දරුවන් අතර බහුලව ඇති ඒටොපික් එක්සීමා

සැප්තැම්බර් 23, 2024

 

දද වලින් එක් වර්ගයක් ලෙස සැලකෙන ඒටොපික් එක්සීමා නොනවතින කැසීමක් සමඟ ඇතිවන ඇදුම, පීනස, සොටු දියර ගැලීමේ තත්ත්වයයි. මෙය රෝගියාගේ පවුලේ අයටද ඇතිවන්නට පුළුවනි.

මෙම තත්ත්වය හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ කිසිවක් නොකරන අතර සායනික පරීක්ෂණවලින් එම තත්ත්වය හඳුනාගැනේ.

 

කුඩාම දරුවන් අතර වැඩිපුර

 

මෙය කුඩාම වයසේ සිට ඇතිවිය හැකි අතර එනම් මාස දෙකට වැඩි(මාස දෙකට අඩු දරුවන්ට ඒටොපික් එක්සීමා වැලඳී යැයි නොසිතයි.) දරුවන්ගේ සිට වයෝවෘද්ධ වයස දක්වාම ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර වැඩිපුර දැකගත හැකි අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 30ක් පමණ වේ. වැඩිහිටියන් අතර සියයට දහයක පමණ ප්‍රමාණයකුත් වයෝවෘද්ධ පුද්ගලයන් අතර සියයට එකත් තුනත් අතර ප්‍රමාණයකුත් ඇතිවිය හැකියි. කුඩා වියේදී ගැහැනු දරුවන් අතර වැඩිපුර දැකගත හැකි අතර වැඩිහිටි වයසේදී ගැහැනු පිරිමි දෙපාර්ශ්වය අතරම ඇතිවිය හැකියි. මීට වසර ගණනාවකට පෙර සංවර්ධිත රටවල මෙම රෝගී තත්ත්වය දැකගත හැකිව තිබූ අතර දැන් සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවල ද දක්නට ලැබෙයි. එසේ වීමට අප ගත කරන ජීවන රටාව, ගන්නා ආහාරපාන හේතුවක් වන්නට ඇති.

කුඩා දරුවන්ගේ මුහුණේ වැඩිපුරම මෙය ඇතිවේ. ඇතැම් විට හිසේ සහ සිරුරේ තැන් තැන්වල දද ඇතිවිය හැකියි. ඊට වඩා තරමක් වයසින් වැඩි දරුවන්ට සිරුරේ සෑම තැනමත් විශේෂයෙන්ම සිරුරේ නැවෙන ස්ථානවලත් දද දැකගත හැකියි. ඒ වැලමිට, දණහිස පිටුපස, වළලුකර ආදී ප්‍රදේශවලයි.

 

බෝ වන්නේ කොහොමද?

ජානමය තත්ත්ව සමඟින් වැඩිපුරම ඇතිවන අතර ඊට පාරිසරික සාධක, සිරුරේ ඇතිවන වෙනත් තත්ත්ව ද (Auto Immunity)  එකතු වූ විට ඒටොපික් එක්සීමා තත්ත්වය ඇතිවීමට පුළුවනි. එකම පවුලේ කිහිප දෙනකුට එකවිට බලපා තිබීමට ද පුළුවනි.

* පාරිසරික සාධක - අධික උෂ්ණත්වය, අධික ලෙස දහඩිය දැමීම, පරිසරයේ සීතල තත්ත්වය, වියළි ගතිය, දූවිලි තත්ත්වය

* ආසාදන තත්ත්ව - සමහරුන්ට ඇතැම් කෑමවලට මෙම තත්ත්වය ඇතිවීමට පුළුවනි. එහෙත් හැමෝටම හැම කෑමවලටම ආසාදන තත්ත්ව ඇති නොවේ. එය එක් එක් කෙනාගෙන් එක් එක් කෙනාට වෙනස් වේ. එක් පුද්ගලයකුට එක් කෑමකට උග්‍ර විය හැකි තත්ත්වයක් තවත් පුද්ගලයකුට එසේ නොවන්නට පුළුවනි. රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ගත් විට එනම් කෘත්‍රිම ආහාර මෙම තත්ත්වය වැඩිපුර දක්වන්නට හැකි වේවි.

* කපු ඇඳුම් ඇඳීම මේ අයට වඩාත් සුදුසුයි. වෙනත් ඇඳුම් ඇන්ද විට වැඩිපුර කසන්නට ගනීවි.

ඒටොපික් එක්සීමා රෝගය වැලඳුණු සාමාන්‍ය ප්‍රතිකාරවලට ඔරොත්තු නොදෙන ළමා, වැඩිහිටි පිරිසක් සිටිය හැකියි. කැසීම වැඩි වූ විට සිරුරේ ප්‍රෝටීන් ප්‍රමාණය හෙවත් ඇල්බියුමින් අඩුවීමටත් ඉන් මන්ද පෝෂණය ඇතිවීමටත් හැකියි. එවිට කුඩා දරුවන්ගේ වර්ධනය බාල වේ. කැසීමට ලක්වන තැන්වලින් වයිරස්, බැක්ටීරියා ආසාදන ඇති වේ. කුඩා දරුවන්ගේ සමේ තැන් තැන්වල මෙය ඇතිවිය හැකි නිසාත් විටින් විට කැසීමට ලක්වන නිසාත් අධ්‍යාපන කටයුතුවලට බාධා වීමට, දරුවන් පාසලේදී කොන්වීමට පුළුවනි. බෝවේ යැයි සිතා මෙසේ කොන් කළත් ඇත්තටම එය බෝවන්නේ නැත.

කැසීම නිසා දරුවන්ට හරියට නින්ද නොයයි. ගන්නා ඖෂධ (ස්ටීරොයිඩ් වර්ගයේ) මේ සියල්ල නිසා දරුවාගේ වර්ධනය බාල විය හැකියි. මින් දරුවන් විශාල ආතතියකට ලක්වේ.

තුවාල සුව වන විට කළුපාට තත්ත්වයක් ඇතිවේ. මෙය බාහිර පෙනුමටත් විශාල වශයෙන් බලපායි.

මෙවැනි රෝගියකු ඔබ අතර සිටියොත් ඔහුට හෝ ඇයට ඉන් මිදීමට, ඔවුන්ගේ ජීවත්වීම පහසු කරලීමට සහාය ලබාදිය යුතුයි.

මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමේදී බොහෝ අය සිතන්නේ රක්තය සුව කළ විට එය වෙනත් අතකට හැරෙන බවයි. ඇදුම, පීනස, රක්තය යනු එකිනෙකට බැඳී පවතින එකම ජානමය පදනමක් ඇති රෝගී තත්ත්වයන්ය. එක් රෝගයක් සුව වූ විට අනෙක් රෝගී තත්ත්වය උත්සන්න විය හැකියි. එසේ විය හැකි නමුත් මෙම රෝග තුනම සුව කළ හැකි ඒවායි. එකක් හැදෙන්නට පුළුවන් යැයි සිතා අනෙක් රෝගය සුව නොකර සිටීම නිෂ්ඵල දෙයකි.

රක්තය බරපතළ තත්ත්වයට පත් වී විෂබීජ ආසාදනය වැඩි විය හැකියි.

ප්‍රතිකාර කෙරෙන්නේ කෙසේද?

* රෝගය කෙතරම් පැතිරී ඇත්ද

* ආසාදනයට ලක්ව ඇත්ද

* එය ඇත්තේ ඉස්ම ගලන තෙත තත්ත්වයකද

* සම ගැලවී දීර්ඝ වශයෙන් කසන තත්ත්වයක්ද

* ජපධදඪජ තත්ත්වයේ පවතීද යන කරුණු පිළිබඳ සොයා බලයි. ඒ අනුව ප්‍රතිකාර සිදු කෙරේ. බොහෝ විට ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ආසාදනයට ලක් වූ විටයි. ආසාදනයට ලක් වීම කෙසේද යන නිරීක්ෂණය කොට ප්‍රතිජීවක ඖෂධ හෝ ප්‍රතිවයිරස ඖෂධ ලබාදේ. වෛද්‍යවරයා නියම කරන සම්පූර්ණ කාලයම ඖෂධ ලබාගත යුතුයි. අපහසුව අවසන් වූ පසු ඖෂධ ගැනීම නතර නොකරන්න.

ආසාදිත හෝ ඉස්ම ගලන තෙත තත්ත්වයේ ඇත්නම් කොන්ඩිස් පාවිච්චි කිරීමට උපදෙස් ලැබේ. එවිට තුවාලයේ වැඩිපුර ඇති තෙත් ගතිය ඉවත් වේ. වියළි තුවාලයක් එසේ නොකළ යුතුයි. එවිට තව තවත් වියළි වේ. කොන්ඩිස් ද්‍රාවණය සාදාගත යුත්තේ ඉතාම ළා පාටට වෛද්‍ය උපදෙස් අනුවයි.

ඒටොපික් එක්සිමා ඇතිවන්නේ සම වියළි වූ විටයි. එනම් සම වියළි වීමෙන් තොරව පවත්වාගෙන යෑම වැදගත් වේවි. වියළි බව තුරන් කර ගත යුතුයි. මොයිස්චර්රයිසර් වර්ගයක් භාවිතය අනිවාර්යයි.

දරුවකුට උප්පත්තියෙන් ඇතිවිය හැකි වියළිබව නව යොවුන් වියේදී වෙනස් විය හැකියි. කුඩා වියේ දී තෙල් ග්‍රන්ථි වර්ධනය නොවන නිසා ළමා කාලය ගතකරන්නට වන්නේ සම වියළිවයි. දදයක් තිබුණා නොතිබුණා සමේ වියළි බවට ප්‍රතිකාර කළ යුතුවේ. මේ පිළිබඳ මව්පියන් අවධානය කළ යුතුයි. ස්ටීරොයිඩ් ගැල්වීමට දෙමව්පියන් බිය වෙයි. ඇත්තෙන්ම ස්ටීරොයිඩ් ගල් වන්නේ

අවශ්‍ය වෙලාවේදී පමණයි. ස්ටීරොයිඩ්වල අතුරු ආබාධ නොමැති ඖෂධ වර්ග තිබේ. මෙය ගැල්විය යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව පමණයි. හිතුමතයට ෆාමසි වලින් ගෙන ආලේප නොකළ යුතුයි. සබන් වලින් සම වියළිවීම මේ අයට ඇති තවත් ගැටලුවකි. මේ අයට සබන්වෙනුවට ආදේශකයන් ගන්නට නියම කෙරේ. මේවා තරමක් මිල අධිකයි. ශරීරයේ විවිධ තැන්වලට ආලේප කරන්නට දෙන ඖෂධ විවිධ විය හැකියි. ඒ ඒ ස්ථානවලට මාරු නොකර ගැල්වීම අවශ්‍ය වේවි.

මීට අමතරව මුඛ මාර්ගයෙන් ගන්නා කරල් හෝ පෙති තිබේ. ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ මුඛ මාර්ගයෙන් ගන්නටත් උපදෙස් ලැබෙයි. තදබල ලෙස රක්තය ඇති අයට වෙනම ඖෂධයක් තිබේ. මේ අනුව රක්තය තම ජීවිතයට බාධාවක් නොවන අන්දමට පාලනය කරගත හැකියි.

ඒටොපික් එක්සීමා සමඟ ජීවත් වීම අපහසු දෙයක් නොවේ. එසේ අපහසු වන රෝගීන් සිටින්නේ අතලොස්සක් පමණි.

 

උපදෙස් : කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය

ශ්‍රියානි සමරවීර,

ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ඉන්දිරා කහවිට