ක්‍රීඩා වෛද්‍ය සහතික ගන්න විදිහ දන්නවද?

අගෝස්තු 12, 2024

ගැහැනු පිරිමි භේදයකින් තොරව පාසල් ළමුන් ක්‍රීඩා කටයුතුවල නියැළීම යහපත් ප්‍රවණතාවක් බවට පත් වී තිබේ. ක්‍රීඩා කටයුතුවල නිරතවන්නට පෙර දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යම් නිර්ණයකට එළැඹ තිබීම සුදුසු වේ.

පසුගිය කාලයේ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූ පාසල් ළමුන් කිහිපදෙනෙක් අවාසනාවන්ත ලෙස මිය යාම හේතුවෙන් ධාවන ඉසව් හා දැඩි ලෙස කය වෙහෙසා සිදු කරන ක්‍රීඩාවලට ප්‍රථම ක්‍රීඩා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා මහ රෝහල්වල (නිදසුනක් ලෙස ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගම්පහ, රාගම, මීගමුව රෝහල් වල ) ක්‍රීඩා වෛද්‍ය ඒකක ස්ථාපිතකර ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා දී තිබේ. ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වන ළමුන්ට සතියේ දින 5 හා සෙනසුරාදා දින උදේ වරුවේ අදාළ රෝහල් වෙත යොමු වී එම යෝග්‍යතා සහතිකය ලබා ගත හැකියි. එහිදී ECG පරීක්‍ෂණ, දරුවා පරීක්‍ෂා කිරීම සහ විනාඩි 20ක් දිවීම ආදිය සිදු කෙරේ. මේ සඳහා කල් තබා අදාළ වෛද්‍ය ඒකකයෙන් දින වෙන් කර ගෙන ඊට සහභාගි වීම මඟින් අනවශ්‍ය කලබලය හා මව්පියන් අපහසුතාවට පත් වීම වළක්වා ගත හැකියි.

මෙම ක්‍රීඩා යෝග්‍යතා සහතිකය වසරක් සඳහා වලංගු වන අතර එම සහතිකය හිමි ක්‍රීඩකයකුට ක්‍රීඩා ඉසව්වක් සඳහා සහභාගී වීමට දින 3ක් ඇතුළත ඔහුගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය පවුලේ වෛද්‍යවරයා ලවා සහතික කරගත හැකිය. ඒ සඳහා තීරුවක් අදාළ සහතිකයේ ඇත.

* ක්‍රීඩා යෝග්‍යතා වෛද්‍ය සහතිකය නිකුත් කිරීමට බලය ඇත්තේ ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්ට පමණි.

 

උපදෙස් : වෙෙද්‍ය චින්තන විරාජ් ලියනගේ