වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ගැබ්බර හීනයට අපෙන් අත්වැලක්

ධාතු පරීක්ෂණයෙන් තොරතුරු රැසක්
උත්තරීතර මවුපිය පදවියේ ඔටුනු පැලඳවීමට නොහැකිව ළතැවෙන යුවළකට මඳක් හෝ අස්වැසිල්ලක් වන්නට ඇත්නම් සිතට මොන තරම් සහනයක්ද?
සැමියා වෙතින් කළ යුතු ධාතු පරීක්ෂණය
පැය 48ක් හෝ 72ක් ඇතුළත මොනම අන්දමකින් හෝ ලිංගික එක්වීමක් නොවී ශුක්‍රාණු සාම්පලයක් ලබාදීම ධාතු පරීක්ෂණයයි.
මෙය පරීක්ෂණ වාර්තාවක් ලෙස පැමිණි පසු නොයෙකුත් කාරණා කෙරෙහි අවධානය යොමු වේ.
* ශුක්‍රාණුවල පරිමාව කොපමණද?
* ශුක්‍රාණුවල සාන්ද්‍රණය කොපමණද?
මෙහිදී මිලිලීටරයකට ඇති ශුක්‍රාණු මිලියන ගණන ගණනය කරයි.
* ශුක්‍රාණුවල චලනය කෙසේද?
වේගයෙන් යන ශුක්‍රාණු කොපමණ තිබේද? අඩු වේගයකින් යන ශුක්‍රාණු කොපමණ තිබේද? මැරුණු ශුක්‍රාණු කොපමණ තිබේද යන්න ප්‍රතිශතයක් වශයෙන් ගණනය කරයි.
* ශුක්‍රාණුවේ ස්වරූපය කෙසේද?
මෙය හිස, ගෙල සහ වලිගය යන කොටස් තුනකින් සමන්විත වේ. විකෘති පිහිටීම් ඇති ශුක්‍රාණු තිබේද යන්න මෙහිදී අවධාරණය කෙරේ. ඇතැම් ශුක්‍රාණුවල හිස් දෙකක් තිබේ. පොඩි හිස්, ලොකු හිස් ඇති ශුක්‍රාණු ද තිබේ. හිසෙහි කුඩා තැනක එන්සයිම තැන්පත් වී තිබේ. එය නිසි ලෙස පිහිටිය යුතුයි. මෙය ඩිම්බයේ දී දෙදෙනාගේම එන්සයිම එකතුවී පුරුෂයාගේ ජාන ඩිම්බයට එකතු වෙයි.
මීට අමතරව තව තව කොටස්ද පරීක්ෂණ වාර්තාවේ අඩංගුවේ.
තවත් කෙනකුගේ ඇත්තේ ශුක්‍රාණු තරලය පමණි. එහි ශුක්‍රාණු නැත (Azoospermia - ශුක්‍රාණු සාන්ද්‍රනය 0)
එසේ වූ විට ඉතා ඉක්මනින්ම දෙවැනි සාම්පලයට ගන්නට යැයි උපදෙස් ලැබෙයි.
තවත් කොටසකගේ ශුක්‍රාණුවල සාන්ද්‍රණය අඩුව තිබෙයි. (Oligospermia -සාන්දනය අඩුයි). මෙහි අගයන් නම් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. පරීක්ෂණ වාර්තාවේ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත හා සංසන්දනය කරයි. පුරුෂයාගේ ශුක්‍රාණු මිලියන ගණන අඩු නම් රුධිර පරීක්ෂණයක් සිදුකරයි. එහිදී හෝර්මෝන පිළිබඳ පරීක්ෂා කෙරේ.
වේගයෙන් යන ශුක්‍රාණු ප්‍රමාණය අඩු නම් වේගය වැඩි කිරීම සඳහා ඖෂධ ලබාදීමක් සිදුවේ.
මෙවැනි වාර්තාවක් දුටු විට සාමාන්‍ය කෙනකුට එතරම් අවබෝධයක් නැතත් ඒ පිළිබඳ දැන සිටීමෙන් යම් යම් කරුණු වෛද්‍යවරයාගෙන් අසා දැනගත හැකි වේ.
වේගයෙන් යන ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීමට බලපාන හේතු
* තද යට ඇඳුම් ඇඳීම සුදුසු නොවේ.
* ඩෙනිම් වැනි රස්නය පිට නොවන ඇඳුම් දිගු වේලාවක් නිතර ඇඳ සිටීම.
* මත්පැන් පානය හැකි තරම් අවම කළ යුතුයි.
* සිගරට් බොන පුරුද්ද මඟහැරීම
මේ ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් වේගයෙන් යන ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කර ගත හැකියි.
ශුක්‍රාණු සාන්ද්‍රණයේ අඩු වැඩිවීම් මත හෝර්මෝන පරීක්ෂාව සිදුකරයි. ඒ අනුව වෘෂණ කෝෂ ආශ්‍රිතව අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂාව කරන්නේද යන්න තීරණය කරයි.
කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ මඳසරුභාවය පිළිබඳ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
දීපානි ජයසිංහ