වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
ජයගත යුතුම වූ ආඝාතය
ආඝාතයට මුහුණ දීම නිසා දෛනික ජීවිතය අඩපණ වූවන්, සදාකාලිකව අත,පය පණ නැතිවී කට පැත්තට ගිය රෝගීන් මෙන්ම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූවන්ගේ ගණන එන්න එන්නම වැඩිවී තිබේ.
ආඝාතය ජය ගත යුතුම වූ දෙයකි.ආඝාතය යනු මොළය ආශ්‍රිතව සිදුවන ආබාධිත තත්ත්වයකි. මස්තිෂ්ක වාහිනී රෝගය ආඝාතය ලෙසද හැඳින්වේ. එය ලොව පුරා මරණ සහ ආබාධිත වීම සඳහා බලපාන ප්‍රධාන හේතුවක් වේ. වයස අවුරුදු 25ට වැඩි වැඩිහිටියන් සිව් දෙනකුගෙන් එක් අයකුට ජීවිත කාලය පුරාවටම ආඝාතය වැලඳීමේ අවදානමක් ඇත. සෑම වර්ෂයකදීම ලොව පුරා මිලියන 12ක ජනතාවකට ආඝාතය වැලඳේ. මෙහිදී වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ පහළ ආදායම් ලබන රටවල් සහ ශ්‍රී ලංකාව වැනි පහළ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවල්වල ආඝාත රෝගී ගැටලුකාරී තත්ත්වය වැඩිවේ.
පසුගිය වසර දහයක කාලය පුරාවට ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලට ඇතුළත් කළ ආඝාත රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වී ඇති අතර වාර්ෂිකව 60000කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් රෝහල් ගත කෙරේ. කෙසේ වෙතත් රෝහල් මරණ සඳහා තෙවැනි ප්‍රධාන හේතුව ලෙස නම් කර ඇති ආඝාතය මේ වනවිට 5වන ස්ථානයට පත්ව තිබේ. මින් අදහස් වන්නේ ආඝාතය පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය වැඩි වී ඇති බවත් රෝගියාව හැකි ඉක්මනින් රෝහලට ඇතුළත් කරනු ලැබුවහොත් ආඝාත රෝගී තත්ත්වයට ප්‍රතිකාර කළ හැකි බවත්ය. ලෝක ආඝාත සංවිධානය මඟින් ලෝක ආඝාත දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර ආඝාත රෝගීන්ගේ ස්වභාවය සහ රෝගය වැලඳීමේ ඉහළ අනුපාතයන් පිළිබඳ දැනුම්වත්භාවය ඉහළ නැංවීම රෝග නිවාරණය සහ ප්‍රතිකාර කිරීම රෝගීන් බේරී සිටින පුද්ගලයින් වඩා යහපත් රැකවරණයක් සහ සහයෝගයක් ලබාදීමත් තහවුරු කිරීමයි. අපගේ මොළයේ කොටස් යම් යම් කාර්යයන් කිරීම සඳහා සූදානම්ව සිටියි. අප ශරීරයේ සිදු කරන කාර්යයන් මොළයෙ කාර්යයන්ම වේ. මොළයේ යම්කිසි දුර්වලතාවක් ඇති වුවහොත් ඊට අදාළ කාර්යය සිදු කරගත නොහැකි වේ. සියලුම අවයවවලට රුධිර සැපයුමක් ඇතුවා සේ මොළයටද රුධිර සැපයුමක් පවතී. රුධිර ප්‍රවාහනයේ යම් අපහසුවක් සිදුවුවහොත් එම රුධිරය ලබන ප්‍රදේශය අඩපණ වීමකට ලක්වේ. එවිට මොළයේ යම් කොටසක් ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්වේ. මෙසේ වී යථා තත්ත්වයට පත්වීම සුළු ආඝාත තත්ත්වයකි. ආඝාතය ඇති වන්නේද හෘදයාබාධයක් හටගන්නා ආකාරයටමය ඒත් ඒ සිදුවන්නේ මොළය තුළය.
මෙය දෙයාකාරයකට සිදුවේ.
* රුධිර සැපයුම අවහිරවීම
* නහරයක් පුපුරා මොළය තුළට රුධිරය වැගිරීම
මේ තත්ත්වයන් දෙකම දැකගත හැකි අතර වැඩිපුර දක්නට ඇත්තේ රුධිර සැපයුම අවහිර වීමයි. එය සියයට 80ක් පමණ වේ.
රුධිරය වැගිරීම තුළින් සිදුවන්නේ ස්නායු සෛල තෙරපීමකට භාජන වීමයි.
රුධිර සැපයුම අඩු වීමක් සිදුවුවහොත් ඊට අදාළ ප්‍රදේශය ක්‍රියා විරහිත වේ. මෙසේ වීමට ප්‍රධාන හේතුව මොළයට රුධිරය සපයන රුධිර වාහිනීවල අභ්‍යන්තර බිත්තිවල මේදය තැන්පත් වීමය. මෙවැනි රුධිර වාහිනී තුළ රුධිර කැටි මඟින් අවහිර වීමට ඇති හැකියාවද වැඩිය. එවිට ඒ රුධිර වාහිනීවලට සාමාන්‍ය පරිදි මොළයට රුධිරය සැපයීමට නොහැකි වීමෙන් එම ඉන්ද්‍රියයන්ට හානි සිදුවේ.
රුධිරවාහිනී තුළ මේදය තැන්පත් වන්නේ ඇයි?
මේදය තැන්පත් වීමට හේතුවන ප්‍රධාන කරුණු තුනකි. ඒ සියල්ලම ඔබට පාලනය කළ හැකියි.
* දුම්බීම හා වෙනත් විවිධාකාර දුම්කොළ භාවිතය
* සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම
* ක්‍රියාශීලී නොවීම
එබඳු අයහපත් ජීවන රටාවන් මුල්වී හටගන්නා බරපතළ කායික ගැටලු කිහිපයකි.
* අධික රුධිර පීඩනය
* අධික රුධිර සීනි ප්‍රමාණය
* අධික රුධිර මේදය
මොළයේ ඇති රුධිර වාහිනියක් පුපුරා රුධිරය වහනය විය හැකි අතර එමඟින් මොළයේ පටකවලට හානි සිදුවේ. අධි රුධිර පීඩනය මෙහිදී බලපාන ප්‍රබල අවධානම් සාධකයකි.
බරපතල ආඝාත තත්ත්වය
ආඝාතයකදී දක්නට ලැබෙන සුලභම රෝග ලක්ෂණය නම් මුහුණේ අත්වල හෝ පාදවල හදිසියෙන් ඇතිවන දුර්වල වීමකි. බොහෝවිට ඒ ශරීරයේ එක පැත්තක පමණක් දක්නට ලැබේ. මීට අමතරව
* මුහුණ අත් හෝ පාදවල ඇතිවන හිරිවැටීම( මෙය විශේෂයෙන් ශරීරය එක් පැත්තක දක්නට ලැබේ.)
* කතා කිරීමේ අපහසුතාව හෝ කතා කරන දේ අන් අයට තේරුම් ගැනීමට නොහැකි වීම
* එක් ඇසක හෝ දෑසම හෝ පෙනීමේ දුර්වලතාවක් ඇතිවීම
* ඇවිදීමේ අපහසුතාව, කරකැවිල්ල ශරීරයේ සංතුලනය හෝ සමායෝජනය නැතිවී යාම
* හේතුවක් නැතිව ඇතිවන අධික හිසරදය
* ක්ලාන්ත වීම හෝ සිහි නැති වීම
ආඝාතයෙන් පසුව පවතින සෞඛ්‍ය තත්ත්වය රඳා පවතින්නේ මොළයේ කුමන කොටසට හානි වී තිබේද හා එම හානියෙන් ඇති වූ බලපෑමේ තීව්‍රතාව මතය. ආඝාතයක් මඟින් ශරීරයේ එක් කොටසකට එනම් මුහුණට අතකට හෝ පාදයකට පමණක් බලපෑමක් ඇතිවිය හැකියි. එමඟින් ශරීරයේ එක් පැත්තක් මුළුමනින්ම අප්‍රාණික වන්නට පුළුවනි. ඉතා බරපතළ ආඝාතයක් මඟින් හදිසි මරණය පවා සිදුවීමට පුළුවනි.
සුළු ආඝාත තත්වය
සුළු ආඝාත තත්ත්වයක ලක්ෂණ බරපතළ ආඝාත තත්ත්වයක ලක්ෂණවලට සමාන විය හැකියි. නමුත් ඒවායේ බලපෑම එතරම් බරපතළ නොවේ. රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් කෙටි කාලයක් බොහෝ විට පැයකට වඩා අඩු කාලයක් පවතී. සුළු ආඝාත තත්ත්වයක් එක් වරක් හෝ කිහිප වරක් ඇතිවුණු පුද්ගලයකුට පසු කලකදී බරපතළ ආඝාත තත්ත්වයක් දක්වා ඇතිවිය හැකියි.
ආඝාතයක් ඇති වූ විට කළ යුතු දේ
යම් පුද්ගලයෙකු ආඝාතයක ලක්ෂණ පෙන්වන්නේ නම් ඉක්මනින් වෛද්‍යවරයකුට හෝ ගිලන් රියකට හෝ දැන්විය යුතුයි. නැත්නම් ආසන්නයේ පිහිටි රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට වහා ඇතුළත් කළ යුතුයි. රෝග ලක්ෂණ බරපතළ නොවූවද මෙසේ කළ යුතුවේ.එයට හේතුව සුළු ආඝාතයක් තව දුරටත් බරපතළ තත්ත්වයට වර්ධනය විය හැකි නිසායි. සුළු ආඝාත තත්ත්වයකදී වුවද ඔබ ඉහත ක්‍රියාමාර්ග ගත යුතුයි. ආසන්නව රෝහලක් හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නොමැති නම් වෛද්‍යවරයකුට යොමු විය යුතුවේ.
ආඝාත තත්ත්වයට ප්‍රතිකාර කිරීම
ඔබට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාරවල මට්ටම රෝහලින් රෝහලට වෙනස් විය හැකියි. ලැබිය යුතු ප්‍රතිකාර ප්‍රමාණය ආඝාතයේ බරපතළකම අනුව තීරණය වේ.
ආඝාතයක මූලික ලක්ෂණවලින් පැය තුනක් ඇතුළත ඔබ රෝහලට පැමිණියහොත් ඒ වෛද්‍යවරයා විසින් ඔබට ධමනිවල තිබිය හැකි රුධිර කැටි දියකර හැරීම සඳහා රුධිර කැටි දියවීමේ ඖෂධයක් ලබා දෙනු ඇත. කෙසේ වුවද ලබාදිය යුතු ප්‍රතිකාරය තීරණය වන්නේ ආඝාතයට හේතු වූ නිශ්චිත කරුණු මතය.
රෝග විනිශ්චයේදී ඔබට වැලඳී ඇත්තේ කුමන වර්ගයේ ආඝාතයක් ද සොයා බැලීමට වෛද්‍යවරු රෝග ඉතිහාසය ලබාගෙන ඔබව පරීක්ෂා කොට විශේෂ පරීක්ෂණ සිදු කරනු ලැබේ.
උදාහරණයක් ලෙස CT Scan පරීක්ෂණය, MRI පරීක්ෂණය නිර්දේශ වේ. ඔබට වැලඳුණු ආඝාතය මොළයේ රුධිර නාළයක් අවහිර වීමෙන් ඇතිවූවක්ද නැතහොත් මොළයේ රුධිර නාලයක් පිපිරී යාමෙන් ඇති වූවක්ද යන්න මෙම පරීක්ෂණ මඟින් සොයා ගත හැකි වේ.
ඔබේ රෝග ලක්ෂණ සමනය කිරීමට හා අනාගතයේ ඇතිවිය හැකි ආබාධ තත්ත්වයන් වැළැක්වීමට වෛද්‍යවරයා විසින් බොහෝ විට ඖෂධ නිර්දේශ කරනු ලැබේ. තවද රෝගී තත්ත්වයේ අවධානම අඩු කිරීම සඳහා ජීවන රටාව වෙනස් කර ගැනීමටද උපදෙස් දෙනු ඇත.
ප්‍රතිකාර සාර්ථක වීමට කළ යුතු දේ
* ලබා දී ඇති ඖෂධ වෛද්‍ය උපදෙස් පරිදි භාවිත කිරීම
* ජීවන රටාවේ වෙනස්වීම් ඇතිකර ගැනීම පිළිබඳ ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපැදීම
* දුම්පානය නැවැත්වීම
* සෞඛ්‍යදායක ආහාර වේලක් ගැනීම සහ ව්‍යායාම කිරීම
මේ ඔස්සේ ආඝාතයෙන් තොර සුව පිරි දිවියක් ගත කරන්නට අවැසි වටපිටාව සැකසෙනු ඇත.
විශේෂ ස්තූතිය :
කොළඹ වෛද්‍ය පීඨයේ
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය
මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දුට