කියාගන්න බැරි ලෙඩ ගැන හිතේ තියාගන්නේ නැතිව අපට කියන්න

ජුනි 24, 2024

 

මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එලෙස පවුල් ජීවිතයේ ගැටලු, දරුවන්ගේ ගැටලු, මානසික ගැටලු, ලිංගික ගැටලු සහ අඹු සැමි ගැටලු ආදී විවිධාකාර වූ ගැටලුවලට නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි ගැටලුවලට විසඳුම් ලබා දෙන්න හොඳ උපදේශකයකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. සිතේ තියෙන කාටවත්ම කියාගත නොහැකිව ජීවිතකාලය පුරාවටම සිතින් තැවි තැවි ඉන්න, පවුලෙන් ගිලිහුණු සතුට සමාදානය නැවත රැගෙන එන්න තරුණී නිරතුරුවම ඔබට සහයක් වනු ඇත. ලියන්න ඔබේ හද දවන ගැටලුව තරුණීට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු. අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්.

කොළඹ - 10.

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

බිරියගේ ගැටලුවක්

 

ප්‍රශ්නය

මෙය මාගේ බිරිය සම්බන්ධ ගැටලුවකි. ඇයට මෙන්සස් හැදුනාම දවස් 20 ක් විතර තියෙනවා. මේකට මොකක්ද කරන්න පුළුවන්. බෙහෙත් ගත්තට හරි ගියේ නෑ. එයාට අමනුෂ්‍ය බලවේගයකින් යම් කිසි අසනීපයක් වෙලා සනීප වුණ කෙනෙක්. ඊට පස්සෙ තමයි මේ විදියට දවස් 20ක් විතර තියෙන්නෙ. කලින් සාමාන්‍ය විදියට ඔසප් චක්‍රය ක්‍රමවත්ව තිබුණු කෙනෙක්. මෙයට උපදෙසක් ලබා දෙන්න.

 

පිළිතුර

යම් කාන්තාවකගේ එක් මාසයක ඔසප් චක්‍රය අවසානයේ සිට ඊළඟ මාසයේ ඔසප් චක්‍රය ආරම්භය අතර දින ගණන දින 24 ට අඩුනම් හෝ දින 38 ට වැඩිනම් එය අක්‍රමවත් ඔසප් චක්‍රයක් ලෙස හඳුනා ගන්නව. 

වයස අවුරුදු 8 ත් 14 ත් අතර නව යොවුන් අවධියේ ගැහැනු දරුවන්ගේ, කිරි දෙන මව්වරුන්ගේ සහ අවුරුදු 40 ත් 58 ත් අතර ආර්ථවහරණ අවධියේ සිටින කාන්තාවන්ගෙ ඔසප් චක්‍රය අක්‍රමවත්වීම සාමාන්‍ය විය හැකිය.

 

එසේම උපත් පාලන පෙති ගැනීමට පටන් ගැනීම හෝ උපත් පාලන පෙති ගැනීම නැවැත්වීම, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු, ගැබ්ගෙල ආශ්‍රිතව ගැබ් ගෙල පිළිකා වැනි තත්ත්ව ආදී නොයෙකුත් හේතු බලපායි.

 

ඔබගේ බිරියගේ වයස සහ ඇය මවක් ද නැද්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොමැති නිසා නිවැරදි පිළිතුරක් ලබා දීමට අපහසුයි. නමුත් දින 20ක් පමණ එක දිගට ඔසප් වීම සිතිය යුතු කරුණක් බව සිහි තබා ගන්න. ඔසප් වීම යනු අැගේ ලේ පිටවීමක්. එමඟින් ශරීරයේ හිමොග්ලොබින් මට්ටම අඩු වී මෙය දරුණු අතට හැරිය හැකිය. අමනුෂ්‍ය බලවේග, හදි හූනියම් කියා දෙයක් මේ ලොව නැත. එවැනි මිථ්‍යා මත පසුපස හඹා නොගොස් අමාරුවේ නොවැටී සිහි කල්පනාවෙන් වැඩ කරන්න. හැකි ඉක්මනින් ඇයව වෛද්‍යවරයකු වෙත ගෙන යන්න.

උපදෙස්

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය

දයානි සිරිවර්ධන

--------------------

දරුවන් සමඟ නිතර තරහා යනවා

 

ප්‍රශ්නය

මම 35 හැවිරිදි මවක්. මගේ වැඩිමල් පුතු පෙරපාසල් යනවා. දියණියට තවම මාස 8යි. මට එයාලා එක්ක නිතරම කේන්ති යනවා. මම රැකියාවක් කරන්නේ නැහැ. දරුවන්ගේ සහ ගෙදර දොරේ කටයුතු කරගෙන නිවෙසට වී ඉන්න කෙනෙක්. පුතා ටිකක් දඟයි. එයා කරන දඟ වැඩ නිසා පෙර පාසලේ අනෙක් දරුවන්ගේ මව්පියන්ගෙනුත් බැණුම් අහන්න වෙනවා. සැමියා ඉන්නේ විදෙස් රටක. මා මේ සියලුම දේ තනියමකර ගන්නේ. මම දරුවන්ට නිතරම ගහනවා එයාලා මාව කෙන්ති ගස්සන නිසා. ඒත් එහෙම වුණාට පස්සේ මට ලොකු දුකක් ඇති වෙනවා. මම මොන ජාතියේ අම්මා කෙනෙක් ද කියලා හිතෙනවා. මම කොහොමද මේ තත්ත්වය පාලනයකර ගන්නේ.

 

පිළිතුර

සාමාන්‍යයෙන් පවුලක දරුවො වැඩි වෙලාවක් ඉන්නේ අම්මා එක්ක. අම්මා රැකියාවකට නොයනවා නම් අම්මාගේ සම්පූර්ණ කාලය ගෙවෙන්නේ දරුවො එක්ක. ඉතින් අම්මගේ හැසිරීම දරුවන්ට බලපානවා කියන එක නොවැළැක්විය හැකියි.

අම්මාගේ කේන්තිය දරුවාට බලපාන විදිය හොයන්න කලින් අම්මට කේන්ති යන්නෙ ඇයි කියලා අපි බලමු. සමීපම හේතුව තමයි ගෙදර දොර වැඩ කටයුතු ගොඩක් කරන්න වුණාම ඒ අස්සෙ දරුවොත් බලන්න වුණාම එකක් වත් හරියටකර ගන්න බැරිව පීඩාවට පත් වෙන එක. කරන්න බැරි තරම් වැඩ ගොඩක් තනියම බදාගෙන කරන්න ගියාම ගොඩක් වෙලාවට වෙන්නෙ මේක. ඊට පස්සේ ඒ පීඩනය කේන්තිය විදියට එළියට එනවා. සමහර විටෙක ආර්ථික ප්‍රශ්න නිසා එන පීඩාවත් අම්මලට කේන්ති යන්න පුළුවන් හේතුවක්. අම්මලා කියන්නෙත් මිනිස්සුනෙ. ආස දෙයක් ගන්න නැති වුණාම වගේම දරුවන්ට දේවල් අරන් දෙන්නත් සල්ලි නොලැබුණොත් ඇති වෙන පීඩනය කේන්තියක් බවට හැරෙන්න පුළුවන්.

ඒ වගේ ම එදිනෙදා වියදම්කර ගන්න මුදල් නොලැබීමත් එක්ක ජීවන අරගලයට මූණ දෙන්න ශක්තියක් නැති වීමත් එක්ක ඇති වෙන පීඩනය කේන්තිය විදිහට පිට වෙන්න පුළුවන්. ඕනෙම මනුස්සයෙක්ට වගේ අම්මා කෙනෙක්ටත් දුක, කලකිරීම වගේ දේවල් ඇති වෙනවා. ඉතින් විශේෂයෙන් තාත්තගෙන්, එහෙම නැත්නම් පවුලෙන් ලැබෙන්න ඕනෙ මානසික සහයෝගය නොලැබීමේ පීඩනයත් කේන්තිය විදිහට එළියට එන්න පුළුවන්.

කේන්ති යන එක සාමාන්‍ය දෙයක්. කේන්තියක් ආව පමණින් ඔබ නරක අම්මෙක් වෙන්නේ නෑ. හැබැයි කේන්තිය පිට කරන විදිහ ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ අම්මාගේ අතේ.

ගෙදර වැඩයි දරුවන්ගෙ වැඩයි එකට පටලගන්න එක නවත්තන්න වෙනවා. ඔබට දරුවො ලැබුණට පස්සෙ ඊට කලින් වගේ වෙලාවට තිතට ගෙදර වැඩ කරන්න බැරි බව තේරුම් ගන්න වෙනවා. එක්කො ඒවා හැකි විදියට කරන්නත්, සර්ව සම්පූර්ණ විය නොහැකි බව තේරුම් ගන්නත් වෙනවා. එහෙම නැත්නම් ඔබේ වැඩවලට ගෙදර අනිත් අයගේත් සහයෝගය

ලබා ගන්න ඔබට පුළුවන්. ඒත් නැත්නම් හැකියාවක් තියෙනවානම් උදව්කරුවෙකු ලබා ගන්න. කොච්චර අමාරු වුණත් ඔබේ කේන්තියට දරුවා පලි නැහැ.

දරුවෙක් එක්ක කේන්ති ආවාම කරන්න ඕනෙ පළවෙනිම දේ දැන් ඔබට කේන්ති ගිහින් ඉන්න බව හඳුනගන්න එක. ඒ හඳුනගත්ත වහාම ඒ පරිසරයෙන් ඉවත් වෙන්න. හයියෙන් හුස්මක් අරන් වෙන වැඩක නියැලෙන්න. කේන්ති යන එක වරදක් නෙවෙයි. ඒක දරුවො පිටින් යවන එක තමයි වරද. ඒ වගේම දරුවන් එක්කත් කතා කරන්න. අම්මාට සමහර ප්‍රශ්න නිසා කේන්ති යන බවත්, එහෙම දැක්කොත් පොඩ්ඩක් අම්මට කාලය දෙන්න කියලාත් ඉල්ලන්න. එයාලා තේරුම් ගන්නවා. දරුවොන්ට දේවල් තේරෙනවා.

ඒ වගේම මොන හේතුවක් මත වුණත් දරුවන්ට කායික මානසික හිංසා පැමිණවීම ළමා අපයෝජනයක් ලෙසයි සැලකෙන්නේ. හැදූ වැඩූ පමණින් දරුවන්ට සිතුසේ ගහන්නට බනින්නට ඔබට කිසිම අයිතියක් නැහැ. එසේ කිරීම නීතියෙන් පවා දඬුවම් ලැබිය හැකි වරදක්. ඔබට කේන්ති යාම සාධාරණ වුණත් කිසි ලෙසකවත් ඒවා දරුවන් පිටින් යවන්නට එපා යැයි අපි කියන්නේ ඒකයි.

දරන්නට අමාරුම නම් අනිවාර්යෙන් ම මනෝ උපදේශනයට යන්න. රජයේ රෝහල්වල පවා ඔබේ පෞද්ගලිකත්වය හොඳින් සුරකිමින් නොමිලයේම මේ සේවාව ලබා දෙනවා.

 

---------------

සැමියාගේ අවධානය යළි ලබා ගන්නේ කොහොම ද?

 

ප්‍රශ්නය

අප විවාහ වුණේ වසර 8ක ප්‍රේම සම්බන්ධයකිනි. මම පවුලේ තනි දරුවා. මව්පියන්ගේ අසීමිත ආදරය මැද්දේ හැදුණු කෙනෙක්. විවාහ වූ අලුත් සැමියා මා ගැන සොයා බැලුවා. නමුත් දැන් ඔහුගේ අවධානය අඩු වෙලා. මම රැකියාවක් කරන්නේ නැහැ. එයා ගෙදර එනකොට මං ගේ අස්පස් කරලා පිරිසුදු වෙලා රසට කෑමත් හදලා ආසාවෙන් බලන් ඉන්නේ එයා එනකම්. එයා කැමැති ඕනෙම කෑමක් මම හදනවා. එයා ගෙදර ආපු ගමන් කරන්නේ නින්දට යනකම්ම ෆෝන් එකෙන් ෆේස්බුක් යන එක. කෑම කන්නෙත් ෆෝන් එක දිහා බලාගෙන. පාන්දර 1 - 2 වගේ වෙනකම්ම එයා එහෙමයි. මමත් බලන් ඉඳලා බැරිම තැන නින්දට යනවා. මම කවදාවත් එයාට වචනයකින්වත් හිත රිද්දලා නැහැ. එයා එයාගේ රැකියාව ඇතුළේ ගොඩක් මහන්සි වෙන කෙනෙක්. මම ලෙඩ වුණ වෙලාවකදිවත් කෑමක් බීමක් හදන්න උදවු වෙන්නේ නැහැ එයා. කතා කරන්න හැදුවත් මාව මඟ හරිනවා එයාට වැඩ තියෙනවා කියලා. අපිට ලිංගික ජීවිතයක් ඇත්තෙම නැති තරම්. මම හොඳටම දන්නවා ඔහුට වෙනත් සම්බන්ධයක් නැති බව. ඔහු වැදගත් විදිහට ඉන්න කෙනෙක්. මම ආසයි ඉස්සර වගේම ඔහු මා ගැන සොයා බලනවට. එයට කුමක් කළ යුතු ද?

 

පිළිතුර

ඔහු තුළ ඔබ ගැන තිබූ කැමැත්ත ගිලිහී යාම ඉතාම වේදනාකාරී තත්ත්වයක්. ඔහුගේ කැමැත්ත වෙනත් අතකට යොමුව ඇත්තේ ඔබ ඔහුට මුල්කාලයේ තරම් අවධානය යොමු නොකළ නිසා විය හැකියි. ලිංගික එක්වීම් සීමාවීම, යුතුකම් වගකීම් හැරුණුවිට නිදහස සතුට වෙනුවෙන් වෙලාව වෙන් නොකිරීම, වෙනදා තරම් ඔහුට සවන් නොදීම, ඔහු ප්‍රිය කරන දේවල් අමතක කිරීම, මුල්කාලයේ තිබූ ඉවසීම, කාරුණික බව පවත්වා ගැනීමට අපොහොසත් වීම, ඔහුගේ කැමැත්ත ඔබෙන් ගිලිහී යන්නට හේතුවී දැයි සොයා බලන්න. දුර්වලතා මඟහැර කැමැත්ත වගා කරන්න. කෙටියෙන් කිවහොත් විවාහයට පෙර ඔහු ආදරය කළ ඔබේ ගතිගුණ, ඔබේ හැඩරුව ,ආදරණීය බව වෙනස් වෙලා නම් නැවත ඔහුගේ කැමැත්ත තේරුම් අරන් වෙනස්වීම් කරන්න කාලෙ ඇවිත් කියල තේරුම් ගන්න.

කාර්යබහුල ජීවිතයත් සමඟ ඔබ දෙදෙනාට එකට එකතු වී කාලය ගත කරන්න ලැඛෙන අවස්ථා අඩුවෙන්න පුළුවන්. නමුත් ලැබෙන කාලයෙන් හෝ විශේෂ කාලයක් වෙන්කරගෙන ඒ අවස්ථාව සුවිශේෂිකර ගන්න. එකට හෙමින් ඇවිදින්න. ඔහු ළඟින් හාන්සි වී ආදරණීය කතාවක යෙදෙන්න. විවාහයට පෙර පෙම්වතුන්ව සිටි කාලයේ ආදරණීය මතකයන් නැවත සිහිපත්කර දෙන්න.

 

ඔබේ සැමියාට සරල ත්‍යාගයකින් සංග්‍රහ කරන්න. ඔහු කූඩා කල සිට කන්න කැමති කෑමක් හදලා දෙන්න. එය නිසැකවම ඔහුගේ දවසම සතුටෙන් තබන්න හේතුවක් වෙනවා. ඊට අමතරව ඔහු කාලයක සිට ගන්න කැමැත්තෙන් හිටපු ඔහු කැමති යම් යම් දේවල් තියෙන්න පුළුවන්. එවැනි දෙයක් තෑගිකර ඔහුව පුදුම කරන්න. නිසැකවම ඔහුට ඔබ ගැන ආදරය හිතේවි. ඔහුගෙ නෙත ඔබ වෙත ඇදගන්නා අාකාරයට ලස්සනට අඳින්න පලඳින්න.

ගොඩක් සැමියන් අකැමැතිම දෙයක් තමයි බිරින්දෑවරු නිතර මුහුණ එල්ලගෙන සිටීම. සැමවිටම ඔහුට සුන්දර සිනහවකින් සංග්‍රහ කරන්න. හිතේ පවතින සියලු දේ ආදරණීයව ඔහුට සෘජුව ප්‍රකාශ කරන්න. ඔහුට ඉන්න ළඟම මිතුරිය, හිතවතිය, ඥාතියා ඔබ පමණක්ම බව හැඟෙන ආකාරයට ඔහු ගැන සොයා බලා කටයුතු කරන්න.

 

උපදෙස්

අංගොඩ ජාතික මානසික

සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ