ජීවිතයකට පණ දෙන්න අවස්ථාව මඟ නොහරින්න

ලෝක අවයව දන් දීමේ දිනය මේ මාසයට යෙදී ඇත.
අගෝස්තු 19, 2024

 

ජීවත්ව සිටියදී හෝ මරණින් මතු තම අවයව දන් දීමට සිත නැමීමම පවා පින් පුරන මහඟු සත්කාරයකි. කිසිම මුදලක් අය නොකර හෝ වැය නොකර කළ හැකි ජාති ජාතිත් පල විපාක ලැබිය හැකි පුණ්‍යකර්මයකි. සංස්කෘතිය, සදාචාරය කෙරෙහි තදින්ම බැඳුණු කර්ම විපාක පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති බහුතරයක් සිටින රටක අවයව පරිත්‍යාගය කෙරෙහි සිත නැමීම අතිශයෝක්තියක් නොවේ. ලොව පුරාම බද්ධ කළ අවයවලින් හුස්ම ගන්නා මිනිසුන් වැඩි ප්‍රමාණයක් සිටියි. ඒ සඳහා ඉඩහසර වෙන්වන්නේ ඔබේ පරිත්‍යාගශීලී සිතටයි.

 

ජීවත්ව සිටියදී හෝ මරණින් මතු තම අවයව දන් දීමට සිත නැමීමම පවා පින්පුරන මහඟු සත්කාරයකි. කිසිම මුදලක් අය නොකර හෝ වැය නොකර කළ හැකි ජාතී ජාතීත් පල විපාක ලැබිය හැකි පුණ්‍යකර්මයකි.

 

සංස්කෘතිය, සදාචාරය කෙරෙහි තදින්ම බැඳුණු කර්ම විපාක පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති බහුතරයක් සිටින රටක අවයව පරිත්‍යාගය කෙරෙහි සිත නැමීම අතිශයෝක්තියක් නොවේ. ලොව පුරාම බද්ධ කළ අවයවලින් හුස්ම ගන්නා මිනිසුන් වැඩි ප්‍රමාණයක් සිටියි. ඒ සඳහා ඉඩහසර වෙන්වන්නේ ඔබේ පරිත්‍යාගශීලී සිතයි.

අවයව සඳහා ඇති ඉල්ලුමට සාපේක්ෂව සැපයුම මඳවීම හේතුවෙන් පොරොත්තු ලේඛනයන්හි දිගු කාලයක් බලා සිටින්නන් ද වේ. ගැළපෙන අවයවයක් නොලැබීම හේතුවෙන් ඇතැමුන් තම ප්‍රාණ වායුව වා තලයට මුදා හරින්නේ ජීවත්වීමට ඇති අවස්ථාව අකැමැත්තෙන් හෝ යටපත් කරමිනි.

මරණින් මතු ඇස් දන්දීම එදා පටන්ම සිදුවූවකි. දැනට අපේ රටේ වැඩිමනක් පිරිසක් නැඹුරු වී සිටින්නේද මියගිය පසු ඇස් දන් දීමටයි. ජීවත්ව සිටියදීම අක්මාව, වකුගඩු, බඩවැල්, අග්න්‍යාශය, පෙණහලු ආදියේ කොටස් දන්දීමට පුළුවන් බව ඔබ දන්නවාද?

අවයව දන් දීම සඳහා ස්වකැමැත්තෙන් ලිඛිතව ඉදිරිපත් කළ හැකි වන්නේ වයස අවුරුදු විසිඑකට වැඩි අයටයි. මරණින් පසු එම පරිත්‍යාගය භාරගන්නා ලෙස ඔවුන්ට ලිඛිතව ඉදිරිපත් කළ හැකියි.

 

අවයව දන් දිය නොහැකි වන්නේ

* HIV වයිරසය ආසාදනය වූවන්

* පිළිකා රෝගීන්

* නිරක්තියෙන් පෙළෙන්නන්

* අවයවවලට සම්බන්ධ ආසාදන ඇති අය

විෂ ශරීරගත වූ මරණයක් නම් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අවයව පරිත්‍යාග කළ හැකි ද යන්න වෛද්‍යවරයකු විසින් නිරීක්ෂණය කරයි. එම නිගමනයෙන් පසු මියගිය තැනැත්තා අවයව පරිත්‍යාගය කෙරෙහි කැමැත්ත ප්‍රකාශ කර ඇත්නම් එම කටයුත්ත සිදු කළ හැකි වේ.

ඇස් හා පටක දන් දීම

ඇස් හා පටක දන් දීම ජීවිතය දන් දීමට පමණක් සීමා වේ.

* කෙනකු මියගොස් පැය හතරක් ඇතුළත ඇස් ඉවත් කිරීම සිදු කළ යුතුයි.

* පටක පැය දොළහක් තුළ ලබාගත යුතුයි.

* ඇස් දන් දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ වයස අවුරුදු 70 ට අඩු අයගේ සිරුරුවලින් පමණි.

* වයිරස්, දිලීර හා බැක්ටීරියා ආසාදන රෝගයකින් මියයන රෝගියකුගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැකියි.

* සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැකියි.

* පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුවේ නම් ඉන්පසු එම වාර්තාව හා මරණ සහතිකය අනිවාර්යයෙන් ලබාගත යුතුයි. මරණයට හේතුව සඳහන් කළ යුතුයි.

* ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට දැනුම් දෙන විට නිවැරදි ලිපිනය හා මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන් මඟ, දුරකතන අංකය යනාදී තොරතුරු නිවැරදිව සැපයීම කළ යුතුයි.

* දිවා රාත්‍රී ඕනෑම වේලාවක ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සූදානමින් සිටියි. ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු ඉතා ඉක්මනින් සංගමයේ පුහුණුවලත් තාක්ෂණික නිලධාරීන් එම ස්ථානයට ළඟා වී අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.

* මියගිය අය පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම කළ හැකියි. සම්පූර්ණ දේහය ලබාදෙන්නේ නම් අවශ්‍ය කරන සියලුම ශරීර කොටස් ආදිය ලබාගත හැකියි. කොටස් ලබාගත් පසු අවශ්‍ය නම් අවසානයේ ආගමික කටයුතු සඳහා දේහය නැවත ලබා ගත හැකි වේ.

* මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දේ.

අවයව දන් දීම සඳහා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතුයි යන්න මිථ්‍යා මතයකි. අවයව පරිත්‍යාග කළ හැක්කේ ස්වේච්ඡා පදනම මත පමණි. ශ්‍රී ලංකා නීතිය අනුව අවයව විකිණීම හෝ මිලදී ගැනීම කළ නොහැකියි. ජීවත්ව සිටියදී ඔබේ පරිත්‍යාගයෙන් ජීවිතයක් බේරා ගත් බව ඇසීම, දැකීම පවා පුදුමාකාර සැනසීමක් ළඟා කරන්නකි.

මොළය මිය යෑමෙන් පසු අවයව දන් දීම

අකාලයේ අපට ජීවිතයෙන් සමු ගැනීමට සිදුවුවහොත් ජීවිතයේ අවසානය කරා ළඟා වූ තවත් අට දෙනෙකුට ජීවිතයේ අවසානය කරා ළඟා වූ තවත් අට දෙනකුට නව බලාපොරොත්තුවක් වීමට ඔබට හැකියි. අවයව අකර්මණ්‍ය වීම නිසා රෝගීන් දහස් ගණනක් අකාලයේ මිය යයි. මෙයින් බහුතරයක් රෝගීන්ගේ ජීවිත බේරා ගත හැක්කේ සුදුසු අවයවයක් බද්ධ කිරීමෙන් පමණි. අවයව දන් දීම මඟින් එවැනි රෝගියකුගේ ජීවිතයකට එළියක් වීමට ඔබට හැකියි. එසේ තිබියදී මරණයෙන් පසුව ඔබගේ අවයව පොළොවට වැලලී යාමට ඉඩ දිය යුතුද?

 

මොළය මියයාම යනු කුමක්ද?

* මෙය මොළයට සිදුවන දරුණු අනතුරක් නිසා මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නතර වන තත්ත්වයකි.

* මෙය යථා තත්ත්වයට පත් කළ නොහැකියි. එනම් රෝගියා මියගොස් ඇත.

* මෙවැනි අවස්ථාවක යන්ත්‍රයක් ආධාරයෙන් කෘත්‍රිම ශ්වසනය ලබාදීමෙන් රුධිරයේ ඔක්සිජන් මට්ටම පවත්වා ගත හැකි අතර එමඟින් අනෙකුත් පද්ධති අවයවල ක්‍රියාකාරීත්වය පැය කිහිපයකට පමණක් පවත්වා ගත හැකියි. මෙම අවස්ථාවේදී මෙම රෝගියාගේ අවයව ලබාගෙන වෙනත් රෝගියකුට බද්ධ කිරීමේ හැකියාව ඇත.

දන් දිය හැකි අවයව පටක මොනවාද?

එසේ ලබාගත හැකි අවයව වන්නේ

* හදවත

* පෙණහලු

* අක්මාව

* වකුගඩු

* අග්න්‍යාශය

* අන්ත්‍ර/ බඩවැල්

 

මීට අමතරව ඇස්, අස්ථි සහ ඛන්ඩරා වැනි පටක දන් දීමෙන් රෝගීන් පනහකට අධික ප්‍රමාණයකගේ ජීවිත ආලෝකමත් කළ හැකි වේ.

අවයව ලබාගැනීම සිදු කරනු ලබන්නේ මියගිය බවට පළපුරුදු වෛද්‍ය කණ්ඩායමක් විසින් තහවුරු කළ පසුව පමණි පමණි. අවයව ඉවත් කර ගැනීම දේහයට කිසිදු ආකාරයක විකෘති වීමක් සිදු නොවන පරිදි පළපුරුදු විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් ශල්‍යාගාරයක් තුළ සිදු කරනු ලැබේ. මොළය මියගොස් ඇති නිසා ශල්‍ය කර්මයේදී ඔහුට කිසිදු වේදනාවක් නොදැනේ. දේහය කිසිදු අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ඥාතීන්ට ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.

අවයව දන් දිය හැක්කේ කෙසේද? අවයව දන්දීම සඳහා අදම ලියාපදිංචි වන්න. ඔබේ තීරණය පවුලේ අයට දැනුම් දෙන්න. ඔබේ තීරණය වෙනස් වුවහොත් ඔබට කැමති වේලාවක මින් ඉවත් විය හැකියි.

 

ඕනෑම ඇස් හා පටක දන්දීමක් සඳහා

0112698040/41/43

0112692051

Email: [email protected]

විශේෂ ස්තුතිය

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට