කියාගන්න බැරි ලෙඩ ගැන හිතේ තියාගන්නේ නැතිව අපට කියන්න

ජූලි 1, 2024

 

මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එලෙස පවුල් ජීවිතයේ ගැටලු, දරුවන්ගේ ගැටලු, මානසික ගැටලු, ලිංගික ගැටලු සහ අඹු සැමි ගැටලු ආදී විවිධාකාර වූ ගැටලුවලට නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි ගැටලුවලට විසඳුම් ලබා දෙන්න හොඳ උපදේශකයකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. සිතේ තියෙන කාටවත්ම කියාගත නොහැකිව ජීවිතකාලය පුරාවටම සිතින් තැවි තැවී ඉන්න, පවුලෙන් ගිලිහුණු සතුට සමාදානය නැවත රැගෙන එන්න තරුණී නිරතුරුවම ඔබට සහයක් වනු ඇත. ලියන්න ඔබේ හද දවන ගැටලුව තරුණීට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු. අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්.

කොළඹ - 10.

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

මවගේ පිරිසුදුකම අසාමාන්‍යයි

 

ප්‍රශ්නය

මෙම ගැටලුව මාගේ මව සම්බන්ධවයි. ඇයට වයස අවුරුදු 49කි. ඇය නිතර පිරිසුදුවට ඉන්න කැමැති කෙනෙක්. නමුත් ඒ පිරිසුදුකම අතිශය අසාමාන්‍යයි. ඇය අඩුම තරමින් විනාඩි 15කට සැරයක්වත් දෑත් සෝදයි. දිනකට දෙතුන්පාරක් ස්නානය කරයි. රෙදි සෝදා වියැළෙන්න වැලට දෑමූ පසු හේදුණා මදි කියා නැවතත් ඒ රෙදි සෝදයි. උයන්න පිහන්න ගිය විට භාජන සිය සැරයක් විතර සෝදයි. මේ දේවල් නිතර දැකලා මටත් දැන් පිස්සු වගේ. ඇය සිටින්නේ ප්‍රතිකාර ලබා ගත යුතු තත්ත්වයක ද?

 

පිළිතුර

ඔබගේ මවට ඇත්තේ ග්‍රස්ථිය නම් රෝගී තත්ත්වයයි.

ග්‍රස්ථිය නම් මානසික රෝගය ඇතිවීමට මූලිකම හේතූව ලෙස හඳුනාගෙන ඇත්තේ ජානමය හේතූන්ය. ඊට අමතරව කුඩා කාලයේදී මොළයට ඇතිවන ආසාදිත තත්ත්වයන් ද පසුකාලීනව ග්‍රස්ථිය ඇතිවීමට බලපා හැකිය.   

රෝග ලක්ෂණ වන්නේ එකම කාර්යයක් නිතර නිතර කිරීමට පෙළඹීම, නිෂ්ඵල සිතුවිලි නිතර නිතර සිතට ඇතුළු වීම, තම සිතට නැ‍ෙඟන සිතුවිලි ප්‍රියජනක නොවුවද ඒවා ඉවත්කර ගන්නට රෝගියාට හැකියාවක් නොමැති වීම, අවිනිශ්චිත සිතුවිලි නිතර සිතට ඇතුළු වීම උදාහරණයක් ලෙසට නිවෙසින් පිටවීමට පෙර වරක් දෙවරක් නොව වඩා වැඩි වාර ගණනක් දොර වසා ඇද්දැයි සොයා බැලීම, විදුලි ස්ත්‍රික්කය ක්‍රියා විරහිතව ඇති විට දී පවා කිහිප වරක්ම ඒවා විදුලි පද්ධතියෙන් වෙන්කර ඇද්දැයි සොයා බැලීම, වාහනයක ගමන් ගන්නා විට තමා වාහනයෙන් ඉදිරියට පනී කියා සිතට දැනීම, ආගමික ස්ථානයකට ගිය විට ආගමික විරෝධී අදහස් පහළ වීම, පිහියක් හෝ තියුණු ආයුධයක් දුටු විට එම ආයුධයෙන් තමා තමාටම ඇනගනී යැයි සිතන රෝගීන් එවැනි ආයුධ දුටු විගස සඟවා තැබීම,අධික පිරිසුදුභාවය ද ග්‍රස්ථිය රෝගීන්ගෙන් දැකගත හැකි සුලභ දසුනකි.   

නෑමට පෙර සබන් කැබැල්ල කුඩා කැබැලි කිහිපයකට කපා ගන්නා මෙම රෝගයෙන් පෙළෙන්නෝ ඒ සබන් කැබලි සියල්ල අවසන්වන තෙක්ම ස්නානය කරති.   

ශරීරයේ එක් කොටසකට ආලේප කළ සබන් කැබැල්ලක් ශරීරයේ වෙනත් කොටසක ගැල්වීමට ප්‍රියතාවක් නොදක්වයි. එසේ කළ හොත් ශරීරයේ එක් කොටසක තිබූ විෂබීජ තවත් කොටසකට යයි කියා බියක් ඇතිකර ගනී. අවම වශයෙන් ග්‍රස්ථියෙන් පෙළෙනා රෝගියෙකු පැය දෙක තුනක් නෑම සඳහා වැය කිරීම සාමාන්‍ය පුරුද්දකි.   

තමාගේ ශරීරයට විෂබීජ ඇතුළු වේ යැයි අධික බියකින් පසුවන මොවුන් තමාගේ ඇඳුම් අන් අයගේ ඇඳුම් සමඟ සේදීමට අකමැතිය. හොර රහසේම සෝදා ගන්නා යට ඇඳුම් තද අව්වේ වියළා ගැනීමට වැළක හෝ වෙනයම් තැනකට දැමීමට ඔවුන් දැඩි සේ අකමැතිය. විෂබීජ ශරීරගත වේ යැයි සිතනා ඔවුන් සෝදා ගන්නා යට ඇඳුම් මිරිකා නැවත ඇඳ ගැනීමට පෙළඹේ.   

එකම වර්ණයක එකම හැඩතලයකට ඇඳුම් අඳිනට ප්‍රියතාවක් දක්වන මොවුන් අැතැම් විට එකම ඇඳුම සෝද සෝදා ඇඳීම ද සිරිත වේ.   

තමා කරනා කාර්යය නිවැරදි ද යන්න නිතර නිතර සොයා බලන නිසාම සෑම දෙයක්ම කිරීමට විශාල පමාවක් ඇතිකර ගනී. එම නිසාම අසාර්ථක චරිත බවට පත් වේ.කැම බීම ගැනීම, නිදා ගැනීම, ඉඳුම් හිටුම් ආදී සෑම කාර්යයකදීම සියල්ල මොවුන්ට අකුරට තිබිය යුතුය.   

කන පිඟාන, බොන කෝප්පය හෝ වීදුරුව නියමිත තැන නොමැතිව වෙන තැනක තිබෙනවා දැකීම, ඇඳ ඇතිරිලි තමා සිතනා ආකාරයෙන් නොවීම ආදී පුංචි පුංචි දේවලදී පවා අධික ලෙස ආවේගශීලීව කටයුතු කිරීමට යාමෙන් කාගේත් අප්‍රසාදයට ලක්වෙතියි.   

මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ග්‍රස්ථිය රෝගියෙකුගෙන් දැකිය හැකි අතර මෙවැනි රෝග ලක්ෂණ තිබීම දෛනික ජීවිතයට ද බලපෑමක් එල්ලවන බැවින් රෝගය නිවැරදිව හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතාම වැදගත්ය. ග්‍රස්ථිය යනු නිවැරදිව හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණයෙන් සුවපත් කළ හැකි රෝගි තත්ත්වයකි. එහෙයින් නොපමාව ඒ සඳහා ක්‍රියාත්මක වන්න. උපදේශනය චර්යාත්මක වෙනස්කම්, ඖෂධීය ප්‍රතිකාර, මනෝ චිකිත්සක ප්‍රතිකාර, වෘත්තිමය වශයෙන් කළ හැකි සරල ප්‍රතිකාර ක්‍රම ආදී ක්‍රම මඟින් ප්‍රතිකාර ඇරඹිය හැකිය.

 

ස්වාධීන ජීවිතයකට උපදෙසක්

 

ප්‍රශ්නය

දරාගත නොහැකි වේදනාවක් හිතට දැනෙන අවස්ථාවකයි මෙය ලියන්නෙ. එය අවුරුදු 5ක විවාහය නිම වෙන වේදනාවද අවුරුදු 4ක මගේ පුතුට පියෙක් අහිමි වීමද කියලා මට වටහා ගන්න බැහැ. විවාහයට ඇතුළු වූ දා සිට වංචා කළ , විවාහය කියන පාරිශුද්ධ බැඳීම විහිළුවක්කර ගත් සැමියෙකු සමඟ ගතකළ ජීවිතය අහවර කරන්න මං අද තීරණය කළෙමි. නීතිඥවරයා සමඟ සංවාදය අවසානයේ මහ බරක් දැනුණි. සැමියාගේ වංචා අසුවුණු හැම අවස්ථාවකම ඉක්මනින්ම වෙන් වෙන්න අවශ්‍ය වුණා. මෙම පුද්ගලයා සමඟ ගෙවන ජීවිතය වේදනාවක් කියලා සිතූ නමුත් අද දින එය ක්‍රියාත්මක කළ අවස්ථාවේ මහ හිස් බවක්, ඉදිරි අනාගතය ගැන වටහාගත නොහැකි බියක් දැනෙනවා. මේ තීරණය මගෙ සිඟිති පුතුට කොහොම බලපාවිද? පුංචි මනසට දිනපතා දැකපු පියා නොදකින කල කොහොම දැනෙයිද? විසඳා ගන්න බැරි ප්‍රහේළිකාවක් වගේ දැනෙනවා. හිත ශක්තිමත් කරගෙන මට මාව බේරාගැනීම උදෙසා ගත් තීරණය නිවැරදි කියා හිතනවා. මගේ හිත ශක්තිමත් වීමට උපදෙසක් ලබා දෙන්න.

 

 

පිළිතුර

විවාහය කියන්නේ ජීවිතය වෙනස් කරන සන්ධිස්ථානයක්. දෙදෙනෙක් විවාහ දිවියට එළැඹෙන්නේ ආදරයේ ප්‍රතිඵලයක් විදිහට. විවාහයට එළඹ දරුවන් සාදා සතුටින් ජීවත් වීම ඕනෑම යුවලකගේ පැතුමයි. මේ කාලේ දික්කසාදය බොහෝ දෙනා සාමාන්‍ය දෙයක් විදිහට හිතුවට එයින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. බොහෝ විට මෙවන් තත්ත්වයකදී පීඩා විඳින්නේ තම දරුවන්. අවසන් වරට හෝ ඔහුව යහමගට ගන්න උත්සාහයක යෙදෙන්න. ඔබ දැනටමත් ඔහුව හිතෙන් අමතකකර ඇතිනම් ඔබේ හිත ශක්තිමත්ව තබා ගන්න. මොකද මෙවැනි තත්ත්වකට මුහුණපාන ලෝකයේ ප්‍රථම අම්මා ඔබ නොවේ. මෙවන් මව්වරුන් මේ ලෝකයේ දහස් ගණන් සිටිති.

දරුවට මවත්, පියත් ඔබම වී ජීවිතයට සතුටින් මුහුණ දෙන්න. දරුවාට පියා නැති අඩුව නොදැනෙන්න ආදරෙන් රැක බලා ගන්න. හැබැයි දරුවකුට පිය සෙනෙහස අහිමි වීම ජීවිතයටම බල පෑ හැකියි. ඒ නිසා ඔබ මව් සෙනෙහස ඔහුට ලබා දෙනවා සේම පියාගෙන් පියසෙනෙස උරුම වීමට ඔහුට අයිතියක් ඇත. ඒ නිසා ඒ ගැනත් සිතන්න.

මවක් දරුවන් සමඟ තනිවම ජීවත්වෙනවා කියන්නේ ඉදිරියේදී බොහෝ ප්‍රශ්නවලට තනිවම මුහුණ දීමට සිදුවේවි. ඒ නිසා සිත දැඩිකොට ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න.

 

ජීවිතේම එපා වෙලා

 

ප්‍රශ්නය

මං විවාහ වෙලා. එක බබෙක් ඉන්නේ. බබාට අවුරුදු 8ක්‌ වෙනවා. මම ජීවිතේ ගෙවන්නේ ලොකු දුකකින්. ඒක කියලා නිමකරන්න බැරි දුකක්. මම මගේ සැමියාටවත්, සැමියා මටවත් කැමැති නැහැ. අපි ආගම් දෙකක ඒක තමයි ලොකුම ප්‍රශ්නය කියලා දැන් මට හිතෙනවා. එහෙම හිතුව නම් මං බඳින්නේ නැහැ. ඒත් දැන් ඒක එයාටත් එයාගේ පවුලේ අයටත් ප්‍රශ්නයක් වෙලා ඉවරයි. ඒවා අළුයට ගිනි වගේ තමයි. දැන් අවුරුදු 10ක්‌ වෙනවා විවාහ වෙලා. ඒ කාලේ ඉඳන් පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. දැන් පොඩි පොඩි ප්‍රශ්නත් ලොකු ලොකු ප්‍රශ්න වෙලා. මෙහෙම මේ දේවල් තේරුම් කරන්න මට අමාරුයි. මම හොඳ රැකියාවක් කරනවා. සැමියත් එහෙමයි. ජීවිතේ ඉතුරු ටිකේ හරි අවංකව හිනා වෙලා ජීවිතේ ගෙවන්න ආසයි. හැමදාම මැරිලා වගේ ජීවිතේ ගෙවන්න බෑ. මගේ ඔළුව හොඳ නැති වු‍ෙණාත් කියලා මටම බයයි. දරුවට මුකුත් ප්‍රශ්න එන එකක් නෑ. මම කොහේ හරි ගියාම ගෙදර කෙනා සතුටින් ඉන්නේ. එනකොට ඔක්කොම අනිත් පැත්ත. හොර සම්බන්ධ මුකුත් නෑ. ඒක මම විස්වාසෙන් දන්නවා. අපිට වෙනම එපා වීමක් තියෙන්නේ දෙන්නටම ඒක එහෙමයි. ඒක මොකක්ද කියලා මට කියාගන්න තේරෙන්නේ නැහැ. මේ ජීවත් වීමෙන් කිසිම තේරුමක් නැහැ කියලා මට හිතෙනවා. මට උපදෙසක් ලබා දෙන්න.

 

පිළිතුර

හරියාකාර බැඳීමකට ආගම, කුලය, වයස් භේද බලන්නේ නැහැ. බැඳීමක් පවතින්නේ හරි අවබෝධයක් ඇතුවයි. ඔබ දෙදෙනාගේ අවබෝධයේ ගැටලුවක් ඇතිබවයි පෙනෙන්නට තියෙන්නේ. දෙදෙනා කතා බහ නොකර සිටින තාක් මේ ගැටලුවට පිළියමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට කතා කරන්න. ඔබගේ මනසේ තත්ත්වය සිතේ පවතින දේවල් ඔහුත් සමඟ බෙදා ගන්න. සමහරවිට ඒ විදිහේ කතා බහකින් ඔහුගේ සිතේ පවතින්නේ මොනවගේ හැඟීමක්ද කියන එක ගැන ඔබටත් හරි අවබෝධයක් ලබා ගන්නට හැකි වේවි. මේ කතා බහ නීරසව ගිය ඔබේ ජීවිතයට එළියක් එකතු කරාවි. ඔබ ඔහු ගැන සොයා බලන්න. එවිට ඔහුත් ඔබ ගැන සොයා බලා ආදරයෙන් සලකාවි. කිසිම විටෙක හදිසි තීරණ ගැනීමට ඉක්මන් නොවන්න. ඔබ දෙදෙනාම පවුල් උපදේශනයකට යොමු වීමයි සුදුසු වන්නේ. එතෙක් සිත සතුටින් තබා ගැනීමට ඔබ කැමැති විනෝදාංශවල නියැ‍ෙළන්න. දරුවා සමඟ කාලය ගතකරන්න. ඇවිදින්න යන්න. මේ දේවල් එක්ක මනසට සුවයක් ලබා ගත හැකියි.

 

උපදෙස්

අංගොඩ ජාතික මානසික

සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ