තුන් වේලම බත් කන එක හොඳයි කියලද හිතුවේ

අගෝස්තු 12, 2024

 

තුන් වේලම බත් කන එක ගැන බොහොමයක් දෙනා කතා කරන්නේ හරිම උජාරුවෙන්. එහෙත් තුන් වේල බත් කන එකම අගුණයි කියලා දන්නවද?

 

දියවැඩියාව, අධික රුධිර පීඩනය, බුද්ධිහීනතාවට හේතුව ආහාරයි. ආහාර වලින් ලැබෙන්නේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මිස ලෙඩ සුව කිරීම නොවේ. ලෙඩ රෝගවලට ආහාරවලින් ප්‍රතිකාර කෙරෙන්නේ නැත.

ලෙඩ රෝග සුව කරන්නේ ඖෂධයි.

රෝග සුව කරන්න ආහාරවලට පුළුවන් බව වැඩිමනත්ම ප්‍රචාරණය කරන්නේ වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍යයයි. ඉදිරියේදී ආහාරවලින් ලෙඩ රෝග සුව කරන්න පුළුවන් බව ප්‍රචාරණය කළ නොහැකියි. එසේ කරන්නේ නම් විධිමත් සායනික දත්ත, විද්‍යාත්මක දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත්කර අවසර ගත යුතුයි.

ආහාර දැන්වීම් සම්බන්ධයෙන් වන සංශෝධනයන්

2025 ජනවාරි පළමුවැනිදා සිට අදාළ වේ. 1980 අංක 26 දරන ආහාර පනතේ 3 වන වගන්තිය අනුව යම් ආහාරයක ස්වභාවය, අගය, තත්ත්වය, සංයුතිය, ගුණය හෝ ආරක්ෂා සහිත බව සම්බන්ධයෙන් අසත්‍යය, නොමඟ යවන සුළු, රැවටෙන හෝ වැරදි හැඟීමක් ඇතිවිය හැකි ආකාරයෙන් එම ආහාරය ලේබල් කිරීම, හැසිරීම, පදම් කිරීම, සකස් කිරීම, විකිණීම හෝ ප්‍රචාරය කිරීම කිසිම තැනැත්තකු විසින් නොකළ යුතුය.

මේ වගන්තියේ විධිවිධාන උල්ලංඝනය වන ආකාරයට යම් ආහාරයකට ලේබල් කිරීම හෝ එම ආහාරය ප්‍රචාරය කිරීම ප්‍රධාන ආහාර බලධාරියා විසින් එම ආහාරය පිළිබඳ ලේබල්කරුට හෝ ප්‍රචාරය කරන්නාට කරුණු කියා පෑමේ අවස්ථාවක් සැලසීමෙන් පසුව තහනම් කළ හැකියි.

ආහාර දැන්වීම් සඳහා අවුරුදු තුනට අඩු දරුවන්, ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන් පෙනී සිටින දැන්වීම් තහනම් වේ. රටේ නීතිය අනුව මින් ඉදිරියට එවැනි දැන්වීම්වලට විරුද්ධව නීතිමය කටයුතු සිදුවේ.

 

සාමාන්‍යයෙන් ලංකාවේ ආහාර ගන්නා ප්‍රමාණය එක් අයෙක් වසරකට ගන්නා ප්‍රමාණය ලෙස ගණන් බලා තිබේ.

ඒ අනුව

* සහල් කිලෝග්‍රෑම් 150 යි (සතියකට සහල් කිලෝග්‍රෑම් 2.8)

* තිරිඟු පිටි කිලෝග්‍රෑම් 32 යි

* පාන් කිලෝග්‍රෑම් 11 - 12 ක්

* සීනී කිලෝග්‍රෑම් 24 ක්

* මාළු කිලෝග්‍රෑම් 18ක්

* කුකුළු මස් කිලෝග්‍රෑම් 10ක්

* බිත්තර 93 ක්

* කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ලීටර් 34ක්

අධික වශයෙන් පිෂ්ටය අඩංගුව තිබීමත් මස්, මාංශ ඇතුළු ප්‍රෝටීන ප්‍රභවයන් අඩුවීම ආහාර වේලේ ගුණාත්මකභාවය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කොට තිබේ.

ආහාරවේලක් විවිධාංගීකරණය වීම ඔස්සේ එය පෝෂණීයබවින් ඉහළ එකක් බවට පත්වෙයි. එකම දේ ආහාරයට ගැනීමෙන් පෝෂණ ඌනතාවන් හට ගන්නවා සේම එම ආහාරයෙහි ඇති විෂ ද්‍රව්‍ය ශරීරයට එකතු වේ.

සහල්වල පිෂ්ටය අඩංගුවනවා සේම ජලයෙහි දියවන විටමින් වර්ග කිහිපයකුත්, ඉතා සුළු වශයෙන් ප්‍රෝටීනත් අන්තර්ගත වේ.

ගුණාත්මකබව එසේ තිබියදී වකුගඩු රෝගීන් යැයි හඳුනා නොගත් අය පරිභෝජනය කරන සහල් විශ්ලේෂණය කරද්දී එහි කැඩ්මියම් හා ලෙඩ් යන බැර ලෝහ වර්ග අඩංගු බව සොයාගෙන තිබේ.

ශරීරයට දරාගත නොහැකි තරමට වඩා ශරීරගත වීමත් සමඟින් එය අගුණ වෙයි. ජාතියක් වශයෙන් අධික බත් ප්‍රමාණයක් ආහාරයට ගැනීම ජාතියම රෝගී කරවීමට හේතු වේ. මේ ශක්ති ප්‍රමාණයෙන් කොටසක් මස්, මාළු, බිත්තරවලින් ආවරණය කරගැනීමයි කළ යුතු වන්නේ. මීට අමතරව ධාන්‍ය, පියලි වර්ග, එළවළු, පලතුරු පලා වර්ගවලින් ආහාරවේල පෝෂණය විය යුතුයි.

කය වෙහෙසවා වැඩ කරන කෙනකුට හැරෙන්නට කාර්යාලවල වැඩ කරන අයට පිෂ්ටය අධික ආහාර කිසිසේත්ම සුදුසු නොවේ. අතීතයේ වැඩිපුරම සිටියේ කය වෙහෙසවා වැඩ කරන පිරිසයි. ඔවුන් බත් සමඟ කුරහන්, මෙනේරි, දඩ මස්, මාළු, ගෘහ ආශ්‍රිත සතුන්ගේ සත්ත්වමය නිෂ්පාදන ආදිය එකතු කරගෙන තිබේ.

ෆිජී දූපත්, පැපුවා නිව්ගිනියා, සොලමන් දූපත් වැනි ඉතා පුංචි දූපත් කිහිපයක හැරුණු විට ලංකාවේ ආහාර රටාව ලොව කිසිම රටකින් දැකගත නොහැකියි.

 

උපදෙස් : සෞඛ්‍ය අමාත්‍යාංශයේ

ආහාර පාලන ඒකකයේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

විශේෂඥ වෛද්‍ය

ආනන්ද ජයලාල්