ධන වාසනාව කැන්දන කුබේර මුද්‍රාව

ජුනි 17, 2024

හැමෝම කැමැති වාසනාවන්ත ජීවිතයක් ලැබෙනවාට. බාධක මැදින් ගලා යන ජීවන ගංගාවට හමුවන බාධකවලින් ගැලවී යාමට කාගේ හෝ පිහිටක්, සහයක් අවශ්‍යමයි. කිසිදු බාධකයක් නොමැතිව ගලායන ජීවිතය සැබැවින්ම වාසනාවන්ත ජීවිතයකි. බොහොමයක් දෙනා කියන්නේ එහෙමයි. හැබැයි එහෙම ජීවිත හමුවන්නේ බොහොම කලාතුරකින්. ඒ වගේ වාසනාවන්ත ජීවිතයක් ලබා ගන්න වගේම තමන්ගේ ආධ්‍යත්මික ශක්තිය වැඩි දියුණුකර ගන්න උදවු වෙන යෝගා මුද්‍රාවක් ගැනයි අද මේ කියන්න යන්නේ. එය හඳුන්වන්නේ කුබේර මුද්‍රාව යනුවෙනි.

 

කුබේර යනු, භෞතික ලෝකයේ ජීවත්වන භෞතික සැප සම්පත් සොයන ආකර්ෂණීය ජීවිතයක් බලාපොරොත්තුවන සැවොම රහසේ කරන මුද්‍රාවකි. කුබේර යනු මහා ලක්ෂ්මී මෙන් ධන වාසනාවට අධිපති දෙවි කෙනකුවන අතර, එය බොහෝ සේ ප්‍රසිද්ධ නොවූ දේව අවතාරයක් වුවත් හින්දූන් නිතර කුබෙරාව වන්දනාමාන කරයි. කුබේරා දෙවියන්ගේ ස්වභාවය තරබාරු සිරුරක් සහිත ප්‍රසන්න අඟ පසඟ ඇති සශ්‍රීක බව පෙන්වන රුවක් වන අතර, සමහර තැන්වලදී මෙය කිරි ගවයන් ආශ්‍රිතව හැසිරෙන ගොපල්ලාට ද සමාන කර ඇත. සශ්‍රීක වූ ගව ගාලකට කිරි දෙවීම සඳහා කුබේරා පැමිණෙන බවට ද ජන විශ්වාසයක් ඇත. කෙසේ වුව ද කුබේරා යනු සශ්‍රීකත්වයේ සංකේතයයි. උදෑසන විනාඩි 20ක් සවස විනාඩි 20ක්, කුබේරාට ආරාධනා කරන මන්ත්‍රය ගායනා කරමින් කළ හැකි නම් (දින 21ක්) උපරිම මාස 3ක් වැනි කාලයකදී බොහෝ ප්‍රතිඵල අත්විදිය හැකිය. මේ සඳහා අනුගමනය කළ යුතු වත් පිළිවෙතක් ඇත. එනම් බ්‍රහ්ම මූර්තයෙන් අවදි වී (පාන්දර 4.12 - 5.12 අතර කාලය) සඳුන් කහ මිශ්‍ර ජලයෙන් ස්නානයකර ඉන්පසු මෙම මුද්‍රාව පුරුදු පුහුණු විය හැකිය.

 

කුබේර මුද්‍රාවේ යෙදෙන ආකාරය

 

පද්මාසන, සුකාසන හෝ වජ්‍රාසන වැනි ඔබට පහසු භාවනා ආසනයකට පැමිණෙන්න. ඉන්පසු දෙඅත් ඉදිරියට යොමු කොට මහපට ඇඟිල්ල, දඹර ඇඟිල්ල, මැදගිල්ල තුඩු එකට එකතු කර වෙදඟිල්ල සහ සුළැඟිල්ල රූපයේ පෙනෙන ආකාරයට අල්ල මත නවන්න. එසේ නවා දෙඅත්, දණහිස් උඩ තබා දෙනෙත් පියවා ගෙන පහත මන්ත්‍රය වාර 108ක් සිතින් හෝ ශබ්ද නගා කියන්න. ඉන්පසු රාත්‍රි නින්දට පෙරත් මෙම මන්ත්‍රයම ගායනා කරන්න.

 

ඕම් ගණේ පූරවේ නමහ

ඕම් ගණේ ගණපති නමහ

ඕම් විච්චාය කුබේරාය වෛශ්වථනාය

ධන ධාන්‍යපථේ

ධන ධාන්‍ය සන්තිර්මේ

දේශීථාපාය ස්වාහ

 

මෙය එකම වෙලාවක, එක දිගට ගායනා කළ යුතු අතර, මුලින්ම ශබ්ද උච්චාරණය පිළිබඳ සැලකිලිමත් වන්න. මෙම භාවනාව ආරම්භ කිරීමට ප්‍රථම කලබල නොවී සිත සන්සුන් කරගෙන තමන්ගේ බලාපොරොත්තු කියා කුබේර දෙවියන් ආනුභාවයෙන් ඉෂ්ට සිද්ධ වේවා යැයි දැඩි ලෙස සිතට කියන්න. මන්ත්‍රය ගායනා කිරීමේදී වාග් සිද්ධි වාග් ශක්ති ද නිසියාකාරව ඇතිවන හෙයින් නිවැරදි උච්චාරණය ඉතාම වැදගත් වේ.

 

කුබේර මුද්‍රාවේ ප්‍රතිඵල

 

මෙම මුද්‍රාවේ නිතර යෙදීමෙන් ධන ආකර්ෂණය වර්ධනය වන අතර ආධ්‍යාත්මික සුවයක් ද ගෙන දෙයි. ගත සිත සමාධියට පත් වේ. සිත ශාන්තිමත් වේ. එබැවින් කුබේර මුද්‍රාව ප්‍රගුණ කිරීම ඔබේ දෛනික ජීවිතයේ එක් අංගයක් කර ගන්න.

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය

ජයාරුපය - තිලක් පෙරේරා

 

නිරුපණය - චිරන්ජිවා