ ඇතිවන එන්ඩොමෙට්‍රිසිස් හෝ ෆයිබ්‍රොයිඩ් තත්ත්ව නිසාත් ලිංගිකව එකතු වීමේදී වේදනාවට පත් වීමට හැකියාව තිබෙනවා.

 

ලිංගික එකතු වීමකදී කාන්තාවට වේදනාවක් දැනෙන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන්නේ නැහැ. ඒ සඳහා අනිවාර්යයෙන් අවධානය යොමු කළ යුතුයි. පළමුව ස්වභාවික ලිහිසිකාරකයක් භාවිතකර බලන්න. එමෙන්ම ලිංගික ක්‍රියාවලියට පෙර මනස සැහැල්ලුවෙන් තබා ගැනීමත් වැදගත්. වේදනාව ගැන හිත හිත ලිංගිකව එකතුවන විට මනස විසින් වේදනාවට තව තවත් උත්තේජනයක් ලබා දෙයි. මේ සියලු දෙයින් ප්‍රතිඵලයක් නැතිනම් ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු හමු වීමයි කළ යුතු වන්නේ.

----------------------------------

ලිංගික බෙලහීනතාවට ප්‍රතිකාරයක් තිබේ ද?

 

ප්‍රශ්නය

 

මම 45 හැවිරිදි දෙදෙරු මවක්. සැමියාගේ ලිංගික ගැටලුවක් තිබුණ නිසා එයට වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගතිමි. වෛද්‍යවරයා පැවැසුවේ එය ලිංගික බෙලහීනතාවය නම් රෝගය බවයි. මාස තුනක් ප්‍රතිකාර ලබා ගත්තද ප්‍රතිඵලයක් නොලැබිණි. මේ නිසා සැමියා සිටින්නේ මහත් කලකිරීමකිනි..මෙය නිට්ටාවට සුවකරගත හැකි ද?

 

 

පිළිතුර

 

මේ තත්ත්වය අපි බහුලව කතා කරන සමාජයේ දකින්න ලැබෙන රෝගයක්. මෙය ලිංගික රෝගයක් ලෙස සැලකුවද එය වැඩි වශයෙන් අයත් වන්නේ මානසික රෝග ගණයට ය. එය සමාජයේ ඇති මානසික රෝග අතර තවත් සැඟවුණු රෝගයක්. කොහොම වුණත් මේ රෝගය ලජ්ජා විය යුතු වත් සැඟවිය යුතු වත් සමාජයෙන් කොන් කළ යුතුවත් රෝගයක් නෙවෙයි. කොහොම වුණත් ඔබ ලිංගික දුර්වලතාවයකින් පෙලෙනවා යැයි ශෝකයට පත් වෙන්න එපා.

චිත්ත ධෛර්යය අඩාළකර ගන්නට එපා. ලිංගික දුර්වලතාවය කියන්නෙත් තවත් එක්තරා මානසික රෝගයක් මේ රෝගය සඳහා විවිධ හේතු බලපානවා. රෝගයට බලපාන ප්‍රධාන හේතුව ලිංගිකත්වය සඳහා අපේ හිත තුළ ඇති තැතිගැන්ම හා බය ලිංගික ක්‍රියාවලියට අවාසිදායක ලෙස බලපෑමයි. වෙන වචනවලින් කිව්වොත් ලිංගිකත්වයට ඇති බය නිසාමයි ලිංගික ශක්තිය අඩු වන්නේ. මේ සඳහා අතීත අත්දැකීම් වගේම වර්තමාන සම්බන්ධතා හා හැඟීමුත් බලපානවා. 

ඒ නිසා ආත්ම ශක්තිය තබාගැනීම ලිංගික ශක්තිය නොවෙනස්ව තබා ගැනීමට ඉතාම වැදගත්. මෙයට අමතරව විවිධ ස්නායුගත රෝග හෝ නහරගත රෝග,මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය ලිංගික දුර්වලතාවය ඇතිවීමට බලපාන්නට පුළුවන්. 

 ලිංගික දුර්වලතාවයක් ඇති වූ අවස්ථාවකදී මේ පිළිබඳව ඇති අපහාසාත්මක ප්‍රකාශවලට දුර්මතවලට බය නොවී ළඟම ඇති රෝහලක මානසික සෞඛ්‍ය සායනයක පිහිට පතනවා නම් මේ දුර්වලතාවය කෙටි කලකින්ම ඔබට අඩුකර ගන්නට පුළුවන්. ඒ සඳහා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වගේම බෙහෙත් වර්ගත් තිබෙනවා.  මෙය සුවකර ගැනීමට කාලයක් ගතවෙනවා. දිගුකාලීනව ප්‍රතිකාර ලබා ගන්න. මාසයකින් දෙකකින් මෙයට පිළියම් සෙවිය නොහැකිය. ඉවසීමයි වැදගත්.

 

 

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට