වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
ජීවිතයට පීඩා ගෙන දෙන අර්ශස් රෝගයට කදිම කෙම් පිළිවෙත්
අර්ශස් රෝගය ඉතා පීඩාකාරී දරුණු රෝගයකි. මෙම රෝගය පිළිබඳ වාග් භව නිධාන ග්‍රන්ථයේ සඳහන්ව ඇත්තේ තම ජීවිතයට සතුරෙක් ලෙසින් මුළු ජීවිතයට පීඩා දෙන රෝගයක් ලෙසිනි. එම පැහැදිලි කිරීම අනුව එහි දරුණුකම හා රුදුරුකම අපට මනාව තේරුම් ගත හැකිවෙයි. මෙම රෝගය සහජ අර්ශස් ලෙස තම උපතේ පටන්ම පවතින අවස්ථාද පවතී. එසේම බීජ උෂ්ණත්වය ලෙස ගර්භාෂයේ කලල කාලයේ සිට පවතින අවස්ථාද වෙයි.
මෙය බොහෝ විට ඉතා කර්කෂ ආසනවල වාඩිවී සිටීම නිසා හට ගනී. එසේම කර්කෂ වාහන පැදවීම ද බලපායි. මල මුත්‍රා නිසි ලෙස පිට නොකර සිටීම මෙන්ම මල මුත්‍රා බලහත්කාරයෙන් පිට කිරීමට යෑමෙන්ද මෙය හට ගනී. අප පෙර සඳහන් කළ පරිදි අතීසාරය, ගුල්මය, ආම ග්‍රහණි, පාණ්ඩු රෝග මෙන්ම අම්ලපිත රෝගය ද මෙයට සෘජුවම බලපායි. එමෙන්ම මානසික ව්‍යාධියෙන් පෙළෙමින් කරන රැකියා නිසා හටගන්නා වෛරය, ක්‍රෝධය නිසාද, කුරිරු කටයුතුවල යෙදීමෙන්ද, මෙම රෝග හට ගැනීමට හේතු වෙයි.
විශේෂයෙන්ම පුරුෂයන්ට මෙම රෝගය වැලඳීමට ඉහත කරුණු බෙහෙවින්ම බලපායි. ස්ත්රීන්ට මෙම කරුණුවලට අමතරව අමු ගැබ් කිරීමෙන් ද ගර්භය ගබ්සාවීමද අධික ලෙස ලිංගික ක්‍රියාවලියේ යෙදීමෙන් ද සිදුවන බව අනාවරණය වී තිබේ. මෙය භෛජ්ජ මංජුසාව නම් පුස්කොළ ග්‍රන්ථයේ පැහැදිලිව සඳහන් කර ඇත.
මෙම අර්ශස් රෝගය ගුදය මූලස්ථානය වූ අසුල යැයි සඳහන් බඩවැල ආශ්‍රිතව මල මාර්ගය කෙළවරේ පිහිටි රැළි තුනෙහි වෙන් වෙන්ව දෝෂවලින් උපදවන මෙම රෝගය හය වැදැරුම්ව දක්වා තිබේ. මෙය මාධව නිධානය සහ චරක චිකිත්සා ග්‍රන්ථවල ද සඳහන්ව තිබේ. ප්‍රධාන වශයෙන් ප්‍රභේද ලෙස ඔබට ද හඳුනා ගැනීමට සරලව මෙසේ සඳහන් කරමි. පළමු වාත අර්ශස් රෝගය හටගන්නේ අම්ල, පිත්ත, කහට, සීත, රළු යන ආහාර නිතර ගැනීම නිසාද, අවශ්‍ය ප්‍රමාණයට වඩා අල්ප ප්‍රමාණයට ගැනීම නිසාද, බහුලව මත්පැන් පානය ද, අධික කාම සේවනයේ යෙදීම, නිතර අධික ලෙස කය වෙහෙසීම, නිතර වැඩි අව්වේ ගැවසීම මෙම අවස්ථාවට බහුලව බලපායි.
ඉහත කී ආහාර නිසා මල සංකෝචනය වී මලබද්ධය ඇති කරයි. මලපහ කිරීමේදී තැටමීමෙන් මහන්සි ගනී. මෙසේ වීමේදී උදය පවතින සූරා චක්‍රය තෙරපීමෙන් වාත අර්ශස් හටගනී. චරක සංහිඳියාවේ පිත්ත අර්ශස් හටගන්නේ අම්ල, ලවණ, උෂ්ණ, බහුල ආහාර නිතර කෑමට ගැනීමත්, කම්මල් වැඩ, බේකරි වැඩ වැනි ගිනි උඳුන් ආශ්රිත කර්මාන්තයේ නිතර යෙදීමත්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ද්වේශයෙන් ත්‍රස්ත කෝප සිතිවිලි ද නිතරම ගැලී සිටීමත් නිසා පිත්ත අර්ශස් රෝගය හටගනී.
ස්ලේශ්මාර්ථ, මධුර, සිසිල් ආහාර නිතර නිතර වැළඳීම, වැඩපළ නොකර නිතර නිදා සිටීම, බොහෝ වේලා අසුන්වල වාඩිවී සිටීම, රූපවාහිනී නැරඹුම, දිවා කාලයේ බොහෝ වෙලා නිදා ගැනීමද මෙම රෝගයට හේතු වෙයි. රක්ත අර්ශස්, පිත්ත අර්ශස් රෝගයට බලපෑ හේතුවම මෙයට බලපායි. රක්ත ප්‍රකෝපය, ශුල තුළ ආසාදනය නිසා හටගන්නා වේදනා බෙහෙවින් පවතී. මෙය ඉතා දරුණු අර්ශස් රෝගයක් ද වේ.
මෙම කරුණු හොඳින් තේරුම්ගෙන ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත්ම වැදගත්ය. පොදුවේ ගත් කල ඇඟ නිවන ආහාර වර්ග එනම් කිතුල්පිටි කැඳ, බාර්ලි, සව් ඉතාමත් සුවදායක වෙයි. කළු කම්බේරිය කොළ මලවා ආහාරයට ගැනීම ඉතා රසවත් මෙන්ම ගුණවත් ආහාරයකි. එහි ඉදුණු ගෙඩි ඉතාමත් ගුණදායී ප්‍රණීත පළතුරකි.
කොහිල කැඳ හා ආහාර වශයෙන්ද ඉතා ගුණදායක වෙයි. කතුරු මුරුංගා ආහාරයට ගැනීමද, සතියකට වරක් ඇහැළ ගසේ ළපටි දලු පොල් දමා මලවා කෑම මල බද්ධය නසා, යහපත් ගුණ දෙන ඖෂධයකි.
මෙම රෝගයට කදිම කෙමක් ලෙස කතා නොකර ඇහැළ දලු මිටක් කඩා පොල් දමා මලවා කෑමද ඉතාම සාර්ථක ඖෂධීය කෙම් ක්රමයකි.
උපදෙස්
ෙජ්‍යාතිෂවේදී ගුප්ත
විද්‍යා විශාරද
වෛද්‍ය ආචාර්ය
චන්දන සතරසිංහ