මී උණ අවදානම ආයෙත්

දෙසැම්බර් 23, 2024

ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) වැලඳෙන රෝගයකි, මී උණ. මෙම බැක්ටීරීයාව අප අවට පරිසරයට එකතු වන්නේ මීයන් වැනි රෝග වාහක සතුන්ගේ මූත්‍රා පසට, ජලයට එකතුවීමෙනි. බැක්ටීරියාවෙන් දූෂිත වුණු පස සහ ජලය සමඟ ගැටෙන ඕනෑම අයකුගේ සම තුළට මෙම බැක්ටීරියාව යා හැකියි.

තුවාලයක් සීරීමක් අත්පාවල ඇති විට අවදානම තවත් වැඩි වේ. මෙහිදී කැපුම් තුවාලයක් පමණක් නොව දිලීර ආසාදන හා යටි පතුල් පැළීම තුළින් පවා මෙම බැක්ටීරියාව ශරීරය තුළට කාවැදීමට බලපායි.

එපමණක් නොව මෙම බැක්ටීරියාවෙන් දූෂිත වූ ජලය කුඹුරක් අසලකදි හෝ ගං වතුර තත්ත්වයකදී හෝ මුහුණ සේදීමට, අතපය සේදීමට භාවිත කළොත්, ජලය පානයට ගතහොත් අපේ ඇස් වල, නාසය මුඛය ආශ්‍රිත ශ්ලේෂ්මල පටල හරහා මෙම බැක්ටීරියාව ශරීරයට එකතු විය හැකියි.

පසුගිය වසරේ මී උණ රෝගීන් 9000ක් පමණ වාර්තා වී ඇති අතර මේ වසරේ දැනට 10,000 ඉක්ම වූ රෝගීන් පිරිසක් වාර්තා වී තිබේ.

 

මී උණ වැලඳීමට වැඩි අවධානමක් ඇති අය කවුරුන්ද?

* වී ගොවීන්ට මේ සඳහා වැඩි අවදානමක් පවතී.

* ගංවතුරට ලක්වන පිරිස සහ සහනාධාර බෙදාදීමේ කටයුතුවල නිරත වන පුද්ගලයින්ට

* කුඹුරු සහ ජලජ ආශ්‍රිත වෙනත් වගා කටයුතුවල නිරත වන පුද්ගලයින් (කීර කොටු, කොහිල කොටු වැනි.... වගාවන්හි නිරත වන)

* පතල් සහ ගංගා ආශ්‍රිතව වැලි ගොඩදමන

* ජලය ආශ්‍රිතව මේ ආශ්‍රිතව යම් යම් ක්‍රීඩාවල නිරත වන්නන්

 

මී උණ සඳහා වැඩි අවදානමක් ඇත්තේ වී ගොවිතැනෙහි නිරත වන අයට පමණක්ම නොවන බව දැන් ඔබට වැටහී යනු ඇත.

 

මී උණේ රෝග ලක්ෂණ

* උණ

* මස් පිඬුවල තදබල වේදනාව

* අප්‍රාණික බව

* හිසරදය

 

මේ සමඟ

* ඇස් රතුවීම

* වමනය

* මූත්‍රා තද කහ පැහැ වීම

* මූත්‍රා සමඟ රුධිරය

පිටවීම

* මූත්‍රා යෑම අඩුවීම

මෙවැනි රෝග ලක්ෂණ ඇති අය ගංවතුර වැනි අවදානම් නිරාවරණ තත්ත්වයකට මුහුණ දුන්නේ නම්, එය මී උණෙහි රෝග ලක්ෂණ බව අවබෝධ කරගත යුතුවේ.

වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුවේ. අවදානම් නිරාවරණය පිළිබඳ වෛද්‍යවරයා දැනුම්වත් කිරීම අවශ්‍ය වේවි. මී උණ බවට සැකකොට ඉක්මනින් ප්‍රතිකාර කරා යොමු වීමට ඒ අනුව හැකි වේ. දරුණු සංකූලතාවලින් වැළකීමට මෙය හේතුවක් වේ.

ඉක්මනින් නිසි ප්‍රතිකාර කරා යොමු නොවුවහොත් වකුගඩු, අක්මාව, මොළය වැනි ශරීරයේ අවයව ගණනාවකට බලපා මරණය පවා ඇතිවිය හැකි තත්ත්වයකි.

 

මී උණ අවදානමෙන් මිදෙන්නේ කොහොමද?

මේ දිනවල ඇති කාලගුණ තත්ත්වය මී උණ රෝගය සඳහා හොඳ පරිසරයක් මවයි.

* කුඹුරු අවට සහ තමන්ගේ ගෘහ ආශ්‍රිතව හොඳින් පිරිසුදු කිරීම

* කසළ කළමනාකරණය කිරීම

* මීයන් වැනි සතුන් බෝවන පරිසරය අවම කිරීම කළ හැකියි.

* සීරීම් තුවාල ආදිය ඇත්නම් මඩ, අපිරිසුදු ජලය නොගැටෙන පරිදි හොඳින් ආවරණය කරගත යුතුයි.

* අනවශ්‍ය ලෙස ජලය රැඳුණු තැන්වලට බැස නෑම සහ සෙල්ලම් කිරීමට යෑමෙන් වැළකිය යුතුයි.

 

මෙම රෝගී තත්ත්වය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුටම බෝ වන්නේ නැත.

උපදෙස් :

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය

කුමුදු වීරකෝන්