ඔබත් අධි රුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම නිවෙසේදී පරීක්ෂා කරනවා ද ?

හිතුමතේට ඖෂධ මාත්‍රාව වෙනස් කරන්නට නම් බෑ
දෙසැම්බර් 9, 2024

රෝගයක් තියෙනව ද නැද්ද කියලා සාමාන්‍යයෙන් දැන ගන්නේ රෝග ලක්ෂණ වලිනි. ලෝකයේ වගේම ශ්‍රී ලංකාවේත් වැඩිපුරම රෝගීන් මිය යන්නේ බෝ නොවන රෝග හේතුවෙනි. හෘදයාබාධ, අංශභාගය, පිළිකාව එවැනි රෝගයි.

බෝ නොවන රෝගවල රෝග ලක්ෂණ පහළ ‍ෙවද්දී ඊට සම්බන්ධ අවයව බොහොමයක් අක්‍රිය වී හමාරයි. එසේනම් රෝග ලක්ෂණ පහළ වන්නට පෙර ඊට නිසි පිළියම් යොදන්නට සිදුවේ.

රෝග ලක්ෂණ පහළ වන්නට පෙර රෝගය පිළිබඳ අනතුරු ඇඟවෙන්නේ කොහොමද?

උදාහරණයක් ලෙස දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක්ට වැඩිපුර මූත්‍රා පහ වීමක්, නිතර තිබහ ගතියක්, මූත්‍රා මාර්ගයේ පැළීමක් ඇතිවන්නට පුළුවනි.

අධි රුධිර පීඩනයක් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාධයකින් අවසන් වන්නට පුළුවනි. මොළයේ නහරයක් පිපිරුණු බව දැන ගන්නට වන්නේ අංශභාග තත්ත්වයක් ඇතිවූ පසුවයි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වුවත් එය හඳුනාගත නොහැකි තරම්ය.

මෙම තත්ත්වයෙන් මිදෙන්නට නම් වෛද්‍ය උපදෙස් මත සායනික රුධිර පරීක්ෂණ ඇතුළු විවිධ පරීක්ෂණ කරා යොමු වීම අතිශය වැදගත් වේ.

මෙම පරීක්ෂණ කළ යුතු වයස් පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. අවුරුදු තුන, හතරක් වයසැති දරුවකුගේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමේ සම්භාවිතාව බොහෝ සෙයින් අඩුවේ. ඇතැම්විට එවැනි වයසක අයකුගේ වුවත් පරීක්ෂාවක් පොසිටිව් වීමට වුවත් පුළුවනි.

අවුරුදු 20 පසුවූ පසුව එවැනි පරීක්ෂාවක් කරා යෑමට පුළුවනි. බෝවන රෝග පිළිබඳ ඉතිහාසයක් ඇත්නම් එවැනි වයසක සිටම පරීක්ෂණ වරින්වර කළ හැකියි. එහෙත් වෛද්‍යවරුන් අනුමත කරනුයේ වයස අවුරුදු 30 සිට රුධිර පරීක්ෂණ ඇතුළු අනෙකුත් පරීක්ෂණ කිරීමටයි.

දියවැඩියාව සඳහා සීනී පරීක්ෂා කිරීම, කොලෙස්ටරෝල් පරීක්ෂා කිරීම, වකුගඩුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම, රුධිර පීඩන මට්ටම පරීක්ෂා කිරීම වසරකට වතාවක් කරගැනීම වැදගත් වේ.

රුධිර පීඩනය 120 - 80 අතරේ තිබිය යුතුයි. රුධිරගත සීනී මට්ටම 100ට අඩු විය යුතුවේ.

කොලෙස්ටරෝල් මට්ටම වයස අනුව තීරණය වේ. එය රෝගියාට නිර්ණය කළ නොහැකියි. අවුරුදු 20 කෙනකුට ඇති කොලෙස්ටරෝල් මට්ටමට වඩා වයසින් වැඩි කෙනකුගේ ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩු වුවත් ඊට ඖෂධ නියම කරාවී.

 

නිවෙසේදී යන්ත්‍ර භාවිත කොට පරීක්ෂාවන් සිදු කිරීම

බෝවන රෝගවලින් පෙළෙන බොහෝදෙනා නිවෙසේදීම ඒ ඒ පරීක්ෂාවන් කරගන්නට පෙලඹී සිටියි. ඒ සඳහා වන කුඩා යන්ත්‍ර උපයෝගී කරගෙන රුධිරගත සීනී ප්‍රමාණය මැන බැලීම, රුධිර පීඩනය මැන බැලීම කරයි. මෙවැනි යන්ත්‍ර භාවිත කොට පරීක්ෂණ සිදු කරද්දී එම යන්ත්‍ර යාවත්කාලීන වීම අත්‍යවශ්‍ය කරුණකි.

නිවැරදි දත්ත ලබාගත හැකි යන්ත්‍රයකින් එසේ පරීක්ෂා කිරීම යහපත් ප්‍රවණතාවකි. එහි යම් වෙනසක් ඇත්නම් කලබල විය යුතු නොවේ. ඊළඟ පියවර වශයෙන් කළ යුතු වන්නේ ⁣වෛද්‍යවරයකු මුණගැසීමයි.

අධි රුධිර පීඩනය දවස පුරාම එනම් උදේ, හවස, රාත්‍රී වශයෙන් පරීක්ෂා කරන්නට පෙලඹේ. ඉන් බියට පත් වේ. එය මානසික රෝගයක් මෙනි. හිසරදයක්, ක්ලාන්තයක් වැනි රෝග ලක්ෂණයක් ඇතිවූ විට නොව සුවසේ සිටියදීත් දවස පුරාම වරින් වර මේවා පරීක්ෂා කරන්නට යෑම කිසිසේත්ම සුදුසු නොවේ.

නිවෙසේදී කරන පරීක්ෂණවල නිර්ණායකයන්ට අනුව වෛද්‍ය උපදෙසකින් තොරව ඖෂධ ⁣අඩු හෝ වැඩි කරන්නට, වෙනස් කරන්නට යෑම නුසුදුසු කටයුත්තකි. එවැන්නක් කිසිසේත්ම රෝගියාට නිර්ණය කළ නොහැකි දෙයකි. දියවැඩියාව සහ අධි රුධිර පීඩනය සඳහා නියමිත මාත්‍රාවන්ගෙන් ඖෂධ ලබා ගැනීමේදී එය පාලනය කළ හැකියි. එය සාමාන්‍ය අගයක් ගත් පමණින් ඖෂධ අඩු හෝ වැඩි කරන්නට නොහැකි වේ. මේවා කිසිසේත්ම නිට්ටාවට සුව කළ හැකි රෝග නොවේ. ඒවා පාලනය කළ හැකි රෝග බව අවධාරණයෙන් සිහි තබාගත යුතුයි. දියවැඩියාව සහ අධි රුධිර පීඩනය සාමාන්‍ය අගයක් ගත්විට ඉන් ගම්‍ය වන්නේ ඒවා හොඳින් පාලනය කළ බවයි. එසේ නැතිව රෝගය සුව වූ බව නොවේ. ඖෂධ ප්‍රමාණය අඩුකළ විට සිදු වන්නේ රෝගය පාලනයෙන් ගිලිහීයෑමයි. නැවතත් ඒවාහි අගයන් ඉහළ යන්නට පටන් ගනියි. ඔබට කළ හැකිවන්නේ ඖෂධ අඩු කළ හැකිදැයි වෛද්‍යවරයාගෙන් අසා දැන ගැනීම පමණයි. වෛද්‍යවරයා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව තිබේ.

 

ඖෂධ මාත්‍රාවන් වැඩි කිරීම රෝගියාට කළ හැකි ද?

මෙහිදී වෛද්‍යවරයා නියම කර ඇති ඇතැම් ඖෂධවල මාත්‍රාව එහි උපරිම මාත්‍රාව විය හැකියි. එසේනම් හිතුමතේට ඖෂධ මාත්‍රාව වැඩි කිරීමෙන් එය අධිමාත්‍රාවක් බවට පත්වේ.

වර්තමානයේ පෞද්ගලික රෝහල්, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන අමතක කළත් ප්‍රාදේශීය රෝහල්, මූලික රෝහල්, ශික්ෂණ රෝහල් යන ඒවායින් එකක් හෝ සෑම කිලෝමීටර් පහකට ආසන්න ප්‍රමාණයක පවතී. ඒ අනුව රෝහලකට යෑමේ අවස්ථාව වැඩි වේ. ඖෂධ මාත්‍රාව වැඩි කිරීම වෙනුවට එම රෝහලකට ගොස් වෛද්‍ය උපදෙසක් ලබා ගැනීම පහසුවෙන් කළ හැකියි.

 

තයිරොක්සින් ඌනතාව

දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන්ට අමතරව තයිරොක්සින් ඌනතාව කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබේ. වසර දෙක තුනකට වරක්වත් තයිරොක්සින් ඌනතාවක් ඇත්දැයි බැලීම වැදගත් වේ.

 

නීරක්තියෙන් පෙළේ නම්

ඔසප් වන වයසේ පසුවන කාන්තාවන් නීරක්තියෙන් පෙළීමට ඇති අවස්ථාව වැඩියි. මේ නිසා යකඩ ඌනතාවක් ඇත්දැයි බැලීමට Full Blood Count එකක් කර ගැනීම වැදගත් වේ.

 

පිළිකා සම්බන්ධ පරීක්ෂණ

මෙහිදී ස්වයං පියයුරු පරීක්ෂාව නිවෙසේදීම කළ හැකියි.

මීට අමතරව පිළිකා සම්බන්ධ පර්යේෂණ කිසිවක් නිවෙසේදී කළ නොහැකියි.

 

ගැබ් ගෙන ඇත්දැයි කරන පරීක්ෂණ

මෙහිදී ගැබ් ගෙන ඇත්දැයි කෙරෙන මූලික පරීක්ෂණය නිවෙසේදී කළ හැකියි. ඉන්පසු පවුලේ වෛද්‍යවරයා, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පළමුවත්, දෙවනුව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමටත් අවස්ථාව තිබේ.

 

HIV වයිරසය ආසාදිත වී ඇත්දැයි මැන බැලීම

මේ සඳහා වන ස්වයං පරීක්ෂණ කට්ටලය Know4sure වෙබ් අඩවිය හරහා නිවෙසටම ගෙන්වාගත හැකියි. ලිංගාශ්‍රිත රෝග සායනවල ද සායනවල ද මෙම පරීක්ෂණය ඉතාම රහසිගතව සිදු කෙරෙන අතර, යමෙකුට රැපිඩ් පරීක්ෂණයක් ලෙස නිවෙසේදීම වුවත් කළ හැකිවෙයි.

 

[email protected]