ලංකාවටත් කුරුලු උණ එයි ද?

ජූලි 1, 2024

 

ඉන්දියාව වැනි අසල්වැසි රටවල මිනිසුන් අතර කුරුලු උණ හඳුනා ගැනීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාවට ද ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී තිබේ.

කුරුලු උණ යනු ඉන්ෆ්ලුවෙන්සා වයිරසය මඟින් ඇතිවන බෝවන රෝගයකි.

එය මූලික වශයෙන් පක්ෂීන්ට බලපාන නමුත් අනෙකුත් සතුන්ට සහ මිනිසුන්ට ද ආසාදනය විය හැකියි.

මෙම රෝගය ඉන්ෆ්ලුවෙන්සා වයිරස්වල විවිධ ප්‍රභේද නිසා ඇති විය හැකි අතර, H5 උප වර්ගය දරුණු ලෙස පැතිරයෑමට ඇති හැකියාව නිසා වඩාත් වැදගත් එකක් වේ.

ප්‍රධාන කුරුලු උණ ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදවලට H5, H7, H9 සහ H10 ඇතුළත් වේ.

ප්‍රධාන මානව ආසාදන ප්‍රභේද වන්නේ H5N1, H5N8 (කලාතුරකින්), H7N9, H7N2, H7N3, H7N7, H9N2 සහ H10N8ය.

H5N1 සහ H7N9 විශේෂයෙන් දරුණුවන අතර එය ඉහළ මරණ අනුපාතයක් ඇති කරයි.

H9N2 සහ H10N8 සාමාන්‍යයෙන් මෘදු රෝග ඇති කරයි.

මෙම වයිරස් විකෘති වීමට සහ වසංගත ඇති කිරීමට ඇති හැකියාව හේතුවෙන් අඛණ්ඩ නිරීක්ෂණය ඉතා වැදගත් වේ. බටහිර බෙංගාලයේ දරුවකුට කුරුලු ඉන්ෆ්ලුවෙන්සා ඒ (H9H2) වයිරසය සමඟ මිනිස් ආසාදනයක් පිළිබඳ මෑතදී වාර්තා වීම සීරුවෙන් සිටින්නට කරන ඉඟියකි.

මෙය H9N2 ප්‍රභේදය වාර්තා වූ දෙවැනි අවස්ථාවයි.

ඉන්දියාවේ මිනිසුන් අතර පළමු සිදුවීම 2019 දී වාර්තා වී තිබිණි. එහිදී කුකුළු මස් නිසා දරුවාට ආසාදනය වී ඇති අතර පසුව සුවය ලබා තිබේ.

මීට අමතරව 2024 මැයි මාසයේදී, ඔස්ට්‍රේලියාව සිය පළමු කුරුලු උණ රෝගියා සනාථකර තිබිණි.

එක්සත් ජනපදයේ H5N1 කුරුලු උණ රෝගීන් තිදෙනෙකු 2024 දී වාර්තා වී ඇති අතර එම රෝගීන්ට අදාළ සිද්ධි ටෙක්සාස් සහ මිචිගන්වල කිරි එළදෙනුන් සමඟ සම්බන්ධ වී ඇත.

මෙම සිද්ධීන් මිනිසාගෙන් මිනිසාට ව්‍යාප්ත වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර සෘජුවම සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිඵලයක් විය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) විශේෂඥ වයිරස් විද්‍යාඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසන්නේ කුරුලු ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ විවිධ ප්‍රභේද මිනිසුන් ඇතුළු නව කණ්ඩායම්වලට අනුවර්තනය වීමට ඇති හැකියාව නිසා සැලකිය යුතු අවධානයක් යොමු කරන බවයි.

“ගෝලීය තත්ත්වය අනුව ශ්‍රී ලංකාව මිනිසුන් තුළ H9, H7 සහ H5 කුරුලු උණ රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව වර්ධනයකර තිබෙනවා. තවද, රෝහල්වල සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා නිරීක්ෂණ මඟින් මිනිසුන් තුළ කුරුලු උණ ඇති බවට සැක කෙරෙන ඕනෑම සිද්ධියක් හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා ” යනුවෙන් ඔහු පෙන්වා දෙයි. කුරුල්ලන්ගේ කෙල, ශ්ලේෂ්මල සහ අසූචිවලින් වයිරසය වැගිරෙන බවත්, ඒ අනුව ආසාදිත පක්ෂීන් හෝ දූෂිත පරිසරයන් සමඟ සමීප, අනාරක්ෂිත සම්බන්ධතා පවත්වන පුද්ගලයන්ට හෝ සතුන්ට වයිරසය ආසාදනය විය හැකි බවත්ය.