මුඛ පිළිකාවක්ද ? සැකහැර දැන ගන්නේ මෙහෙමයි

අගෝස්තු 5, 2024

 

පිළිකා මාරයාගේ ගොදුරට ඔබේ මුඛය හසුවුවහොත් ....මොන තරම් අසරණ හැඟීමක් දැනේවිද?

 

වසර ගණනාවක පටන් ශ්‍රී ලංකාවේ පිරිමින් අතර වැඩිපුරම දක්නට ලැබෙන පිළිකා වර්ගය වන්නේ මුඛ පිළිකාවයි. කාන්තාවන් අතරත් දැන් දැන් බහුලවම දක්නට ලැබේ. මේ සඳහා බලපාන මූලිකම හේතුව අපේ සංස්කෘතිය හා බැඳුණු බුලත්විටයි. බුලත්විට සැපීම ඇබ්බැහියක් වූ විට එහි අවසානය ඇතැම් විට මුඛ පිළිකාවකින් වීමට පුළුවනි. මීට අමතරව පුවක් සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, බාබුල්, බීඩි, සුරුට්ටු මද්‍යසාර භාවිතය කැපීපෙනෙන හේතු සාධක වේ. එය පිළිකාව සෑදීමට ඇති අවදානම බොහෝ සෙයින් වැඩි කරයි.

 

බුලත්විට කෑමේදී පුවක්, හුනු, දුම් කොළ ගනියි. පුවක්, දුම්කොළ සහ හුනු පිළිකාකාරකයන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබේ. දුම්කොළය සපා කෑවොත් එහි පිළිකාජනක ද්‍රව්‍ය 28ක් අඩංගු වේ. පුවක්වල පිළිකා ජනක ද්‍රව්‍ය හතරක් අඩංගු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි වේ.

නාටා ආයතනය මඟින් දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍ය තහනම් කොට තිබේ. ජාතික පිළිකා මර්දන ආයතනය එක්ව රාජ්‍ය ආයතන ආශ්‍රිතව දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම් කොට තිබේ. පිළිකා අවදානම අවම කිරීම මින් අපේක්ෂා කෙරේ.

මුඛය පැහැදිලිව පෙනෙන තැනකි. සරල මුඛ පරීක්ෂාවක් ඔස්සේ මුඛ පිළිකාවක් හඳුනාගත හැකි වනු ඇත. එය ස්වයං පරීක්ෂාවක් හෝ සායනික පරීක්ෂාවක් විය හැකියි.

 

ස්වයං පරීක්ෂාව

මුඛ පිළිකා සඳහා දැඩි අවදානමක් ඇති අය ස්වයං පරීක්ෂාවක් කෙරෙහි යොමුවීම අතිශය වැදගත් වෙයි. උදෑසනට දත් මදින විට කණ්ණාඩියක් ඉදිරිපිටට ගොස් මාසයකට වතාවක් හෝ මුඛය තුළට හොඳින් ආලෝකය ලැබෙන්නට සලස්වන්න. උඩු තොල, යටි තොල, දිව, මුඛ කුහරය ඇතුළුව මුඛය පුරාම හොඳින් පරීක්ෂා කොට යම්කිසි වෙනසක් සිදුවේ දැයි නිරීක්ෂණය කරන්න. (විශේෂයෙන්ම පුවක්, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන අය) යම් වෙනසක් ඇත්තේ නම් දන්ත වෛද්‍යවරයකු වෙත යොමු වන්න. කෙසේ වෙතත් වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු වෙත යොමු වී මුඛය, දත් පරීක්ෂා කරගැනීම වැදගත් වේ. සුදුසුකම්ලත් දන්ත වෛද්‍යවරයකු වෙත යෑමෙන් සායනික පරීක්ෂාවකින් මුඛ පිළිකාව හඳුනාගත හැකි වේ. පූර්ව පිළිකාවක් හඳුනා ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ වෛද්‍යවරුන් දැනුම්වත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදුවේ. බෝ නොවන රෝග හඳුනා ගැනීමට ඇති සුව දිවි සායන මඟින් ද පිළිකාවක් ඇති වීමට පෙර සිටන්ම මුඛයේ ඇති වෙනස්කම් අයහපත් අතට හැරෙන්නේද යන්න හඳුනාගත යුතු වේ. නිසි ප්‍රතිකාර ලබා ගත්තේ නම් පමාව අවම වූයේ නම් මුඛ පිළිකාව වළක්වාගත හැකි වේ. මුඛ පිළිකාවක් යනු දිව, තොල සහ මුඛ කුහරය ආශ්‍රිතව හටගන්නා පිළිකාවකි. ප්‍රධාන ඛේට ග්‍රන්ථිවල පිළිකා මුඛ පිළිකා සඳහා ඇතුළත් නොවේ. මෙය ඉතාමත්ම මාරාන්තික පිළිකාවකි. මුඛය ආශ්‍රිත ශ්ලේෂ්මල පටල සමඟ මෙම පිළිකාව හටගන්නා අතර, හටගන්නා ස්ථානය අනුව රෝගීන්ට බොහොමයක් ගැටලුවලට මුහුණපාන්නට සිදු වේ. නොයෙකුත් විකෘතිතා ඇති වේ. එදිනෙදා කටයුතු පවා සිදුකර ගැනීමඅපහසු වේ.

සෞඛ්‍යසම්පන්න ශ්ලේෂ්මල පටලයකට යම් හානියක් සිදුවුවහොත් එහි සෛලවල වෙනස්කමක් සිදු වෙයි. පාලනය නොවුණු සෛල වර්ධනය පිළිකාවක් බව ඔබ දන්නවා ඇති. මුඛ පිළිකාවද එසේ වර්ධනය වී සිරුරේ අනෙක් ස්ථානවලට පැතිරෙයි. සාමාන්‍යයෙන් ශ්ලේෂ්මල පටලය, පූර්ව පිළිකා ලක්ෂණ පෙන්වා පිළිකාවක් දක්වා වර්ධනය වේ. එහෙත් සාමාන්‍ය ශ්ලේෂ්මල පටලය පූර්ව පිළිකා ලක්ෂණ නොපෙන්වා ඍජුවම මුඛ පිළිකාවක් විය හැකි අවස්ථාද තිබේ.

මුඛ පිළිකා හටගන්නේ බොහෝ විට අයහපත් සෞඛ්‍ය පුරුදු නිසයි. මෙහිදී වෙනස් කළ හැකි අවදානම් සහගත තත්ත්ව සහ වෙනස් කළ නොහැකි අවදානම් සහගත තත්ත්ව ලෙසින් කොටස් දෙකක් පවතී. බුලත්විට, දුම්පානය, මත්පැන්, වෙනත් දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් ඈත්වීම වෙනස් කළ හැකි සාධකයකි. ජානවල බලපෑම, වයස වාර්ගිකත්වය වෙනස් කළ නොහැකි අවදානම්සහගත තත්ත්වයි.

දකුණු ආසියාතික රටවල මුඛ පිළිකා සඳහා වඩාත් හේතු වන්නේ වෙනස් කළ හැකි අවදානම්සහගත තත්ත්වයි. එනම් සියයට 90ක්ම ඇත්තේ බුලත්විට ආශ්‍රිත ගැටලුයි.

හියුමන් පැපිලෝමා වයිරසය ආශ්‍රිතව මුඛ පිළිකා හටගැනීමේ තත්ත්වයක් වර්තමානයේ දැක ගත හැකි වෙයි.

මුඛ පිළිකාව වළක්වා ගැනීමට නම්

* අයහපත් සෞඛ්‍ය පුරුදුවලින් ඈත් විය යුතුයි. එනම් බුලත් විට නොසැපීම, මත්පැන් සහ දුම්පානයෙන් ඈත් වීම

* බුලත් විට සපන්නේ නම්

.දුම්කොළ සහ පුවක් භාවිතය ක්‍රමයෙන් අඩු කොට නවතා දැමීම

. බුලත් විට හපන වාර ගණන අඩු කිරීම

. විට කටේ තබාගෙන නොසිටීම

.මුඛය හොඳින් පිරිසුදු කිරීම

* දිනකට බුලත්විට 3කට වඩා කන්නේ නම්

* දිනකට බුලත් විට 1 - 3 ත් අතර කන්නේ නම්

* වයස අවුරුදු 30ට වැඩි නම්

* කිසිදිනෙක හෝ දුම් පානයකර ඇත්නම්

* කෙදිනක හෝ මත්පැන් පානය කර ඇත් නම්

අවම වශයෙන් වසරකට වරක් හෝ දන්ත ශල්‍ය වෛද්‍යවරයකු

මුණ ගැසීම අත්‍යවශ්‍ය වේ.

මුඛ පිළිකාවක් ඇතිවුවහොත් ශල්‍යකර්ම සිදු කරන්නට වේවි. ඉන්පසු මුහුණ මුඛය ප්‍රදේශයේ යම් යම් සීමාවන්ට යටත් වන්නට වේවි. ඉන් ජීවිතයේ

ගුණාත්මකභාවයට බලපෑම් ඇතිවිය හැකියි. නිසි ප්‍රතිකාර නොකළේ නම් ජීවිතය මරණයෙන් වුව කෙළවර විය හැකියි.

සෑම දිනකම මුඛ පිළිකා රෝගීන් 9ක් 10ක් පමණ හඳුනාගත හැකි අතර දිනකට තුන්දෙනෙක් පමණ ඒ නිසා මිය යයි.

මුඛ පිළිකාව කලින් හඳුනාගතහොත් සුව කළ හැකියි. මේ නිසා මුල් අවධියේදී හඳුනා ගැනීම සෞඛ්‍ය අංශයන්හි ප්‍රධානම ඉලක්කයයි.

 

 

උපදෙස්:

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ

ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය

ප්‍රසන්න ජයසේකර,

මුඛ හනුක ශල්‍ය විශේෂඥ වෛද්‍ය

මංජුල හේරත්